වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පෝලිමෙන් පිට පනිනු බෑ

පෝලිමෙන් පිට පනිනු බෑ

සංස්ථාව නීතිය ක්‍රියාත්මක කරයි

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් නිකුත් කරන ලද සහතිකයේ දින පිළිවලට චිත්‍රපට ප්‍රදර්ශනය කළ යුතු බවටත්, තිරගතවන චිත්‍රපටයක පිටපත් සංඛ්‍යාව උපරිමය 35 කට සීමා විය යුතු බවට ජාතික චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සියලු චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලවලට දැනුම් දී ඇත. මෙයට අමතරව චිත්‍රපට ප්‍රදර්ශනයේදී අදාල ප්‍රදර්ශකයා හෝ නිෂ්පාදකවරයකු වෙනත් ප්‍රදර්ශක මණ්ඩලයක සිනමා ශාලාවක් ලබා ගන්නේ නම් ඒ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය අනිවාර්ය බවටත් ඒ මහතා දන්වා සිටියි.

සතියේ සම්ප්‍රවර්තික ආදායම ද මේ අනුව චිත්‍රපට සංස්ථාවේ අධීක්ෂණයට භාජනය වේ.

රාජ් රණසිංහ ‘කවුද මචං ඇලිස්’ සමඟින් යළිත්

නොම්මර එකයි, පෙරළිකාරයෝ, චාන්දනී, ඩබල් ට්‍රබල්, ඔළුව ජපන් කඳ ජර්මන් ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ රාජ් රණසිංහගේ නවතම නිර්මාණකරණයේ මූලික වැඩ කටයුතු තිඹිරිගස්යායෙහි පිහිටි ඔහුගේ නිවසේදී චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.

මෙවර ඔහු නිෂ්පාදනය කිරීමට සූදානම් වනුයේ ඩී. වී. ඩී (හෝම් මූවි) චිත්‍රපටයකි. කවුද මචං ඇලිස් යනුවෙන් නම තබා ඇති එය සාමාන්‍ය ඩී. වී. ඩී. චිත්‍රපට මෙන් මෙරට ප්‍රේක්ෂකයන් අතර පමණක් ව්‍යාප්ත නොකොට ජාත්‍යන්තරයේ ද බෙදා හරින්නට නියමිත එකකි. ඒ අනුව කවුද මචං ඇලිස් භාෂා කිහිපයකින්ම උප සිරැසි යොදනු ඇත.

ලෙස්ලි සිරිවර්ධන මෙහි රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා වේ. මැලේෂියන් ජාතික රංගන ශිල්පිණියක වූ ඩිවෝන් ගෝම් කවුද මචං ඇලිස් සමඟින් රාජ් මෙරටට හඳුන්වා දෙයි.

විමල් කුමාර ද කොස්තා, විල්සන් ගුණරත්න, සමන්ති ලැනරෝල්, හර්ෂනී පෙරේරා කුලසේකර, රොනී ලීච්, උදාර රාජපක්ෂ, උදාර රණසිංහ, බිලී මෙහි චරිත මවන අනෙකුත් පිරිවරයි.

සරත් සිල්වාගේ නිෂ්පාදන කළමනාකරණයකි. නිමල්සිරි රෝසා කැමරාව මෙහෙයවයි. සෑම් පෙරේරා අංග රචනයෙන් එක්වෙයි. නැටුම් අධ්‍යක්ෂණය ආර්. කේ. අලුත්වීදිය ගෙනි.

කවුද මචං ඇල්ස් හී පිටපත් නිර්මාණය සුරංග ද අල්විස් සිදු කරනු ලබයි.

සනත් නිවසේ අලුත් ස්වරයක්

නුගේගොඩ ඇඹුල්දෙනියේ ‘ගාන්ධර්ව’ සංගීතාශ්‍රමය මේ රටේ සුවහසක් රසික කැල දන්නේ එය සංගීතය පිළිබඳ අපට සිටින මහා පඬිවරයෙකුගේ නිවෙස හැටියටයි. ඒ මහා ඇඳුරු සනත් නන්දසිරිගේ නිවහනය.

මේ මස පහ සහ හය එතුමන්ගේ නිවෙසෙහි අලුත් වැඩකට මුල පුරනවලු. ඒ තමයි අලුත් පරම්පරාවකට තමා සතු සංගීතය ඥාණය ලබා දෙන වැඩ පිළිවෙලක්.

ඒ වැඩ පිළිවෙල තමයි, භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයේ සියලුම සංගීත විශාරද උපාධි පාඨමාලාවට අදාල සංගීත විෂය පිළිබඳ ඉගැන්වීම් කිරීම.

සැබෑ සංගීත රසය හඳුනන, එය ඉගෙන ගැනීමට කැමැති ඕනෑම කෙනෙකුට එහි පැමිණ සංගීතය ඉගෙන ගැනීමට සනත් ආරාධනා කරනවා.

සිහින මනමාලි බලන්න කුලරත්න ශාලාවට එන්න

නව පරපුරේ නළු, ගායක සුරේෂ් ගමගේ ගේ කුලුඳුල් සංයුක්ත තැටිය සිහින මනමාලි මෙම මස 04 වැනිදා එනම් හෙට සවස ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළි දකියි. මෙහිදී එහි අඩංගු ගීත කිහිපයක්ද රංගන වින්‍යාසයන් සමඟ වේදිකා ගත කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ.

රංගන ශිල්පියකු මෙන්ම නර්ථන ශිල්පියකු ලෙස ප්‍රකට සුරේෂ් ගායනයට පිවිසියේ එරංග සේනාරත්නගේ ස්වීට් ඒන්ජල් චිත්‍රපටයෙනි. සිහින මනමාලි ගීය ඔහුට ගායනා කරන්නට අවස්ථාව ලැබුණේ එහිදීය. එම ගීතයට නිර්මාණය කළ රූප රචනාවට පසුගිය සුමති සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

සිහින මනමාලි ප්‍රසංගය නැරැඹීමට එන්න යැයි සිය රසික රසිකාවන්ට සුරේෂ් ඇරැයුම් කර සිටියි.

ප්‍රසන්න ජයකොඩිගෙන් 38 ශ්‍රී මහේන්ද්‍ර, සේමිණි, රුක්මල්, සරත් රංගනයට

සංඛාරා සහ කර්ම යන චිත්‍රපට නිර්මාණයෙන් අනතුරුව තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ප්‍රසන්න ජයකොඩි සිය තෙවැනි සිනමා කෘතිය අධ්‍යක්ෂණයට සූදානම් වෙයි. 38 ශ්‍රී යනුවෙන් නම් කොට ඇති එහි මුහුරත් උළෙල පසුගිය අඟහරුවාදාවේ බොරැල්ලදී පැවැත්විය. සීමිත චරිත කිහිපයක් සංකලනය වන 38 ශ්‍රී සිනමාපටයෙහි ප්‍රධාන චරිතය මහේන්ද්‍ර පෙරේරා විසින් රඟනු ලබයි. ඉතා දීර්ඝ කාලයකට පසු රුක්මල් නිරෝෂ්ගේ රංගනය ඇතුළත් මෙහි සෙසු චරිත කිහිපය සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ සහ දයා තෙන්නකෝන් නිරූපනය කරති.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ප්‍රසන්න ජයකොඩිගෙනි. චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. නුවන් සනුරංක කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත පද්මකුමාර නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද දායකත්වය ලැබෙන 38 ශ්‍රී , සුමුදු වෙල්ලාලගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. රංගන සිංහාරගේ සංස්කරණයෙන් එක්වෙයි. චමින්ද පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය.

ස්කයි එන්ටර්ටේනස්, ස්කයි ලැබ් එකියුප්මන්ට් ගැලරි සමඟ කොක්නිට්වට් ඊගල් 38 ශ්‍රී නිෂ්පාදනය කරයි.

‘තරු අතර මම’ වැඩ ඇරැඹේ

‘තරු අතර මම’ යනුවෙන් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් බුද්ධි වික්‍රමආරච්චි නම් වූ තවත් යොවුන් සිනමාකරුවකු සිංහල සිනමාවට එක් වෙයි.

එහි මුහුරත් උළෙල පසුගියදා තලවතුගොඩ සමනල හෝටල් ශාලාවේදී පැවැත්විණ.

පුබුදු චතුරංග සමඟ ශේෂාද්‍රි ප්‍රධාන චරිත මවන ‘තරු අතර මම’ හි මහේන්ද්‍ර පෙරේරා, අයිරාංගනී සේරසිංහ, පාලිත සිල්වා, බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, ලක්ෂ්මන් මෙන්ඩිස් සෙසු රංග ශිල්පීන් පිරිවරය.

කැමරා අධ්‍යක්ෂණය ධම්මික රත්නායකගෙනි. සංස්කරණයෙන් රංගන සිංහාරගේ එක් වෙයි. ජනක ආර්. දොම්මිනිගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් මෙයට දායක වෙති.

මේ සිනමාපටයෙහි නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් මුහුරත් උළෙල දා මහේෂ් නිශාන්තගේ තෙවැනි ඇසෙහි සටහන් වූ අයුරුයි.

ඉරේෂ්ගෙන් ‘තඹ පාට හැන්දෑව’ක්

එක්ටැම්ගේ චිත්‍රපටය, ටෙලි නාට්‍යයක් බවට පත්කළ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ දෙවැනි අධ්‍යක්ෂණය වූ ‘තඹ පාට හැන්දෑව‘ රූගත කිරීම් පසුගියදා ඇරැඹිණ. උපකාර පංති (ටියුෂන්) ගුරුවරයකු වටා ගෙතී ඇති ප්‍රේම කතාවක් වන මෙය මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතකි.

බිමල් ජයකොඩි, දීපානි සිල්වා, අයෝධ්‍යා දක්ෂිකා, ඉන්දිකා සුබසිංහ, නිරෝෂන් ඉලේපෙරුම ඇතුළු පිරිස චරිත මවන තඹ පාට හැන්දෑව සෙනුර හෝල්ඩින්ස් වෙනුවෙන් ජයලත් පීරිස්ගේ නිෂ්පාදනයකි.

සමීර හසුන් සහය අධ්‍යක්ෂවරයාය. ගාමිණී සුසන්ත කැමරාව මෙහෙයවයි. අරුණ ලියාන්ගේ සංගීතයකි. හිමාල් ධර්මරත්න සංස්කරණයෙන් එක්වෙයි. මංජුල සිල්වා රේඛීය නිෂ්පාදකවරයාය.

‘සාජන්ට් නැන්දම්මා’ ලුම්බිණි රඟහලේ

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සංවර්ධන අරමුදලට අධාර පිණිස සාජන්ට් නැන්දම්මා මෙම මස 6 වැනිදා සවස ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

‘සිල්ගත් කොක්කු’ පුංචි තියෙටර්හි

රංජිත් ද අල්විස්ගේ සිල්ගත් කොක්කු මෙම මස 6 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී වේදිකා ගතවේ.

අරකාවිල නර්තන පදනමේ ‘අනෝරා තාල ප්‍රසංගය’ සිරි පියරතන විද්‍යාලයේ

අරකාවිල නර්ථන සහ නාට්‍ය පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන අනෝරා තාල ප්‍රසංගයේ හතරවැන්න මෙම මස 05 වැනිදා සවස 6.00 ට පාදුක්ක සිරි පියරත්න විද්‍යාලීය බන්දුල ගුණවර්ධන රංග ශාලාවේදී පැවැත්වේ.

උඩරට, පහතරට, භරත නාට්‍යම් ඇතුළත් මෙම ප්‍රසංගය සඳහා විවෘත ආරාධනාවක් පවතියි.

සරසවිය සම්මාන දිනූ සෙල්වසේකරන් මිය යයි

රංගන ශිල්පී එස්. සෙල්වසේකරන් අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 65 ක් වූ ඒ මහතා නැවත හමු වෙමු, පුංචි සුරංගනාවි, මචං යන චිත්‍රපටයන්හි චරිත මැව්වේය. පුංචි සුරංගනාවි සිනමා පටයෙහි රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස සරසවි සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල කනත්තේදී සිදු විය.

සූරිය අමරසේකරගේ පියා අභාවප්‍රාප්ත වේ

චිත්‍රපට සහ වේදිකා නාට්‍ය ශිල්පී සූරය අමරසේකරගේ පියාණන් වූ බී. ඒ. ඩී. ආරියසේන අමරසේකර මහතා පසුගිය 30 වැනිදා අභාවප්‍රාප්ත විය.

විශ්‍රාම ලත් වතු අධිකාරීවරයකු වූ ආරියසේන අමරසේකර මහතා මිය යන විට 86 වැනි වියේ පසු වූ අතර ඔහුගේ අවසන් කටයුතු ඊයේ (02) ගොරකාන ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

‘ෆෝරම් තියටර් අත්දැකීමක්’ විඳගන්න බොරැල්ලට එන්න

මඩකලපුව සිංහල, දෙමළ සහ මුස්ලිම් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ඉන්ටර් ආර්ට් ඇකඩමිය සංවිධානය කරන ‘ෆෝරම් තියටර්’ අත්දැකීමක් වැඩමුළුව ජනවාරි 05 වැනිදා බොරැල්ල බ්‍රිතාන්‍ය පාසලේදී පැවැත්වේ.