වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මට චණ්ඩි පුතා ලැබුණේ ඒ පාරෙ සැරට

මට චණ්ඩි පුතා ලැබුණේ ඒ පාරෙ සැරට
 

සිසිර කුමාරතුංග

තිස් හත් වසරක අතීතය සිහිපත් කරයි

ගාමිණී මහත්තයා දෙවියෙක්

උඹ සිරිල් අයියාගෙන් අවුරුදු කීයක් කාලා තියනවද?

අවුරුදු දොළහයි.

උඹට සිරිල් අයියව මරන්න කොන්ත්‍රාත් එක දුන්නේ කීයටද?

රුපියල් පන්සීයකට.

එකට කා ලා, එකට ඉදලා අවුරුදු ගාණක් තමන්ගේ හාම්පුතාව මරපු පාහරයා.

චණ්ඩි පුතා චිත්‍රපටයේ එන මේ දෙබස් කණ්ඩය ඇතුළත් දර්ශනය ඔබට මතකද? හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ඇන්තනී සී. පෙරේරා සහ බී. එස්. පෙරේරා සමඟ එහි රූපණය කරනු ලැබුවේ මේ සාකච්ඡාවට බඳුන් වන තැනැත්තා හෙවත් සිසිර කුමාරතුංගය. මිනිත්තු ගණන සීමිත වුව ද ඔවුන් හා කරට කර ඔහු කළ රංගනය කොතරම් තාත්ත්වික වීද යත් සිසිර එක රැයකින් අසීමිත ජනප්‍රියත්වයක් ලද්දේය.

එක්දාස් නවසිය හැත්තෑ හතරේ සිට මේ දක්වා සිනමා පට සියයකට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය සැපයූ ඔහු සටන් නළුවකු වශයෙන් ද රිදී තිරය වෙනුවෙන් සිය ශ්‍රමය කැප කළේය. රංගනයට පිවිසීමට මත්තෙන් සිසිර කොළඹ ශාන්ත ජෝන් වීදියේ මාලු මාකට්ටුවේ බිස්නස්කරුවෙකි.

ඉතින් සිසිර එතැන සිට ඔබ කොහොමද රිදී තිරයට එන්නේ?

දවසක්දා මාලු කඩේට ආවා එක්තරා පුද්ගලගයෙක්. ඔහු මං දැකලා නැවතිලා බලන් හිටියා.

පොඩි වැඩක් තියනවා කරල දෙනවද?

ඔහු මගෙන් ඇහැව්වා.

කාට හරි ගහන්නද?

ඔව්, ඔව් ඒ වගේ වැඩක් තමයි. හැබැයි චිත්‍රපටයක. ගහගන්න තියෙන්නේ ඇත්තට නෙවෙයි.

ඒ දේට මං පොඩ්ඩක් ගැස්සුණා. ඇත්තම කිව්වොත් මං රංගනයට හරිම ආශාවෙන් හිටියේ. අල්ලපු ගෙදර වැනි චිත්‍රපට දහදොළොස් පාරක් බැලුවා. ඒතරම්ම මං සිනමාලෝලියෙක්.

අයියෝ ඕක අහන්නත් දෙයක්ද, යං යං මං එන්නම්.

හා හා දැන්මම නෙවෙයි මං කියන්නම්කෝ.

නියමිත දිනයට ඔහු මාව එක්කරගෙන ගියා ලොකේෂන් එකකට පොල්ගොල්ලේ ඩෑම් එක ගාවට. එදා ෂූට් කරපු චිත්‍රපටය තමයි රජගෙදර පරවියෝ. ඒක අධ්‍යක්ෂණය කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා. මේ නළු මුහුණ දුන් පුද්ගලයා තමයි කැමරා අධ්‍යක්ෂක ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා.

එතනදි නේද ඔබට ගාමිණී ෆොන්සේකා නම් හෙළ සිනමා සක්විතිව මුණ ගැසෙන්නේ?

ඒක හරිම අහම්බයක්. ලොකේෂන් එකේදි තමයි මං දැනගන්නේ ෆිල්ම් එකෙත් එතුමා ඉන්නවා කියලා. සුළු මොහොතකින් ඔහු ආවා. සිල්වා මහත්තයා දුරින් හිටිය මාව පෙන්නලා ඔහුට හඳුන්වා දුන්නා. තේජස් ගමනින් ගාමිණී මහත්තයා මා වෙතට ආවා. ඔහු හරිම නිහතමානී මහත්තයෙක් වග මට වැටහුණා.

ආ . . . ෆයිට් කරන්න නේද ආවේ. මොනවද කරලා තියෙන්නේ. කරාටේ, ජූඩෝ, රෙස්ලිං?

අනේ නෑ සර් මං මුකුත්ම කරලා නැහැ. මං යටහත් පහත්ව කිව්වා.

මොකක් . . . එහෙනම් කොහොමද අයිසේ ෆයිට් කරන්නේ?

සර් මං සත පණහ චිත්‍රපටයේ ෆයිට් එක විදිහට මේකෙත් ෆයිට් කරන්නම්.

හා එහෙනම් මෙතනට පයින් ගහනවකෝ.

ඔහු එහෙම කියලා ඔහුගේ දකුණු අත උරහිසට සමාන්තරව ඉදිරියට දිගු කළා.

එවලෙ තමයි මට තරු පෙනුණේ.

ඒ මොකද?

මං කොහොමද අපේ සිනමාවේ ප්‍රබලයාගේ අතට පයින් ගහන්නේ. මාව ගැහුණා.

ගහනවා අයිසේ බය නැතුව.

මං ඉන්න තත්ත්වය දැනගත් ඔහු එහෙම කිව්වා.

පුළුවන් තරම් වීරිය යොදලා පය උස්සලා ඔහුගේ අතට ගැහැව්වා. ඒ පාර කොච්චර ඔහුට වැදුණද කිව්වොත් ඒක නිසා තමයි මට චණ්ඩි පුතා චිත්‍රපටය ලැබෙන්නේ.

ඉන් ඔබේ දෛවය වෙනත් මාවතකට යොමු වෙනවා?

මිනිස්සු මාව හඳුන ගන්නේ චණ්ඩි පුතා නිසා. අදටත් ඇතැම් අය මට කියන්නේ චණ්ඩි පුතා කියලා. ගාමිණී මහත්තයා මට චණ්ඩි පුතා හි අධ්‍යක්ෂ සෝමපාල ලීලානන්ද මහත්තයාව හඳුන්වා දෙන්න එන්න කෝට්ටෙට කිව්වේ සවස පහට. වෙන කෙනෙක්ව ගනියි කියලා තිබුණු බයට මං ගියේ සවස දෙකට. ඒ චරිතයට මාව තෝරා ගත්තා. එම චිත්‍රපටයෙන් පසුව මං මාලු බිස්නස් අතහැරියා. දිගටම වැඩ ලැබුණා. උතුමාණෙනි, දෙමෝදර පාලම, සරුංගලේ, මල් කැකුළු, සාගරයක් මැද, චංචල රේඛා, කොටි වලිගය, පෙරළිකාරයෝ, සක්විති සුවය මං චරිත මැවූ චිත්‍රපට අතරින් කිහිපයක්. එදා ඉඳලා අද දක්වා රංගනයම තමයි.

ක්‍රම ක්‍රමයෙන් ඔබ අප සිනමා සක්විතිගේ සමීපතමයා බවට පත්වෙනවා?

එක නම් පිනක්. මං ගැන පැහැදී ඔහු මාව ඔහුගේ නිවසෙහි නවත්වා ගත්තා. මට තවමත් හීනයක් වගෙයි ඒක. ඔහු මගේ වීරයෙක්. එවන් කෙනෙකු මාව හොඳම මිතුරෙකු කරගනියි යැයි කීයටවත් හිතුවෙ නැහැ. ඔහුට කන්න බොන්න ගෙනාපු ඒවාමයි මට දුන්නේ. ඒ වගේම නළු නිළියන්ගේ වෘත්තීය ගෞරවය ඇති කළෙත්, ඔවුන්ව ගෙන්න ගෙනියන්න වාහන යවන සිස්ටම් එක ගෙනාවෙත් ඔහුයි. එතුමා වියෝ වූ පුවත දැනගත් පසු මං දවස් ගණනාවක් හිටියේ ඇඬූ කඳුළින්.

ඔබ තුළ සිටින සටන් නළුවා ඉස්මතු වූ අවස්ථාවන් මතක් කළොත්?

මාව සටන් කරන්න වැඩිපුරම එක්කගෙන ගියේ ටෙඩී විද්‍යාලංකාර. ඔහු සිටි සෑම චිත්‍රපටයක පාහේ මං හිටියා. ජය අපටයි චිත්‍රපටයේ තමයි මගේ හොඳම සටන තිබුණේ. හරියටම විනාඩි හතරක් මං විජයත් එක්ක සටන් කළා. සංඛපාළි චිත්‍රපටයේ සටනත් හොඳයි.

සිසිර අයියගෙ වයස කීයද දැන්?

අවුරුදු හැට අටයි. ඒ වුණත් කොල්ලා වගේ තවම වැඩ.

ඔබ රංගනයට ඇවිත් අවුරුදු තිස් හතක්නේ. මේ කාලය තුළ හොඳ හොඳ අත්දැකීම් එහෙමත් වෙන්න ඇතිනේද?

ආයෙත් අහලා. චණ්ඩි ෂ්‍යාමා චිත්‍රපටයේ ෆයිට් කරන කොට ඔළුව පැලුණා. ගාමිණී මහත්තයා රූගත කිරීම් නතර කළා. මං බැහැ කිය කියා පොඩි ප්ලාස්ටරයක් අලවගෙන ආයෙත් සටන පටන් ගත්තා. අවසානයේ තමයි බෙහෙත් දැම්මේ. මට ගාමිණී මහත්තයා ඇවිත් අවවාද කළා ‘චිත්‍රපටවලට වඩා ඔළුව බේරා ගන්න කියලා.’ කොටි වලිගය චිත්‍රපටයේ සටන් කරනකොට මාව මාලු මිරිස් ගොඩකට වැටුණා. ඇස් දෙකම රතු වෙලා ඇරගන්න බැහැ. එදා නම් ඇස් දෙක ගලවලා අතට ගන්න හිතුණා.

ඔන්න සුනිල් ටී, සුනිල්සෝම පීරිස් යන මහත්වරු ඉන්දියාවේ චිත්‍රටපටයක් රූගත කරන්න සැරසුණා. මගෙන් ඇහැව්වා දෙමළ දන්නවද කියලා. මං ඔව් කිව්වා. මාවත් ඉන්දියාවේ එක්කගෙන ගියා. ඔවුන් මාව නවාතැන්පොළේ දාලා ඇවිදින්න ගියා. එවලේ ඉඳලා මගේ නම කිය කිය දෙමළෙන් කෝල් එනවා. ඇත්තටම මං දෙමළ දන්නේ නැහැ. මං දෙමළ දන්නවා කිව්වේ ඉන්දියාවේ එන්න ඕන ආසාවට. මං බොරු භාෂාවක් දාලා උත්තර දුන්නා කෝල්වලට. බැලින්නම් සුනිල් මහත්තයාලාමයි මට කෝල් අරන් තියෙන්නේ මං දෙමළ දන්නවද බලන්න. මං ඉතින් ඇත්ත විස්තරේ ඔවුන්ට කියලා ජාමෙ බේර ගත්තා.

කොහොමද මේ දිනවල ඔබේ කලා කටයුතු?

සනත් අබේසේකරගේ සිරිදළදාගමනය, ක්ලීටස් මෙන්ඩිස්ගේ පරපුර, වික්ටර් මාන්නගේ ගේ වෙඩි වගේ වැඩ අපේ වැනි චිත්‍රපට එන්න තියනවා. චංචල රේඛා චිත්‍රපටය ටෙලි නාට්‍යක් කළානේ. මං ඒකේ චිත්‍රපටයේම චරිතය කළා. ඒ කියන්නේ වසර තිස් එකකට පසු චිත්‍රපටයේ කළ එම චරිතයම ටෙලි නාට්‍යත් රඟපෑවේ මමමයි. ඒක මට සුවිශේෂයි. මේවාට අමතරව සනත්ගේම මීදුම වගේ ඇවිදින් නාට්‍යයේ, යූ. කේ. ලක්ෂ්මන්ගේ ‘ගුත්තිල මූසිල’ වේදිකා නාට්‍යයෙත් වැඩ.

ඔබ සහ විජය කුමාරතුංගයන් අතර ඥාතීත්වයක් ඇතැයි ඇතැම් අය සිතනවා?

ඒක වැරදියි. අපි දෙන්නා මිතුරෝ පමණයි. නෑයෝ නෙවෙයි.

පවුලේ විස්තර කියමු?

මට පුතාලා දෙන්නයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අයත් විවාහකයි. මං දැන් මුණුපුර මිනිපිරියන් හය දෙනෙකුගේ සීයා කෙනෙක්. මමයි නෝනයි විතරයි ගෙදර ඉන්නේ.

අවසන් කොට සිසිර අයියාට මොනවද කියන්න තියෙන්නේ?

මාව නිර්මාණවලට ගත් අයට ගොඩක් තුති පුදනවා. ඒ වගේම මට ආදරය කරන රසික රසිකාවන්වත් ආදරයෙන් සිහි කරනවා.