වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




නවරත්න ගමගේ සන්නාලි සිහිනයත් එක්ක

නවරත්න ගමගේ සන්නාලි සිහිනයත් එක්ක

ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ පසුගිය දින කිහිපයේ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් රැසක් සමඟ කටයුතු කරනු අපට පෙනිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලි සේවක සේවිකාවන්ගේ කලා කුසලතා වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් නවතම ආකාරයේ රියැලිටි වැඩ සටහනක් මෙහෙයවනු පිණිය.

මෙම 22 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයිනේ පැරැණිතම ඇඟලුම් කර්මාන්ත සමූහයක් වන හයිඩ්‍රාමණි ආයතනයේ ශාඛා 23 ක සේවක සේවිකාවන් විසි දහසකගෙන් පමණ තෝරා ගත් ගායන ශිල්පීන්, නර්තන ශිල්පීන්, නිවේදන, නාට්‍ය, කෙටි කතා, කවි සංකල්පනා ආදියෙන් සමන්විතය. සන්නාලි සිහිනය නමින් නම් කොට ඇති මෙහි සංගීතය මෙහෙය වනුයේ නවරත්න ගමගේ විසිනි.

මෙම සේවක සේවිකාවන් අරබයා දිවයිනේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ සහයෝගයෙන් වැඩමුළු ද පවත්වා ඇති අතර, සංගීත අංශයේ විනිශ්චය මණ්ඩලය වනුයේ රෝහණ බෝගොඩ, විශාරද සමිතා මුදුන්කොටුව සහ රාජු බණ්ඩාරය.

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහනේ මීළඟ වාරය ජනවාරියේ

සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම ඉදිරිපත් කරන ‘ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකරකම් වැඩසටහනේ මීළඟ වාරය ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මේ සඳහා වයස අවුරුදු 04 සිට 15 දක්වා වන ළමුන්ට සහභාගි විය හැකි අතර සෙනසුරාදා දිනවල වයස් කාණ්ඩ දෙකක් යටතේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසල පිහිටි ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම වැඩසටහන ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ආචාර්ය චන්දන අලුත්ගේ සහ මයුර පෙරේරා විසින් මෙහෙයවනු ලබයි. සෞන්දර්යාත්මක අත්දැකීම් මඟින් ළමුන්ට තුලනාත්මක කායික හා මානසික වර්ධනය ලබාදීම සහ ළමුන්ගේ ක්‍රියාශීලිත්වය, ප්‍රබෝධමත්භාවය හා මූලික කලා ශිල්ප පිළිබඳ රසඥතාව වර්ධනය කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථය වේ.

ජපාන චිත්‍රපටයක් හදන්න රමින්දට අවස්ථාව

ජපාන චිත්‍රපට උළෙලට සමගාමීව නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපටය සඳහා වෘත්තිකයෙක් ලෙස රමින්ද සනාතන තෝරා ගෙන ඇත.

ජපාන චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සමුළුව මඟින් සිදු කෙරෙන මේ සඳහා ජපානය නියෝජනය කරමින් 08 දෙනෙකු සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් 12 දෙනෙකු තෝරා ගෙන තිබේ. මෙවර අවසන් වටයේදී රටවල් 58 ක 150 දෙනෙකු අතරින් මෙම අවස්ථාව හිමිකර ගැනීමට රමින්ද සමත් වී ඇති අතර මෙවැනි අවස්ථාවක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි.

රටවල් 25 ක් සමඟින් චිත්‍රපට ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු මෙරට පළමු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වසර 12 ක අත්දැකීම් ලද අයෙකි. කෙටි චිත්‍රපට ශිල්පියෙක් ලෙස ද කටයුතු කරන රමින්ද 2000 වසරේ සිට 2006 වසර දක්වා සරසවිය සම්මාන උළෙලේ වේදිකා පරිපාලන ශිල්පියකු ලෙස කටයුතු කර ඇත.

ඉන්දියාවේ පුනේහි ‘ද නැෂනල් ෆිල්ම් ආකයිව්’ හිදී සහ ‘ප්‍රසාද් ෆිල්ම් ලැබොරටරිස්’ හිදී සිනමාකරණය පිළිබඳ හදාරා ඇත. රූපවාහිනී අභ්‍යාස ආයතනයේ කැමරාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති රමින්ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සිසුවෙක් ද වෙයි.

සිංහ දියණිය 15 දා මංගල දැක්ම

ප්‍රවීණ නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු වන අසෝක සෙනරත් මුදලිගේ නව නාට්‍ය නිර්මාණය වන ‘සිංහ දියණිය’ 15 දින හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. මෙහි නිෂ්පාදනය කරු අතුකෝරලය.

මෙහි සඳුන් විජේසිරි, ප්‍රසන්න ෆොන්සේකා, සරත් පීරිස් කරු අතුකෝරල, සුදත් විජේසේකර, මයෝමි කාංචනා, නන්දන විජය ශාන්ත, රොෂාන් ජයසුන්දර, සුනිල් සමරකෝන්, අජිත් ඉන්ද්‍රපාල, අනුර ආටිගල රඟපාති. සංගීතය සුමිත් අල්විස්, අංග රචනය කේ. ඒ. පියකරු, වේදිකා පරිපාලනය නිෂාන්ත රමේෂ්, සමන්ත වීරකෝන්, නිෂ්පාදන කළමනාකරු ජේ. ඒ. කරුණාරත්නගෙනි.

සුභාවි රඟමඩල 16 දා

මෙලනි අසෝකා විසින් රචනා කර නිර්මාණය කරන ලද ‘සුභාවි රඟමඩලක්’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දෙසැම්බර් 16 වනදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

මෙහි කේ. ඩී. සිරිපාල, මෙලනි අසෝකා, වසන්ත ගීතාරච්චි, යූ. ධනවංශ, ශානිකා දිල්රුක්ෂි, ඉන්දිකා සුබසිංහ, රොෂාන් දොඩංගොඩ, අර්ජුන සේනානායක, අනුරාධි තෙන්නකෝන්, ධම්මික නිරෝෂන්, නිරෝෂා අලහකෝන්, මනෝජ් විජේරත්න ආදීහු චරිත මවති. චමිල සංගීත් සංගීතයෙනි. ප්‍රේම්ජයන්ත කපුගේ අංග රචනයෙන් ද මෙයට දායක වේ.

ඩී කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ මේ 19 දා

යුද හමුදා ඉංජිනේරු සේවා බළකා සේවා වනිතා ශාඛාව විසින් යුද හමුදා රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු නංවාලීම හා අභිමංසල ව්‍යාපෘතියට ආධාර ලබාදීමේ අරමුණෙන් නාට්‍යවේදී ඩී. කුමාරගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රූකඩ රාජ්ජේ’ වේදිකා නාට්‍ය මේ මස 19 වන දින මහරගම යොවුන් රඟහලේදී වේදිකා ගතවේ..