වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘මහමෙවුනා උයනේ’ ගීතය එළිදකී

‘මහමෙවුනා උයනේ’ ගීතය එළිදකී

මල්රාජ් කිරිඇල්ල විසින් පද රචිත ‘මහමෙවුනා උයනේ’ ගීතය පසුගියදා එළිදැක්විණි. බෞද්ධ සංකල්පනාවක් මත පදනම්ව ලියවී ඇති මෙම ගීතය ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් විසින් ගායනය කරනු ලබන අතර එහි පදමාලාව හා සංගීතය කලණ පෙරේරා විසිනි.

ශ්‍රීී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිගරු අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤණිස්සර හිමිපාණන් වෙත මෙහි මුල් ගී තැටිය පිළිගන්වන ලදී.

‘බැද්දට හඳ පායා විත්’ 8 දා එළි දකී

2011 දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරඟයේ හොඳම නවකතාව ලෙස සම්මාන දිනූ අම්පාර, පියදාස උඩවත්ත රචනා කළ ‘බැද්දට හඳ පායා විත්’ කෘතිය ලබන 08 වැනිදා මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

දිගාමඬුල්ලේ අව්‍යාජ ගැමියාගේ ජීවන පුවත, සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවෙන් ගෙන හැරපායි.

ඩෙංගු මඬින්න ඇල්බොපික්ටස් වේදිකාවට

මාරාන්තිත ඩෙංගු වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පටිගත කළ ගීත හයක් ඇතුළත් කර ගුණපාල කරුණාපතිරණ විසින් නිර්්මාණය කළ ‘ඇල්බොපික්ටස්’ නම් නවතම කෙටි නාට්‍ය පාසල්, දහම් පාසල්, විශේෂ අවස්ථා සහ ප්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.

‘මැද පෙරදිග‘, පුරන් කෙතේ පඹයා’ වැනි වේදිකා නාට්‍ය ද ‘ඉර හඳ යට’, ‘නිමක් නැති සසර මඟ’, ‘අවුරුදු උදානය’ වැනි ඒකාංගික ටෙලි නාට්‍යවල නිෂ්පාදක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ගුණපාල කරුණාපතිරණ 2009 වසරේදී ඩෙංගු උවදුරෙන් වැළකී සිටීමට ජනතාව දැනුවත් කිරීම සඳහා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කලා සංගමය සමඟ ‘සතියකට වරක්’ නමින් වීදි නාට්‍යයක් ආරම්භ කළේය.

පරිසරය, ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම, ඩෙංගු රෝගී ලක්ෂණ මෙන්ම ප්‍රතිකාර පිළිබඳ පණිවිඩයක් ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් නිර්මාණය කළ ‘ඇල්බොපික්ටස්’ නාට්‍යය පිළිබඳ වැඩිදුර තොරතුරු 0722905915 / 0114900234 දුරකථන අංකයෙන් ලබා ගත හැකි වේ.

‘විජය කුවේණි ඉඟි නළුව’05 දා නෙළුම් පොකුණේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්ව රංගායතනය පවත්වාගෙන යනු ලබන නර්ථනාචාරිණී රශිකා කුලසිංහගේ විජය කුවේණි ඉඟිනළුව මෙම මස 05 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී රංග ගතවේ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එම ආයතනයේ නර්ථනය හදාරන දරු දැරියන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙයට සහභාගී වේ.

‘මාරම්බරී’ මහරගම දී

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගයෙහි නව වසරේ පළමු දිගහැරුම මෙම මස 05 වැනිදා සවස මහරගම තරුණ සේවා සභාවේ රඟහලේදී පැවැත්වෙයි.