වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයෙන් පෙත්තක් - ආදරයෙන් දෝතක්

ජීවිතයෙන් පෙත්තක් - ආදරයෙන් දෝතක්

2012 වසරේ තැනුණු විශිෂ්ටතම චිත්‍රපටයක් පිළිබඳ හැරී බැලීමක්

වසා ඇති දොරගුළු විවර කරන්නට පොලිසියට දැඩි උත්සාහයක් ගන්නට සිදු වෙයි. එහි අගුළු ලෑමට අමතරව හතර වට ගම් ටේප් මගින් අලවා ඇත්තේය. මහත් වෑයමකින් ගෙතුළට ඇතුළු වන ඔවුන්ට දැනෙන්නේ දැඩි දුර්ගන්ධයකි. අසීරුවෙන් කාමරයකට කඩා වදින ඔවුන් දකින්නේ මහළු කාන්තාවකගේ මළ සිරුරකි. ඇඳෙහි වැතිර ඇති එම සිරුර මල් වලින් වසා ඇත්තේය.ඉතා සැලසුම් ලෙස තැන්පත් කර ඇති වගක් පෙනෙන මේ මළ සිරුර කාගේද?

ඉන් අනතුරුව අපට නැගෙන ප්‍රශ්ණය එයයි.

පසුගිය කාන් සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි පැල්ම'ඩි ඔ සම්මානයෙන් පිදුම්ලැබූ එමෙන්ම මීළඟ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම සඳහා දැනටමත් නිර්දේශ ව ඇති චිත්‍රපට ගොන්නෙහි තිබෙන අමොරේ නම් සිනමා කෘතිය ඇරඹෙනුයේ එලෙසය. චිත්‍රපට වර්ග කිහිපයක් තිබේ. ඒ අතරින් ප්‍රධාන වශයෙන් දකින්නේ හොඳ චිත්‍රපට හා නරක චිත්‍රපට යනුවෙනි.මේ හොඳ චිත්‍රපට අතර සමහර චිත්‍රපට ඉතා ඉහළින් අගය කළ යුතු වෙයි.ඒ චිත්‍රපට ජීවිතයට වඩා විශාල අත්දැකීමක් ගෙන එයි.චිත්‍රපටයක් නරඹා එය ජීවිතය පිළිබඳ කම්පනයක් ගෙන දෙන්නට සමත් වන්නේ නම් එහි අගය වැඩිය.

අමෝරේ (amour) නමැති ප්‍රංශ වචනයෙහි අර්ථය ආදරයයි. මේ ආදරය පිළිබඳ කියැවිය නොහැකි තරම් සංවේ දී ජනක පුවතක් වන්නේය. එය මිනිස් ආදරය පිළිබද නව ඉසව්වකට අප යොමු කරන්නේය. ඇතැම් ආදර කතා ප්‍රේමය ජය ගැනීම පිළිබඳවය. එහෙත් අමොරේ කතා කරන්නේ එබඳු ආදරයක් ගැන නොවේ. විවාහයෙන් කෙළවර වන ප්‍රේම කතාවක් එහි නැත.

විවාහ මංගල්‍යයක් පැවැත් විය යුත්තේ විවාහ වී අවුරුදු දහයකට පමණ පසුවයයැයි පසු ගිය කාලයේ මා කියවූ ලිපියක දුටුවෙමි. එය ඇත්තය. බොහෝ ආදර කතා විවාහයෙන් කෙළවර වී දික්කසාදයෙන් හෝ මිනීමැරුම් වලින් කෙළවර අවසන් වන බැවිනි. එහෙත් අමෝරේ ආදරය පිළිබඳ අප ට අලුතෙන් සිතන්නට පුරුදු කරයි. එහෙත් සිනමාකරු පෙන්වන ඒ ආදරය අපට අරුම පුදුම දෙයක් නොවේ. එය අප අතරම අපේම මිනිසුන් අතරින්ම දැක ඇති දෙයකි.

එහෙත් අමොරේ තැනූ ජර්මානු සහ ඔස්ත්‍රියානු සිනමාකරු එය අපට අපූර්ව අත්දැකීමක් බවට පරිවර්තනය කරයි. එහි ඇති චමත්කාරය එයයි. මේ චිත්‍රපටය ගොඩ නැගෙනුයේ ඈන් සහ ජොර්ජ් වටාය. අසූ හැවිරිදි වියේ පසුවන මේ දෙමහල්ලෝ ජිවත් වනුයේ නගරයක සුවිසල් මහල් නිවාසයකය. ඔවුන් දෙදෙනාම විශ්‍රාම ගිය සංගීත ගුරු යුවළකි. ඔවුන්ගේ එකම දියනිය ඊවා ජිවත් වනුයේ විදේශයකය. එබැවින් මේ මහල් නිවාසයේ මේ දෙදෙන ජීවත් වනුයේ තනිවමය. බැලූ බැල්මට ඔවුනට වෙනත් අඩුපාඩුවක් නැත්තේය. එක් අපූරු උදෑසනක මේ මහළු යුවළ උදේ ආහාර වේල ගනිති. එක්වරම සැමියා දකිනුයේ බිරින්දෑ කිසිදු කතා බහක් නොකර අන්දමන්ද වී සිටින අයුරුය. ඇයගේ මුහුණට වතුර බිංදු කිහිපයක් ගැසුව ද එයින් ප්‍රතිචාරයක් නොලැබෙයි. තරමක් විමසිලිමත් වන ඔහු අනතුරුව කාමරයට යන්නේ තම බිරින්දෑ වෙනුවෙන් කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකිවය.

මේ ඇගේ සාමාන්‍ය සිරිත නොවේ. ඔහු කෙතරම් කලබල වනවාද යත් දුව යන්නේ කුස්සියේ වතුර කරාමය නොවසා දමමිනි. මේ හදිස්සියේ කුමක් කළ යුතුදැයි සිතා ගන්නට ඔහුට නිනව්වක් නැතිසේය. වහා ඇඳුමක් ලා ගන්නට යන ඔහුට ඇසෙන්නේ ජල කරාමය වැසුණු වගය. ඔහු ආපසු කුස්සියට යද්දී ඇනා දොස් පවරන්නේ ජල කරාමය හැර දමා එතැනින් ගිය එකටය. ඇයට කුමක් සිදුවීද යන්න මතකයක් නැත. ඇය එක හෙලාම පවසන්නේ තමන්ට කිසිවක් සිදු නොවූ බවයි. එහෙත් ඇයගේ මුහුණට වතුර වැටුණේ තවමත් එහි තෙත ඇඳුමෙහි රැඳී ඇත්තේ කෙලෙසකින්දැයි ඇයට වටහා ගත නොහැක්කේය.

එහෙත් කිසිවක් සිදුවූ අයුරු ඇගේ සැමියා ජෝර්ජ් පෙන්වා දෙයි. අනතුරුව අප දකින්නේ නිවසට ගෙන එන රෝගියකු සඳහා වූ ඇඳකි. එවර ඇනා එන්නේ වෙනදා මෙන් නොවේ ඇය බෙහෙවින් වියපත්ය. ඇය අංශභාග රෝගයට ගොදුරු වී ඇති සේය. රෝහල් ගත කර සිටි ඇය නිවසට රැගෙන එනුයේ එහි සිට ප්‍රතිකාර ලබන්නටය.වඩා සුව පහසු ඇඳක් සහ රෝද පුටුවක් ද ඇයට ලැබේ. සාත්ත සේවකයකු ඇය නිසි ලෙස ඇදෙහි නිදි ගන්වා ආපසු යයි. ජෝර්ජ් ඇයගේ අතින් අල්ලා ගනී. ඈ ඉතා වැර වෑයමින් කෙඳීරි ගාමින් ඉල්ලා සිටින්නේ එක් දෙයකි.

අනේ මාව ආපසු ඉස්පිරිතාලෙකට යවන්න එපා.

එතැන් පටන් ඇනාගේ ජීවිතය රෝද පුටුවටත් ඇඳටත් සීමා වෙයි.ඉඳ හිට පැමිණෙන දියනිය අම්මා සාත්තු නිවාසයක නතර කර ලන්නට යෝජනා කළත් එයට තාත්තාගෙන් ලැබෙන් රෞද්‍ර ප්‍රතිචාරයකි.අසල්වැසි යුවළක් වරින්වර උදව්වට පැමිණෙයි. ඒ අතර වාරයේ ඇනාගේ තත්වය දිනෙන් දින උග්‍ර වෙයි. නිවසට ගෙන්වා ගන්නා සාත්තු සේවිකාවගෙන් නිසි පිළියම් නොලැබෙන බැව් ජෝර්ජ් ගේ විශ්වාසයයි.එහි ප්‍රතිඵලය නම් සාත්තු සේවිකාව ද පළවා හැරීමයි.ළඟ සිට ඇයට නින්ද යන තුරු කතා කියන්නේ ඔහුය. ඇය සිරුර කිස සඳහා ගෙන යන්නේ ඔහුය.

සිනමා කෘති බොහෝ විට ගොඩ නැගෙනුයේ තම ජීවිත අත්දැකීම් ඇසුරෙනි. ඒ අත්දැකීම් වඩා නිර්ව්‍යාජ අත්දැකීම් ලෙස ප්‍රේරණය කිරීමට සමත්වනුයේ විශිෂ්ට සිනමාකරුවන්ය. මයිකල් හනකි එබන්දෙක් බැව් මෙයට පෙර සනාථ කළ අවස්ථාවන් දෙකක් මගේ මතකයේ වෙයි. ඉන් එකක් නම් පියානෝ ටීචර් චිත්‍රපටයයි. අනිත් චිත්‍රපටය වසර ගණනාවකට පෙර ඔහු ටෙලිවිෂනය වෙනුවෙන් නිර්මාණය කරන ලද ත්‍රී රෝඩ්ස් ටු දලේක් නම් නිර්මාණයයි.

හනකි පිළිබඳ බොහෝ දෙනා නොදන්නා අවධියේ එනම් 1986 වසරේ දී මේ ත්‍රී රෝඩ්ස් ටු ද ලේක් චිත්‍රපටය කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශණය කෙරිණ. හෙතෙම ටෙලිවිෂනය,සිනමාව, සහ වේදිකාව යන මාධ්‍යය ත්‍රිත්වයෙහිම සිය නිර්මාණශීලි ප්‍රතිභාව පළ කළ තැනැත්තෙකි.ඔහුගේ චිත්‍රපට විචාරක අවධානය දිනා ගැන්මට සමත් වුවේ නමුදු වාණිජමය වශයෙන් සාර්ථකවූයේ මද වශයෙනි.කෙසේ වෙතත් කාන් සිනමා උළෙලේ දෙවරක්ම පැල්ම‘ඩි ඔ සම්මානය දිනා ගැන්මට සමත් වූ සිනමාකරුවන් හත් දෙනාගෙන් එකක් වනුයේ හනකිය.ඔහු මේ සම්මානය මුල් වරට දිනා ගත්තේ ද වයිට් රිබන් චිත්‍රපටය සඳහාය.අමොරේ දෙවන වතාවයි.

ජර්මානු සිනමාකරුවකු ව සිටි ෆ්‍රිට්ස් හනාකා ට සහ ඔස්ත්‍රයානු නිළි බියට්‍රික්ස් ෆොන් ඩෙගින්ස්චයිල්ඩ් ට දාව 1942 වසරේ දී ජර්මනියේ උපන් මයිකල් සිය ජීවිකයේ මුල් විය ගෙව්වේ ත් ඉගෙනුම ලැබුවේත් ඔස්ත්‍රියාවේය.එහි වියානා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය,මනෝ විද්‍යාව සහ නාට්‍ය හැදැරූ හෙතෙම අනතුරුව එරට පතල වූයේ සිනමා විචාරකයකු හැටියටය.පසුව ජර්මානු ටෙලිවිෂනය සඳහා නිර්මාණ රාශියක් තැනූ ඔහු සිය මුල්ම චිත්‍රපටය වූ ද සෙවන්ත් කන්ටිනන්ට් නිර්මාණය කළේ 1989 වසෙර්ය.බෙනීස් විඩියෝ නම් ඔහුගේ ඊළග නිර්මාණය බොහෝ දෙනාගේ අවධානයට පත් කළ මුල්ම චිත්‍රපටයයි.ද පියානෝ ටීචර්,ෆනී ගේම්ස්,ටයිම් ඔෆ් ද වුල්ෆ්, ඔහුගේ සෙසු නිර්මාණ අතර කැපී පෙනේ.

අධක්ෂක

ඔහුගේ අමොරේ චිත්‍රපටයේ එන අත්දැකීම් බොහොමයක් සිය පවුලේ සාමාජිකයන්ගේ අත්දැකීම් අතරින් සොයා ගත් ඒවා බැව් ඔහු කියා තිබිණ. මහළු වියට උරුම එකී තනි කම හා ඉන් අනතුරුව එළැඹෙන එකිනෙකා හා අතර ඇති වන අවබෝධය ලොව සනාතනික දහමක් වැන්න. අමොරේ චිත්‍රපටය මුළුමනින්ම රූ ගත වන්නේ මේ නිවාස සංකීර්ණයේ පමණී.චිත්‍රපටය සහමුලින්ම ගලා යනුයේ ඇනා සහ ජෝර්ජ් වටාය. ඔවුන්ට ආදරය කරන දියනිය වරින්වර පැමිනිය ද ඇය ජීවත්වනුයේ දුර පළාතකය.තාත්තාගේ සිතැඟි හා දියනියගේ සිතැඟි සියල්ල අතර පරස්පර බවක් ඇති වුවද ඒ එකිනෙකාට දොස් පවරන්නට අපට නොහැකිය.

ඒ වෙනුවට මේ පාත්‍ර වර්ගයා දෙස ඇති වන කම්පාවෙන් සහ මේ සිදුවීමට වඩා සැතපුම් දුර ගණනක් වෙනම රටක ජීවත්වන අප දන්නා මිනිසුන්ගේ මෙබඳු අත්දැකීම් හා සිතින් සමාන කරන්නට සිදුවනුයේ නොදැනුවත්ය. එමෙන්ම ජීවිතය පිළිබඳ නියත බියක් පැතිර යනුයේ අනතුරුවය. කිසියම් දිනෙක සියළු යස ඉසුරු මැද වුව ද මෙබඳු ඉරණමකට අප මුහුණ දුනහොත් යන්න ඒ බිය ඇතිවීමට හේතු වෙයි.දිනෙන් දින ක්ෂය වී යන ඇනාගේ ශක්තිය සමග මේ නිවසේ හුදකලාවන ජෝර්ජ් ට තනියට සිටිනුයේ ඇයගේ කෙඳීරිල්ල පමණී.අසලට වී පොතක් කියවන්නට මුළු රැය පුරා ඇය අසල නිදිවරා අසල සිටින්නට ඔහු දෙවරක් නොසිතයි.ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයයි යැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා තැබුවේ මේ ආකාරයේ ප්‍රේමයක් ගැන නොවන්නේද?

එහෙත් එහි අවසානය එයට වඩා දරුණුය. එයට එකඟ නොවී වෙන කුමක් කරන්නද? රැය නිදි වරා ඔහු ඇය රැක බලා ගන්නේ නමුදු දිනෙන් දින ඇයගේ තත්වය බරපතල අතට යනවා විනා වෙනත් කිසිවක් සිදු නොවේ. ඇය දුක් විඳීන අයුරු බලා සිටින්නට ඔහුට තවත් නොහැකි තරම්ය.අවසානයේ ඔහු ඇයගේ කොට්ටයෙන් මුහුණ තද කර මරා දමයි. එහෙත් ඒ මරණය සිදු කරනුයේ ආදරයෙන්ම නොවන්නේ ද?තමාට දිනා ගත නොහැකි ආදරයක් වෙනුවෙන් පිහියෙන් ඇණ මරා දැමීමක් අපරාධයකි. එහෙත් ඇයගේ ජීවිතය තොර කරන්නට ජොර්ජ් එක් වරම මෙහෙය වන්නේත් ආදරයෙන්මය. ඔහු ද දවසින් දවස මහළු වෙමින් සිටී. ඇය තනි නොකර ජීවත් විය යුතුය. ජීවිතයේ එක් දවසක අතිනත ගත්තේ ඒ බලාපොරොත්තවෙන් නොවේද?

චිත්‍රපටය නිම වද්දී බොහෝ දෙනා ඇති වන්නේ මේ මහළු යුවළ පිළිබඳ ශෝකාලාපයක්ම නොවේ. එයට වඩා තමන්ගේ අනාගතය පිළිබඳ අනාරක්ෂිත බවකි. රක්ෂන සමාගම් හෝ වෙන බොහෝ ආයතන හෝ මහළු වියේ හොඳීන් ජීවත්වීම පිළිබඳ කියා සිටිය ද හුදකලාවීම හෝ මේ හා සමාන අත්දැකීමක් දී අසරණවීම වලකා ලන්නේ කවුරුන්ද?

බ්‍රිතාන්‍යයේ චිත්‍රපට ඇකඩම්ය මගින් මාසිකව නිකුත් කරනු ලබන සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව මගින් පසුගිය වසරේ නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපට දහය අතරට ද තෝරා ගෙන ඇති අමොරේ මේ වන විට ජාත්‍යන්තර සිනමා උත්සව යන්හි දී දිනා ඇති සම්මාන සංඛ්‍යාව විශාලය. නොඅනුමානවම එය දිගු කලකට පසු මානව සම්බන්ධතාවන් පිළිබඳ තැණුනු හොදම චිත්‍රපටයක් ලෙස විචාරකයෝ අවධාරණය කරති.ඒ හැම විටම මේ චිත්‍රපටයේ කූට ප්‍රාප්තියට හේතු සාධක ලෙස ඔවුන් දකිනුයේ සිනමාකරුගේ විශිෂ්ටත්වය මෙන්ම එහි රඟපාන නළු නිළියන්ගේ අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවයි. මේ වන විට 85 හැවිරිදි එම්මෑනුවෙල් රිවා එහි රඟපානුයේ ඇනාගේ චරිතයයි.

හැටේ දශකයේ දී ලොව පුරා සිනමා විචාරකයන්ගේ අවධානයට පත් වූ හිරෝෂිමා මොන් අමෝ චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි.82 හැවිරිදි ශීන් ලුයිස් ට්‍රින්ට්ග් එහි ජෝර්ජ් ගේ චරිතය නිරූපනය කරයි.කලකට ඉහත ලොව කළඹමින් තිරගත වුන ඇන් ගෝඩ් ක්‍රියේටඩ් වුමන් චිත්‍රපටයේ බ්‍රිජට් බාඩෝ සමග ප්‍රධාන චරිතය රඟපෑ ඔහු ගේ වඩාත් විශිෂ්ටතම රගපෑමක් වූයේ මෑන් ඇන්ඩ් ද වුමන් චිත්‍රපටයේය.වර්තමාන ප්‍රංශ සිනමාවේ විශිෂ්ට නිළියක වන ඉසබෙල් හපර්ට් එහි දියනියගේ චරිතයට එක් වන්නීය.ඇය මයිකල් හැනකී ගේම පියානෝ ටීචර් චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑවාය.

පුරා පැය දෙකක් ඔබට තනිවම කාමරයක රැදී සිටිය හැකිද?එය අසීරු කටයුත්තක් බව ඇත්තය. එහෙත් මේ මහළු යුවළ සමග පැය දෙකක් ගත කරද්දී ජීවිතයේ හරි අඩක සුවඳ දැනෙන බවට මටනම් සහතික විය හැක්කේය. ඒ එය ජීවිතය පිළිබඳ අලුතෙන් සිතන්නට හුරු කරද්දී සිනමාව සතු මහේශාක්‍ය බව යළිත් මට පසක් කර දුන් චිත්‍රපටයක් බැවිනි.