වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ආලකමන්දාවට ආලයෙන්

ජාතික රූපවාහිනියේ ජනප්‍රිය වැඩසටහන් අතලොස්සෙන් එකක්වන ආලකමන්දාව විකාශය වන්නේ ඉතාම කලාතුරකිනි. එවැනි වැඩසටහන් නිතර විකාශය නොවීම පාඩුවකි. ආලකමන්දාව ගණයේ වැඩසටහන් ජාතික නාලිකාවෙන් මිස, ලාභ ඉපයීම අරමුණු කරගත් පෞද්ගලික නාලිකාවලින් බලාපොරොත්තු විය නොහැකිය.

අප මතකයට අනුව ආලකමන්දාව විශිෂ්ට වැඩසටහනක් ලෙස විවිධ අවස්ථාවල සම්මාන පවා දිනා ගැනීමට සමත් විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි අය ගැන නිර්මාණය කළ ආලකමන්දාව තවමත් ප්‍රේක්‍ෂකයන්ට මතක ඇතැයි සිතමි.

පුලතිසි වන්නිගම

සමන්ති ලැනරෝල්ට පිහිටවෙමු

සිංහල සිනමාවට නවකයන් රැසක් දායාද කළ 1968 වසරේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිස දුහුළු මලක්, පෙම්බර මධු, බඹාකෙටූ හැටි, අහිංසා, මධුසමය, රජදරුවෝ වැනි චිත්‍රපටවල විවිධ චරිත රඟ පෑ සමන්ති ලැනරෝල් කලා ශිල්පිනිය අද ඉතා අසරණ තත්ත්වයකින් සිටියි.

රංගනයෙන් සිනමාව ඔපවත් කළ මෙවැනි කලා ශිල්පිනියකට පිහිටවීමට සිනමාවේ ප්‍රබල කලාකරුවනට හැකිවේ නම් එය මහඟු පුණ්‍ය කර්මයකි.

රොහාන් සෙනෙවිරත්න

නවලෝක රෝහල

ලංකාවට ‘ජෝති’ එකයි

ජෝතිපාලයන් වියෝවී වසර විසිපහක් ගෙවී ගියත් දිනෙන් දිනම ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවීමක් මිස අඩුවීමක් නම් සිදුවුනේද නැත. ජෝති මියෙන විට ඉපිද නොසිටි දැන් යෞවනයේ පසුවන පරපුරේ ද ජනපි‍්‍රය ගායකයා වනුයේ ජෝතිපාලයන්ය. එයනම් ආශ්චර්යයකි.

සමහරුන් ජෝතිගේ ගී විකෘති කරමින් කෑ මොර දිදී මුදල් සොයනා යුගයක එම ගීත වලට සමහර ගුවන් විදුලි නාලිකා මුල්තැන දීම කනගාටුදායකය.

එවන් වකවානුවක ලක්හඬ ගුවන් විදුලිය නොකඩවා වසර තුනක සිට ජෝති රාත්‍රිය නමින් ඔහුගේ ගී රසිකයන්ට තිළිණ කිරීම ඇත්තෙන්ම ප්‍රසංසනීයය.

එම වැඩසටහන මෙහෙයවන නිවේදිකා මේකලා වසුන්දරා තොර තෝංචියක් නොමැතිව භාෂා කිහිපයක් එකට එක්කොට ගිරවියන් මෙන් කියවන නිවේදිකාවන්ට කදිම ආදර්ශයකි. අවසන්වරට කිවයුත්තේ ජෝතිපාලයන් වීමට දඟලන කිසිවෙකුට ජෝති විය නොහැකි බවය.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

නිහඬ වූ තබ්ලා හඬ

වාදන ශිල්පි හේමපාල ගාල්ලගේ මහතාගේ අභාවය නිමිත්තෙන් නුගේගොඩ නිහාල් ගුණවර්ධන ලියා එවූ පැදි පෙළකි මේ.

නිහඬ වූ තබ්ලාව
හද වෙණ තතෙන්
පෑ පෙළහර
තබ්ලාව මත
නිමවීද අද සුහද
ඔබ මැවූ මියුරු සර
ඇසේ පෙරසේම
පෙරදිග අහස්ඉම
හදබිතක දෝංකාරව
එනු සුහදාන
හෙටත් හඬ වන්නට
මද්දලය ගැටබෙරය
ජීවිත වේදිකාවට....

නව ගුවන් විදුලි සංඛ්‍යාත ඔස්සේ අපට වයඹ රේඩියෝ අහන්න විදියක් නෑ.

දර්ශි, නුවර

රොෂාන් ප්‍රනාන්දු අයියාගේ ඔයා නිසා හඬලා ගීතය අපේ හදවතට දැනෙන ගීයකි.

පවිත්‍රා බෙලිඅත්ත, මලිති කුඩලිගම

මම කැමතිම නළුවා රොෂාන් රවීන්ද්‍ර. එයාගේ රංගනය හරිම තාත්ත්විකයි.

අමිල අම්බලන්තොට

සුමනා ගෝමස් ට

ඔබ වැනි දක්‍ෂ නිළියන් රට හැරයාම සිනමාවට බලවත් පාඩුවකි.

සී. ආර්. පින්නදූව , ගාල්ල

හිරු නාලිකාවේ දිග හැරෙන සකිසඳ සුවාරිස් නාට්‍යය ඉතා හොඳයි.

රත්නා, කහඳව

ජනිත් වික්‍රමගේ ගේ හොඳ රැඟුමක් තිබුණා ඉතින් ඊට පස්සේ ටෙලි සිතුවමේ. ඉතින් ඊට පස්සේ එවැනි වූ රැඟුමක් දැක්කෙ නැහැ. ඔහුගේ රංගන දිවියට සුබ පතනවා.

ට්‍රනීෂා මිෂෙල්, කඩවත

තරුණ ගායකයන් කොතෙක් ආවත් ආත්මා ලියනගේ තරම් ඉස්තරම් නැහැ.

මධුශා, මොරටුව

කිඳුරංගනා නාට්‍යයේ රඟපෑ නළු නිළියන් අනෙක් කතාවල දැන් පෙනෙන්නට නැත්තේ ඇයි. චමල්ෂා දෙව්මිණි, නෙරංජලා ඊට උදාහරණ.

ආශා, දංකොටුව

පණ්ඩිත් අමරදේවයන්ට සුබ උපන් දිනයක් වගේම දීර්ඝායුෂ පතමි.

රවි වසන්ත, මීටියාගොඩ

අනාගතයේ ලංකාවේ පෙරළිකාර, දක්‍ෂතම සංගීත කණ්ඩායම බවට ‘ඇරෝ ස්ටාර්’ පත්වේවා.

දමයන්ති කුමාරි, හොරණ

චන්න පෙරේරා පුංචි තිරය වෙනුවෙන් තවත් ටෙලි නාට්‍යයක් කරන්න.

මුතු, කෙරවලපිටිය

එෆ්. එම්. දෙරණ ඔස්සේ ගුවනට මුසුවන ‘දිල් එක්ක හින්දි නිම්නය’ ලස්සනයි.

බුද්ධික ඒකනායක, උඳුගොඩ

ශලනි තාරකා පුංචි තිරයේ අහිංසකාවයි.

සකු, වැල්ලම්පිටිය

ගායන ශිල්පි කුමාරසිරි පතිරණ ට

කවදත් ආදරණීය හඬින් අප වෙනුවෙන් ගී තිළිණ කරන කුමාර අයියේ ගායනයෙන්, වාදනයෙන් දක්‍ෂ ඔබ අලංකාර යුග ගීයක් අපට දායාද කරන්න.

සුරංග මනෝජ්, පැලවත්ත

අතුල රන්සිරිලාල්ගේ හඬ කැවීම් අධ්‍යක්‍ෂණයෙන් විකාශය වන ‘සුජාත දියණි’ විශිෂ්ටයි.

රොෂේන් මධුරංග, නාරම්මල

සිසිර සේනාරත්න අමරණීය ගායකයෙකි.

නිමල් කුලසේකර, අඟුලාන

ලංකාවේ කලාව ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නේ ජිප්සීස් සුනිල් පෙරේරා සහ උපුල් ශාන්ත සන්නස්ගල පමණි.

ඉන්දික, කුරුණෑගල

රොබින් ප්‍රනාන්දු නැවතත් ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න.

කමල් ප්‍රියන්ත ජයසිංහ, ගොඩගම, නක්කවත්ත

එදා පුංචි වෙළෙන්දා අද වෛද්‍යවරයෙකි. එලෙස ඔබ කරනා සේවය අගය කරමි.

බණ්ඩාර, ගොරගස්මුල්ල

හෙළ කලා කෙත දෝතින්ම පිලිගත් නිහතමානී චරිතයකින් හෙබි රසික සිත් දැහැන්ගතවන අන්දමේ නැවුම් ගී පෙළක් දායාද කළ , අදත් කලා ලෝකයේ සුපිරි තරුවකි ප්‍රින්ස් උදය පි‍්‍රයන්ත.

චතුරංග සම්පත්, තැන්නැන

කවුරු මොනදේ කීවත් ශිහාන් මිහිරංග යනු හොඳ කටහඬක් ඇති ගායකයෙකි. ඔහුගේ ගීත බොහෝ ලස්සනයි.

ඉසුරුක, බලංගොඩ

මහේෂි මධුසංකා අක්කා මුතුවරුසා ටෙලි නාට්‍යයේ හොඳට රඟපානවා.

ඉෂාරා කල්හාරි, ගම්පහ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ චන්ද්‍රිකා සිරිවර්ධන, කීර්ති පැස්කුවල්, නදීක ගුරුගේ යන අයගේ විනිශ්චය වගේම සුහදශීලී බව විශිෂ්ටයි.

අශෝක, වත්සලා, චන්දන, අම්බලන්ගොඩ