වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට අත දුන් ගාමිණීට සුබපතන්න ජීවන් කුමාරතුංග ඇවිත්

සිනමාවට අත දුන් ගාමිණීට සුබපතන්න ජීවන් කුමාරතුංග ඇවිත්

පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිනමා අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණයන්ට උපහාර උත්සවයක් පවත්වනු ලැබුවා. එහිදී පැමිණ සිටි අමුත්තන් අතර විශේෂ තැනැත්තෙකු ද සිටියා. ඒ ජීවන් කුමාරතුංග. ජීවන්ගේ සිනමා ගමනේ මුල් යුගයේ ඔහු රඟපෑ චිත්‍රපටයක් වූ සරසවිය පුවත්පතේ චිත්‍ර කතාවක් ඇසුරෙන් තැනුණ සාරංගා ගාමිණීගේ අධ්‍යක්ෂණයක්.

එමඟින් ජීවන් ප්‍රේක්ෂකයන් අතරේ මෙන්ම ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන තැනැත්තෙකු වුණා.
 

උත්සවයදා ගාමිණී පොල් තෙල් පහන දල්වමින්. පසෙකින් ජීවන් සිටියි.

ගාමිණී සමඟ මේ සිටින්නේ මානෙල් වානගුරු, මැණිකේ අත්තනායක සහ ඩග්ලස් රණසිංහයි.
ඒ සියලු දෙනා ගාමිණීගේ චිත්‍රපටයන්හී රංගනයෙන් දායක වූ අයවේ.

ඇමටි ලයිට් විවෘත කළ දා

මහරගමට මෙතෙක් අඩුවක්ව පැවති සියලු පහසුකම්වලින් සමන්විත ඇමටිලයිටි නමින් මිනි සිනමා ශාලාවක් මහරගම ඇමටි ගොඩනැගිල්ලේදී විවෘත කෙරිණ. මෙහි ආසන සංඛ්‍යාව 210 කි. ඇමටිලයිටි ලිබර්ටි ලයිට් කළමනකාරීත්වය යටතේ පාලනය වේ. එහි මේ දිනවල ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් සහ ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වූ ජබ් තක් හයි ජාන් තිරගතවේ.
 

අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ යන මහත්වරුන්
සිනමා ශාලාව විවෘත කළ අයුරු.

සමස්ථ ලංකා පාසල් සංගීත අවසන් තරගය කොළඹදී

මෙම වසරේ සමස්ථ ලංකා පාසල් සංගීත අවසාන වටයේ තරග දෙසැම්බර් 22 සහ 23 යන දිනයන්හි කොළඹ ස්ථාන කිහිපයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංගීත) එඩ්වඩ් ජයකොඩි මහතා දන්වා සිටයි. පළාත් තරගවලින් ජයග්‍රහණය කරන ලද සියලුම පාසල් වෙත අදාල තරග කාල සටහන සහ උපදෙස් පත්‍රිකා තැපැල් මඟින් එවනු ලැබෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0714744715 (එඩ්වඩ් ජයකොඩි) හෝ 0718132926 (වරුණ අලහකෝන්) යන අංකයන්ගෙන් ලබාගත හැකිය.

ද හොබිටි ඇන් අන් එක්ස්පෙක්ටඩ් ජර්නි 15 දාට සැවෝයි හි තිරගත වේ

ද හොබිටි නම් නවකතාව ආශ්‍රිතව ඇකඩමි සම්මාන දිනූ සිනමාකරු පීටර් ජැක්සන් විසින් අධ්‍යක්ෂණය කළ ද හොබිටි ඇන් අන් එක්ස්පෙක්ටඩ් ජර්නි චිත්‍රපටය මෙම මස 15 වැනිදා සිට වැල්ලවත්ත සැවෝයි ත්‍රීඩී සිනමා ශාලාවේදී තිරගතවේ.

කුරුමිට්ටන් කිහිප දෙනෙකු නිධානයක් සොයා යාමේ ත්‍රාසජනක ගමනක් ඇසුරෙන් දිවෙන මෙම චිත්‍රපටයෙහි මාටින් ෆීමන්, ඉයන් මැක්කෙලන් ඇතුළු රංගන ශිල්පීන් ගණනාවක් රංගන දායකත්වය සපයති.

සෝමවීර සේනානායක ලියූ ‘අඹු සැමියෝ’ 18 දා දොරට වඩී

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක ලියූ ‘අඹු සැමියෝ’ නවකතාවේ නවතම මුද්‍රණය දෙසැම්බර් 18 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.