වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ආරක්ෂක හේතුමත රූගත කිරීම් තහනම්

ආරක්ෂක හේතුමත රූගත කිරීම් තහනම්

THE WORLD IS NOT ENOUGH

‘ද වර්ල්ඩ් ඉස් නොට් ඉනෆ්’ බොන්ඩ් සිනමාවලියේ 19 වෙන චිත්‍රපටය වන අතර පියර්ස් බ්‍රොස්නන් බොන්ඩ් ලෙස රඟපාන දෙවැනි චිත්‍රපටය ද වෙයි.

නීල් පර්විස්, රොබට් වේඩ් සහ බෲස් ෆයර්ස්ටයින් ගේ සාමුහික තිර රචනයකට අනුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මයිකල් ඇප්ටඩ් විසිනි. චිත්‍රපටය 2000 වසරේදී තිරගත කිරීමේ සැලසුමක් තිබූ හෙයින් නිෂ්පාදකවරු අදහස් කළේ එය ‘බොන්ඩ් 2000’ යනුවෙන් නම් කිරීමටයි. ඩෙත් වේට්ස් ෆො නෝ මෑන්, ෆයර් ඇන්ඩ් අයිස්, ප්‍රෙෂර් පොයින්ට් සහ ඩේන්ජරස්ලි යුවර්ස් එවැනි යෝජනා වුණු නම් කීපයකි. එහෙත් ‘ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්’ චිත්‍රපටයේ දෙබස් ඛණ්ඩයක අඩංගු වැකියක් අනුව අවසානයේ ‘ද වර්ල්ඩ් ඉස් නොට් ඉනෆ්’ යන නම සම්මත කර ගන්නා ලදී.

කෝටිපති තෙල් ආකර හිමියෙකු වූ ශ්‍රීමත් රොබට් කිං බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ප්‍රධානී ‘එම්’ ගේ ද සමීප මිතුරෙකු වෙයි. ඔහුගේ සුරූපී දියණිය ඉලෙක්ට්‍රා කිං රුසියානු ත්‍රස්තවාදී නායකයෙකු වූ රේනාඩ් විසින් පැහැර ගනු ලබන්නේ ඇගේ ධනවත් පියාගෙන් විශාල කප්පමක් ලබා ගැනීමේ චේතනාවෙනි. ‘එම්’ ගේ මෙහෙයෙවීමෙන් බොන්ඩ් එම කප්පම් මුදල පැහැරගෙන විත් ආපසු බාර දීමෙන් රේනාඩ් සහ ඉලෙක්ට්‍රා, බොන්ඩ් සහ එම් සමඟ වෛර බැඳ ගනියි.

ඒ වන විටත් රේනාඩ්ගේ පෙම්වතිය බවට පත්ව සිටින ඉලෙක්ට්‍රා, බොන්ඩ් තම වසඟයට පත්කරගෙන ඔහු ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ එබැවිනි. මේ අතර සූක්ෂම කාල බෝම්බයක ආධාරයෙන් රේනාඩ්, රොබට් කිං ඝාතනය කරයි. ඉන් පසු තෙල් ආකරයන් හි පාලනය ඉලෙක්ට්‍රා අතට පත් වෙයි. ඇගේ රහස් කිසිවක් නොදත් ‘එම්’ තම මියගිය මිතුරා වෙනුවෙන් ඇගේ ආරක්ෂාව බොන්ඩ් හට පවරයි. ඉලෙක්ට්‍රා කිං සමඟ ඔවුන්ගේ තෙල් නල එක්ලස් කරන වැඩබිමකට ගොස් සිටියදී ක්‍රිස්මස් ජෝන්ස් නම් රූමත් න්‍යෂ්ටික විද්‍යාඥවරියක් බොන්ඩ් හට මුණ ගැසෙයි. ඉලෙක්ට්‍රා තම පියාට ද්‍රෝහි වූ බව ‘එම්’ දැනගන්නා නමුත් උපායශීලී ලෙස රේනාඩ් සහ ඉලෙක්ට්‍රා, එම් තම අත්අඩංගුවට ගෙන ඉස්තාන්බුල්හි මුහුදේ ඇති බලකොටුවක සිර කරනු ලබයි.

බොන්ඩ් සහ ක්‍රිස්මස් තෙල් නලයක් තුළට යවා එය පුපුරවා දමන මුත් ඔවුන් දෙදෙනා ආයාසයෙන් දිවි බේරා ගනී. වහාම ‘එම්’ බේරා ගැනීම සඳහා බොන්ඩ් සහ ක්‍රිස්මස් ඉස්තාන්බුල් බලකොටුව වෙත යයි. සටනේදී රේනාඩ් පැන යන අතර ඉලෙක්ට්‍රා, බොන්ඩ් අතින් මැරුම් කයි. බොන්ඩ් විසින් ‘එම්’ නිදහස් කර ගන්නා අතර ක්‍රිස්මස් ප්‍රාණ ඇපයට ගෙන සබ්මැරීනයකින් පැන යන රේනාඩ් පසුපස බොන්ඩ් ලුහුබඳියි. අවසානයේ රේනාඩ් සමඟ සබ්මැරීනය විනාශ කර දමන බොන්ඩ්, ක්‍රිස්මස් බේරා ගන්නා අයුරු විකාශනය වන ලෙස චිත්‍රපට කතාව ගෙතී ඇත.

මුලින් ජෝ දාන්තේ සහ පීටර් ජැක්සන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා කැඳවනු ලැබුවත් අවසානයේ බාබරා බ්‍රොකොලි විසින් එය පවරනු ලැබුවේ මයිකල් ඇප්ටඩ් වෙතයි. සුපුරුදු පරිදි එංගලන්තතයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ 007 වේදිකාවේ දී රූගත කිරීම් ඇරඹුණි. කිං පවුලේ වාසස්ථානය ලෙස බකිංහැම්ෂයර් හි ස්ටෝව් විද්‍යාලයත්, ස්කොට්න්තයේ අයිලීන් බොනන් බලකොටුව, එම් 16 රහස් ඔත්තු සේවා මධ්‍යස්ථානය ලෙසත් රූගත කිරීම් සඳහා යොදා ගන්නා ලදී. ලන්ඩනයේ සැබෑ එම්. අයි. 6 කාර්යාලය රූගත කිරීම් සඳහා පාවිච්චි කිරීමට වගකිවයුත්තන් විසින් අවසර ලබා නුදුන්නේ ආරක්ෂක හේතූන් මතයි. බොන්ඩ් විසින් ස්විස් බැංකුවෙන් කප්පම් මුදල් පැහැරගෙන යන දර්ශනය රූගත කෙරුණේ ස්පාඤ්ඤයේ බිල්බාඕ හිදීයි. සති තුනක පමණ කාලයක් තිස්සේ ලන්ඩන් තේම්ස් නදියේ සිදු කෙරුණු බෝට්ටු ධාවන තරගය රූගත කෙරුණි. හෙලිකොප්ටරයක සවි කරන ලද විශාල දැති රෝද යන්ත්‍රයක් මඟින් බොන්ඩ්ගේ බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය කැබලිවලට කපා දමන දර්ශනය රූගත කෙරුණේ පයින්වුඩ් චිත්‍රාගාරයේ පිහිටි ජල තටාකයක් මත ඉදි කරන ලද විශාල එළිමහන් පසුතලයක් මතදීයි. අනෙකුත් දර්ශන ස්කොට්ලන්තය, අසර්බයිජානය, තුර්කිය, බාකු, බහමාස් සහ ඉස්තාන්බුල් හිදී රූගත කෙරිණ.

ප්‍රධාන නිළි චරිත දෙක වූ ක්‍රිස්මස් ජෝන්ස් සහ ඉලෙක්ට්‍රා කිං ලෙස සුරූපි ඩෙනිස් රිචඩ්ස් සහ සොෆී මාර්ෂෝ තෝරා ගන්නා ලදී. රේනාඩ් ලෙස රඟපෑවේ රොබට් කාලයිල්. ජුඩි ඩෙන්ච් සහ ඩෙස්මන්ඩ් ලෙවලින් ‘එම්’ සහ මිස්ටර් ‘කිව්’ ලෙස චරිත නිරූපණය කළා. වැඩිම බොන්ඩ් චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑ එකම නළුවා වන ඩෙස්මන්ඩ් චිත්‍රපටය තිරගත වී දින කීපයකින් හදිසි වාහන අනතුරකට ලක් වී මිය ගියා. මාරියා ගාෂියා, සෙරිනා ස්කොට් තෝමස් සහ සමන්තා බොන්ඩ් යන සුරූපී නිළියන් සෙසු බොන්ඩ් සුරතලියන් ලෙස රංගනයට එක් වුණා.

දීර්ඝතම නාමාවලිය ඇතුළත් බොන්ඩ් චිත්‍රපටය වන මෙහි නාමාවලිය ඩැනියෙල් ක්ලයින්මන් ගේ නිර්මාණයක්. ඩේවිඩ් ආර්නෝල්ඩ් දෙවෙනි වරට සංගීත අධ්‍යක්ෂණය කළේ මෙම චිත්‍රපටයටයි. ආනෝල්ඩ් සහ ඩොන් බ්ලැක් රචනා කළ තේමා ගීීතය ගැයුවේ ‘ගාබේජ්’ විසිනි. ඩොන් බ්ලැක් තේමා ගී රචනා කළ 5 වැනි බොන්ඩ් චිත්‍රපටය මෙය වෙයි. තන්ඩර්බෝල්, ඩයමන්ඩ්ස් ආ ෆොඑවර්, ද මෑන් විත් ද ගෝල්ඩන් ගන් සහ ටුමෝරෝ නෙවර් ඩයිස් චිත්‍රපටවල තේමා ගී රචනා වූයේ ද ඔහු අතිනි.

1999 නොවැම්බර් 19 දා ඇමෙරිකාවේදීත් එම 26 දා බ්‍රිතාන්‍යයේදීත් පූර්ව දර්ශන පැවැත්වුණා. එදිනම එම්. ජී. එම්. සමාගම සහ එම්. ටී. වී ආයතනය අතර අත්සන් කෙරුණු හවුල් ගිවිසුමකට අනුව පැය 100 ක පමණ ගුවන් කාලයක් පුරා බොන්ඩ් චිත්‍රපට අලලා නිෂ්පාදනය වුණු රූපවාහිනී වාර්තා වැඩ සටහන් මාලාවක් එම්. ටී. වී. නාලිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතුª යොදා තිබුණා. එම වැඩසටහන් ඉදිරිපත් කළේ සුරූපී ප්‍රධාන නිළි ඩෙනිස් රිචඩ්ස් විසින්.

චිත්‍රපටය ලෝ වටා ප්‍රදර්ශනය කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 361 ක්වූ අතර එයින් ඩොලර් මිලියන 126 ක් උපයාගෙන ඇත්තේ ඇමෙරිකාවෙනුයි. ඇකඩමි සම්මාන උළෙලේ දීී හොදම දෘශ්‍ය ප්‍රයෝග සඳහා චිත්‍රපටය නිර්දේශ වුණා. හොඳම ක්‍රියාදාම සඳහා යෝජනා වුණේ සැටර්න් සම්මාන උළෙලේදීයි. පියර්ස් බ්‍රොස්නන් වසරේ හොඳම නළුවා හට පිදෙන එම්පයර් සම්මානය දිනා ගත් අතර බ්ලොක්බස්ටර් එන්ටටේන්මන්ට් සම්මානය ද දිනා ගත්තා. හොඳම පසුබිම් සංගීතය සඳහා බී. එම්. අයි. ෆිල්ම් මියුසික් සම්මානය දිනා ගනු ලැබුවේ ඩේවිඩ් ආනෝල්ඩ් විසින්.

ඩෙනිස් රිචඩ්ස් ට හිමි වුණේ වසරේ නරකම රඟපෑම ඉදිරිපත් කළ නිළියට හිමි ‘රසී’ සම්මානයයි. බ්‍රොස්නන් සහ ඩෙනිස් වසරේ නරකම නළු නිළි යුවල ලෙසටත් නිර්දේශ වුණා.

2000 මැයි 16 දා චිත්‍රපටයේ වී. එච්. එස් සහ ඩී. වී. ඩී. තැටි වෙළඳ පොළට නිකුත් වුණා. අලෙවි වූ පිටපත් ප්‍රමාණය මිලියන පහකි.

බොන්ඩ් සිනමාවෙන් පමණක් නොව ජීවිත සිනමාවෙන්ද සදහටම සමුගත් ඒ සොඳුරු මිනිසා, ඩෙස්මන්ඩ් ලෙවලින් උපහාර වැඩ සටහනක් ද ඇතුළත් ‘බොන්ඩ් කොක්ටේල්’ නමැති වාර්තා චිත්‍රපටයක් ද 2000 වසරේදී වෙළඳපලට නිකුත් වුණා.

ඇමෙරිකාවේ කළු ජාතික රූ රැජින ‘හැලී බෙරී’ බොන්ඩ් ගේ පෙම්වතිය ලෙස රඟන ‘ඩයි අ නදර් ඩේ’ චිත්‍රපටයත් සමඟ ලබන සතියේ මුසුවෙමු.