වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්න කලින් සති දෙකක පොලිස් පුහුණුවක්

රඟපාන්න කලින් සති දෙකක පොලිස් පුහුණුවක්
 

ජගත් බෙනරගම

උදේට දවල්ට රෑට අළුකෙසෙල්

වයස හතළිහයි තවම පාසල් යා හැකියි

ඔහු නළුකම හිසකට නොගත් නළුවෙකි. වෙනත් රංගන ශිල්පීන් මෙන් රුව ගැන පවා ඔහු සැලකිලිමත් වන්නේ නැත. කෙසේ වෙතත් හැකියාව අතින් හෙතෙම සිටින්නේ ඉහළ තැනක යැයි මා කිව්වොත් එය නිවැරැදිය.

ජගත් බෙනරගම නැතිනම් පුංචි තිරයේ දඩබ්බරයා මේ දිනවල ප්‍රතිරූ හි වික්‍රම.

ගොඩක් දේ තියනවා කතා කරන්න ඔහුත් එක්ක.

ජගත් පළමුව පවසන්න වික්‍රම ගැන?

වික්‍රම කියන්නේ මව්බිමටත්, මවටත් එක ලෙස ආදරය කරන තැනැත්තෙක්. ඔහු විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය පසෙකලා හමුදාවට යනවා. ඔහු සාහිත්‍යයට හරිම ආසයි. කොහෙ හිටියත් වික්‍රම තුළ සිටින සාහිත්‍යකරුවා මියදුණේ නැහැ. මම හමුදා නිලධාරියකුගේ චරිතය නිරූපණය කරපු දහතුන් වන අවස්ථාවයි මේක.

මං ඔය තැනට තමයි එන්න හැදුවේ. ඔබට ඇයි වැඩිපුරම හමුදා නිලධාරීන්ගේ චරිත ලැබෙන්නේ?

මගේ ශරීර ප්‍රමාණයට හමුදා චරිත ගැළපෙනවා. අනික මට ලැබෙන්නේ නිකම්ම හමුදා චරිත නෙවෙයි. දැනෙන්න කරන්න යමක් ඒවා තුළ තිබුණා. වැඩි දෙනෙක් නොදන්න කරුණක් කියන්නද, 1996 අවුරුද්දේ එස්. පී. උපුල් සෙනෙවිරත්න මහතා ‘නිදහස’ සම්බන්ධයෙන් කෙටි චිත්‍රපටයක් කළා.

ඒකෙත් මං හමුදා නිලධාරියෙක්. හැබැයි එය රූගත කරන්නට පෙරාතුව ඔහු විසින් අපට සති දෙකක පොලිස් විශේෂ බලකායේ විශේෂ පුහුණුවක් ලබා දුන්නා. එතෙන්දි මං හමුදාව පිළිබඳ නොදත් දේ විශේෂයෙන්ම ඔවුන්ගේ විනය ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා. පසුකාලීනව මට ලැබුණු හමුදා චරිතයන්ට මං උගත් දෑ අඩු වැඩි වශයෙන් එකතු කළා. ඒකයි මං හිතින විදිහට මට දිගින් දිගටම එවැනි චරිත ලැබෙන්නේ. ඒ වගේම මගෙත් පුංචි ලෝබකමක් තියනනවා හමුදා චරිත කරන්න.

හේතුව?

මං නළුකම නොවුණා නම් අනිවාර්යයෙන්ම හමුදා නිලධාරියෙක්. අන්න එක තමයි හේතුව.

වික්‍රමගේ චරිතය මීට වඩා ඉස්මතු වුණා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැතිද?

ම් ම් ම් . . . වික්‍රම සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූවක්. ඇතැම් විට ඔහුගේ ගතිගුණ සහ ඇවතුම් පැවතුම් මෙයිට එහා නොගියා වෙන්න පුළුවන්. හැබැයි වික්‍රම මනඞකල්පිත කෙනෙකු වූවා නම් මටත් තවත් රංගනයෙන් දෙයක් එකතු කරන්න තිබුණා.

ප්‍රතිරූ රූගත කරද්දී දවසක්ම ඝන වනාන්තරයක් මැද ඔබ දිගා වී සිටයා යැයි මට දැනගන්නට ලැබුණා?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පොළොන්නරුවේ කැලේක රූගත කිරීම් කළේ. බිම් බෝම්බයක් පිපිරිලා වික්‍රමගේ කකුලට දැඩිසේ හානි වනවා. ඊට අවශ්‍ය අංග රචනා කරලා මාව බිම දිගා කළා. කැමරා ෂොට් එක තිබුණේ හෙලිකොප්ටරයක සිට. එය රැගෙන එන්නේ වෙනත් තැනකින්. ඉතින් කොයි වෙලාවේ හෙලිකොප්ටර් එයිද දන්නේ නැහැනේ. බලාගෙන ඉන්නවා ඉන්නවා ඒක නැහැ. කොහොම හරි දවස ඉවර වෙන කොට පණිවුඩයක් ආවා කැමරාවේ ප්‍රශ්නයක් වෙලා රූගත කිරීම කැන්සල් කියලා. ආයේ සියලු මේකප් ඉවත් කළා. මට ඒවා නිසයි නැගිටින්න බැරි වුණේ. එදා දවල්ට කෑවෙත් නැහැ මං.

නළුවකු වෙලත් රුව ගැන නොසිතන්නේ ඇයි?

මං ජනප්‍රිය සංස්කෘතියේ නළුවකු නෙවෙයි. මං නාලා කරලා ඉන්නවා හැර වෙනත් කිසිදු රූපලාවන්‍ය කටයුත්තක් කරන්නේ නැහැ. කොණ්ඩෙ වුණත් අතින් හදන්නේ. ඒ හින්දමද මන්දා මං වයසට යන්නේ නැහැ. දැන් මට අවුරුදු හතළිහක්. මේ වයසෙදි වුණත් පාසල් යන චරිතයකට මාව ගන්න අධ්‍යක්ෂවරු ඕන වෙලාවක සූදානම්. ඒක පෙර ආත්මයේදී මං කරපු වාසනාවක්. ප්‍රතිරූ චිත්‍රපටයෙත් පාසල් දර්ශන කිහිපයක්ම මං කළා.

ඔබ හරි දඩබ්බර චරිතයක් යැයි ඇතැම් අය පවසනවා?

ඔව්, මං දඩබ්බරයි, හිතුවක්කාරයි. ඒ අසාධාරණයකදී විතරයි. එවැනි දේ කරන්නට ගොස් බැනුම් අහපු අය තමයි මං දඩබ්බරයි කියලා කියන්න ඇත්තේ.

එතෙකොට අර අළුකෙසෙල් කැන් පොළවෙ ගහපු කතාව? ඒකත් එහෙම එකක් ද?

මෙහෙමයි ඒක වුණේ. එක්තරා චිත්‍රපටයක රූගත කරන්න ගිය ප්‍රදේශයේ අළුකෙසෙල් බහුලව තිබුණා. එහි නිෂ්පාදකතුමන් අඩු ගානට කැන් කිහිපයක් එවලේම මිලයට ගත්තා. එදා ඉඳලා අපිට උදේට අළුකෙසෙල් හොඳියි පානුයි.

දවල්ට බත් එකෙත් අළුකෙසෙල්. හවසට අළුකෙසෙල් මැල්ලුම්. ඉවරයක් නැහැ කෑමවලට අළුකෙසෙල්. මට හොඳටම කේන්ති ගියා. කුස්සියට ගියාම මෙන්න තවත් අලුකෙසෙල් කැන් දෙක තුනකක්ම තියනවා. මං ඒවා අල්ලලා පොළවෙ ගැහැව්වා. අන්න ඒ මොහොතේ සිට අපිට හොඳ කෑම ලැබුණා.

ප්‍රතිරූ චිත්‍රපටයට අමතරව ජගත් බෙනරගම නම් වූ දඩබ්බරයා දායකවන වෙනත් නිර්මාණ මොනවාද?

චිත්‍රපට නම් ඒක විතරයි. සංසාර සක්මන, සාරංගනා, පබසරා, පුරකලණි, බෝපළු අරණ වැනි නාට්‍යවල වැඩ මේ දවස්වල. ඊට අමතරව තලමල පිපිලා, අන්දරේලා සහ ගුරු තරුව යන වේදිකා නාට්‍යවලත් රඟපානවා.