වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සියවස් සපිරෙන ඉන්දීය සිනමාවේ කතාන්දරය

සියවස් සපිරෙන ඉන්දීය සිනමාවේ කතාන්දරය

ඩී.ජේ.පාල්කේ

හරියටම අවුරුදු සියයකට ඉස්සර එනම් 1913 වසරේ මුල් දවස්වල එක් මිනිසෙක් ඒ වනවිටත් බොම්බායේ ජීවත් වූ ගණිකාවන් සොයා නගරයේ සැරි සැරුවේය. ඔහු උගතෙකි.වංශවතෙකි.

එමෙන්ම ඉතා වැදගත් බිරින්දෑ කෙනෙක් ද ඔහුට උන්නේය.එබැවින් බැලූ බැල්මට මේ හාදයා කරන්නේ මොන වින්නැහියකැදැයි ඔහු ගැන දන්නා ඇතැමෙකුට නොසිතුනා නොවේ. එහෙත් ඔහු සොයා ගිය කිසිදු ගැහැනියක ඔහුට කැමැත්ත පළ කළේ නැත.ඇත්තටම ඔහු ගණිකාවන් සොයා ගියේ බැරි තැනය.ඒ අවදියේ බොම්බායේ සිටි බොහෝ රූමත් කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය අවශ්‍යතාවය කියා සිටියෙද ඔවුන් ඒ කිසිවකු එයට කැමැති වූයේ නැත.

අවසානයේ ගණිකාවක හෝ සොයා යන්නට ඔහු ගියේ තම බිරින්දෑගේ කැමැත්ත ඇතුවය.එහෙත් පුදුමය නම් ඒ කිසිවකු හෝ ඔහුගේ අදහසට එකඟ වන්නට අකමැති වීමය. හේතුව එබඳු අවමානයකට ගොදුරු වනවාට වඩා මේ අයහපත් ජීවිතය කදිමයැයි ඔවුන් විශ්වාස කිරීමය. ඔහු ගැහැනුන් පොළඹවන්නට තැත් කළේ අන් කිසිවකට නොවේ තමා විසින් අදහස් කරන නිර්මාණය වෙනුවෙනි.මේ සොයායෑම මුල්ම ඉන්දියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහාය. ඔහු සොයා ගියේ අන් කිසිවකු නොව ඉන්දියාවේ පළමු සිනමා නිළියයි. එයින් සියවසක් ගෙවෙන විට නිළියක් වීමේ සිහිනය ඇතිව මගට බසින ඉන්දියානු යුවතියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකැයි කියවෙයි. එහෙත් ඒ සිහිනය සැබෑ කර ගන්නට හැකි වනුයේ කීයෙන් කී දෙනෙකුටද?

එහෙත් පුදුමය නම් එදා ඒ සඳහා කිසිවකු හෝ සොයා ගන්නට බැරි වීමය.මුල් වරට ඉන්දිය චිත්‍රපටයක් තනන්නට වෙර දැරූ මේ හාදයා දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේය.පාල්කේ උපන්නේ 1870 වසරේ අප්‍රේල් 30 වැනි දාය.ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් නගරයට නුදුරින් වූ ට්‍රිම්බකේෂ්වරියේය. දරු පස්දෙනෙකුගෙන් යුත් පවුලක දුන්දිරාජ් බාලයා විය.තාත්තා සංස්කෘත බස පිළිබද විශාරදයකු විය.ඔහු උපන් සමය ලෝකය සිනමාව උපද්දවන්නට විලි ලෑ කාලය විය. සිනමාව උපදින විට දුන්දිරාජ් විසි පස් වැනි විය ගත කරමින් සිටියේය.ඔහු ඉන්දියාවේ දී සිනමා කෘතියක් එළි දක්වනුයේ තවත් වසර ගණනාවක්ට පසුවය.ඒ වන විට ඔහු 43 වැනි වියේ පසු විය.

රාජා හරිශ්චන්ද්‍ර එම චිත්‍රපටයේ නම විය. ඉඳීන් පළමු ඉන්දියානු චිත්‍රපටය එළි දැක මේ වසරට අවුරුදු සියයකි.පළමු චිත්‍රපටයේ රඟපාන්නට නිළියක සොයා දුෂ්කර වෑයමක යෙදුන පාල්කේ තම සිඟිති දියනිය මන්දාකිණි අවසානයේ සිනමාවට ගෙනාවේ මුල් වරට ඉන්දියාන් සිනමා කෘතියක රඟපෑ දැරිය ලෙස ඇයගේ නම සිනමාවට එක් කරමිනි. එහෙත් සිය මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළියවූයේ පිරිමියෙකුත් නොවන ගැහැනියක ද නොවන සලුන්කේ නමැත්තෙකි.

පසු කලක ඉන්දියානු සිනමාවේ කෙතරම් සුරූපියන් වැජඹුන ද එදා මුල්ම චිත්‍රපටයේ කතා නායිකාව වූයේ එබන්දෙකු යැයි පැවසීම පුදුමයක් නොවන්නේ ද?ඔහු සොයා ගත්තේ ද බොම්බායේ කඩයක තේ සාදමින් සිටින විටය. දිනකට තේ හදා උපයනවාට වඩා මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමිනි.මුල්ම චිත්‍රපටයේ නළුවා වුයේ ඩී.ඩී දාබ්කේ ය.ඔහු වේදිකා නළුවකු වුව ද ඔහු රඟපෑවේ චිත්‍රපට තුනකි.එයින් පසු ඔහු නළු වෘත්තියට සමු දුන්නේය.

අද වන විට ඉන්දිය සිනමාව වාර්ෂිකව උපයන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කි. ඇමරිකානු ඩොලරයක් ලංකාවේ මුදලින් රුපියල් 130 ක්සේ සැළකුවහොත් ඒ උපදින මුදල කෙතරම් දැයි සිතා ගන්නා ලෙස අපි ඔබට කියා සිටිමු.

අපේ සිනමාවට ද තිඹිරි ගෙය තනා දුන් ඉන්දියාන් සිනමාවේ කතාන්තරය මෙතැන් සිට කියවමු. එය ඉතා එසවත් කතාන්තරයකි. අපූරු ගවේෂණයකි. එක් රටක් ඇතුළේ භාෂාවන් රැසක් චිත්‍රපට හැදෙයි. දිනෙන් දින අලුත් තරු බිහිවෙයි. පළමු චිත්‍රපටය තනා ඉන්දියානු සිනමාවේ පියා ලෙස ඉතිහාසයට එක් වුවද මේ අපුරු මිනිසා පිළිබඳ කතාන්තරය වෙනමම එකකි.චිත්‍රපට රාශියක් තැනුව ද ඔහු සිනමාවෙන් සමු ගන්නේ අනතුරුව කාටත් අමතක ව යයි.

එදා මෙදා ඉන්දියානු සිනමාතරු මෙන්ම සිනමාවේදින් පිළිබඳවත් රසවත් තොරතුරු රැගත් මේ ලිපි මාලාව මේ වසරේ පනස් වැනි සංවත්සරය සමරන සරසවිය ගෙන එන්නේ සතිපතා පාඨකයන්ට තෑගි දිනා ගැන්මට අවස්ථාවක් ද සලසමිනි.

මතු සම්බන්ධයි