වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා 18 දා එළි දකී

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා 18 දා එළි දකී

රන්මුතු දූව චිත්‍රපටය නිෂ්පාදනයෙන් හා බැද්දේගම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ අග්‍රගණ්‍ය විද්‍යා චින්තකයකු හා ලේඛකයකු වූ ආතර් සී. ක්ලාක් පිළිබඳ ලියැවුණු නවතම ග්‍රන්ථය සුප්‍රකට විද්‍යා ලේඛකයකු වන නාලක ගුණවර්ධන විසින් රචනා කරන ලද ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා නමින් මෙම මස 18 වැනිදා කොළඹ 07, ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී එළි දකියි. ආතර් සී. ක්ලාක් වියතාණන්ගේ නව අදහස් දිගුකාලීන දැනුම සහ පරිකල්පනනය පාදක වූ ලිපි 18 කින් සහ සම්මුඛ සාකච්ඡා 3 කින් මෙය සමන්විතය.

මෙදින දේශනය රොහාන් සමරජීව විසින් පවත්වනු ලබයි.

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වැනි ජන්ම දිනය ද යෙදෙන්නේ එදිනටයි.

ආතර් සී. ක්ලාක් විසින් රචිත 2001 අ ස්පේස් ඔඩිසි ග්‍රන්ථය පාදක කොටගෙන ස්ටැන්ලි කියුබ්‍රික් තැනූ චිත්‍රපටය ලොව ශ්‍රේෂ්ඨතම චිත්‍රපටයක් වූවේය.

නාලක 1987 – 2008 දක්වා ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ සේවය කළ අතර, පසුව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ලදී.

‘සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.

කසුන් මධුසංඛ ගේ නවතම ගීතය ඉරිදා

ඔහු කසුන් මධුසංඛ. දෙරණ සිහින තරු මාවත ඔස්සේ අපට සමීප වූ ඔහු ස්ව නිර්මාණ කිහිපයක් සමඟින් රසික රසිකාවන් බොහෝ පිරිසක් තමන් වෙත නතු කර ගත්තා.

කසුන් තවත් අපූරු ගීතයක් ලබන ඉරු දින (16 වැනි දින) දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහන අතරතුරදී ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් තිළිණ කිරීමට නියමිතයි.

දෙසිතක් බැඳුණා පෙමින් ලෙස නම් කොට ඇති එය නන්දන වික්‍රමගේගේ රචනයක්. සංගිතය උදාර සමරවීරගෙන්.

ප්‍රසාද් රණසිංහ සිත් ගන්නා අන්දමින් ගීතයේ රූප රචනාව සකසා තිබෙනවා. ටෙක්ලා කුමුදු කුමාරි සහ මංජුලා කුමාරි කසුන් එක්ක දෙසිතක් බැඳුණා පෙමින් හි වීඩියෝවේ රංගනයේ යෙදෙනවා. මෙහි සියලුම නිෂ්පාදන බරපැන ආචාර්ය ජගත් විජේනායකගෙන්.

නෙතසලා පෑ හසරැල්

ගගුලක කිමිදිලා

පෙම් සිසිලස විඳින්න

මේ කසුන්ගේ අලුත් ගීයේ ඇරැඹුමයි. තව කෙටි කලකින් එය ලංකාවේ ජනප්‍රිය ගීතයක් වනු නොඅනුමානය.

අමන්දිට වඳුරු ප්‍රහාරයක්

ටෙලි නාට්‍ය කිහිපයකම ළමා චරිත නිරූපණය කරමින් විජය කුවේණි චිත්‍රපටයේ ‘දිසාලා’ගේ චරිතය හරි අපූරුවට රඟපෑ අමන්දි ප්‍රියසංජනා දියණිය හරිම අකරතැබ්බයකට මුහුණ දීලා.

ඒ පසුගිය දවසක අනුරාධපුරය පැත්තේ විනෝද චාරිකාවකට ගිය අමන්දි වඳුරෙකුගේ පහර දීමට ලක්වීමයි.

සතුන්ට දැඩි සේ ආදරය කරන අමන්දිට අනුරාධපුරයේදී සිදු වූ වඳුරු ප්‍රහාරය නිසා දින ගණනාවක්ම රෝහල්ගත වෙන්නත් සිදු වුණා.

තවමත් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන අමන්දිට පාසල් නිවාඩු කාලය ගත කරන්න වෙන්නේ ඇඳේ නිසා එයාගේ යහළුවෝ හැමෝම අමන්දිව බලන්න ගෙදර නිතරම එනවලු.

අමන්දි විජය කුවේණි චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පී ප්‍රියාන් අනුර ශ්‍රීගේ හා අංජුගේ එකම දියණිය ද වේ.

සරසවිය අපි හැමෝම අමන්දිට ඉක්මන් සුවය පතන අතර පාඨක ඔබටත් 0776912667 දුරකතන අංකයෙන් අමන්දිගේ සුවදුක් විමසන්න පුළුවන්.

 ‘මට මැරෙන්න බැහැ’ 26 දා පිළියන්දල

පුස්තකාල රංග ශාලාවේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වේදිකාවෙන් මහ පොළවට නාට්‍ය උළෙල නියෝජනය කරමින් ‘මට මැරෙන්න බැහැ’ නාට්‍ය දෙසැම්බර් 26 වැනිදා පිළියන්දල පුස්තකාලීය රංග ශාලාවේදී වේදිකා ගතවේ.

රාජ්‍ය සම්මාන දිනූ ලීල් ආනන්ද ගජනායකගේ රචනයෙන් සහ නිෂ්පාදන අධීක්ෂණයෙන් කළ එළි බසින මෙම නාට්‍ය නර්තන ශිල්පී චානක මදුසංක කුමාරතුංගගේ ප්‍රථම නාට්‍ය දැක්මයි. ජීවිතයේ සැදෑ සමයේ සිය දරුවන් ගැන සුසුම් හෙළන පියෙකුගේත් එතෙර සිට පැමිණ සිය පාරම්පරිත දේපොළ වෙනුවෙන් ඇණ කොටා ගන්නා දරුවන්ගේත් ගැටුම් සමුදායක් තේමා කොට නිර්මාණය වී ඇති ‘මට මැරෙන්න බැහැ’ නාට්‍යයේ චානක මදුසංක, එම්. ෆර්ෂාන්, නදීකා ජයවර්ධන, තිලිණ දිල්ශාන්, රුක්ෂාන් ලමින්ද, තිවංක රත්නපාල, අශෝක සමන්කුමාර, ඕෂදී සේනානායක, චතුරානි දොලේවත්ත, හසිත් රන්දුල රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය රනවි අතුකෝරළ විසිනි.

‘බ්ලැක් මැජික්’ හඳුන්වා දෙන්න හෙට සහ අනිද්දා වැඩ සටහනක්

දකුණු ආසියාවේ පළමු බ්ලැක් මැජික් සිනමා කැමරාව පිළිබඳ හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් මෙම මස 14 සහ 15 යන දෙදින ෆයින් විෂන් ආයතනයේදී පැවැත්වේ.

ලොව ප්‍රථම වර්ණ සංයෝජක මෙවලම වන ඩාවින්සි ඩී අයි පද්ධතිය ද නිර්මාණය කළේ බ්ලැක් මැජින් ඇමරිකානු සමාගමයි. ඉහළ වර්ණාංශු ඝණත්වයක් වන 2.5ඬ ප්‍රමිතියේ රූප පටිගත කළ හැකි මෙම කැමරාව පිළිබඳ විවිධ කෝණයන්ගෙන් තාක්ෂණිකව විග්‍රහ කරමින් දේශිය සිනමාකරුවන් දැනුවත් කිරීම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන අරමුණ බව ෆයින් විෂන් සභාපති රොහාන් වැලිවිට වැඩිදුරටත් පවසා සිටියි.