වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මෙත්තසේනගේ  පස්වන ඡායාරූප දැක්ම

මෙත්තසේනගේ  පස්වන ඡායාරූප දැක්ම

19 දා කලා භවනේදී

සරසවිය පවුලට නෑකම් කියන අපේ හිතවතෙක් වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී පද්මකුමාර මෙත්තසේන ඡායාරූප කලාවේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඡායාරූප ශිල්පියෙක් ලෙස ප්‍රකටයි.

මේ වන විට ඔහු ඡායාරූප ප්‍රදර්ශන හතරක් සාර්ථකව නිම කිරීමට සමත් වුණා.

පස්වැනි වරට මෙවර පවත්වන ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයට පාදක වී ඇත්තේ උතුරු තායිලන්තයේ ජන ජීවිතය හා බැඳුණ ඡායාරූප දැක්මක්. එය මේ මස 19 – 25 දින දක්වා කොළඹ කලා භවනේදී පෙ. ව. 8.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

‘චිඇන්ග් මායි’ ලෙස හඳුන්වා ඇති මෙම ප්‍රදර්ශනය ගැන පද්මකුමාර පවසන්නේ මෙවැනි අදහසකි. ‘මම උතුරු තායිලන්තයේ සංචාරයකින් පසුව ඉදිරිපත් කරන මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප කිසිදු සංස්කරණයකට ලක් නොකරයි ඉදිරිපත් කරන්නේ. තායිලන්තයේ ස්වභාව සෞන්දර්යය, ජන ජීවිතය, විලාසිතා ආදී විවිධ ක්ෂේත්‍ර මෙම ඡායාරූප ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා.

මෙම ප්‍රදර්ශනයට ඡායාරූප ගැනීම සඳහා තායිලන්තයේ සංචාරයට මා හා එකතු වුණේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාගේ පුත් දුමින්ද කලංසූරිය හා හිතවත් ප්‍රසංග සිල්වා. මේ ප්‍රදර්ශනය පවත්වන්නේ සම්පූර්ණයෙන් නොමිලේ.

F-Stop 2012 – Chiang Mai ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන මෙත්තසේන වර්තමානයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස ද කටයුතු කරයි.
 

නීල්ට වයඹ කලා පුත්‍ර සම්මානය

චිත්‍රපට නිෂ්පාදක, රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී කලා භූෂණ නීල් බී. පෙරේරා වයඹ කලා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබයි. රංගනයෙන්, නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, අංග රචනයෙන්, කැමරාකරණයෙන්, කලා අධ්‍යක්ෂණයෙන් දෙබස් සහ ගීත රචනයෙන් ඔහු කළ මෙහෙය අගයා මෙම සම්මානය ලබාදෙන ලදී. මෙරට ප්‍රථම සහ එකම සඳැස් නළුව වූ නැකත වේදිකා නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා වූ හෙතෙම සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වේ. හෙළ සිනමාව හැඩගැන් වූ ළමා නිළි කුසලා බී. පෙරේරා ඔහුගේ දියණියයි.

නීල්, වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මහතා අතින් සම්මානය ලබාගත් මොහොතයි මේ.

කතෝලික කලාකරුවන් හමුව

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කාලීන අදහසක් අනුව උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය සහ මූලිකතත්වය යටතේ ජාතික කතෝලික ජනසන්නිවේදන සහ සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝශප් පියතුමාගේ පූර්ණ සංවිධානයෙන් යුතු කිතුනු කලාකරුවන්ගේ වාර්ෂික නත්තල් සුහද හමුව තුන්වන වරටත් පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ අගරදගුරු නිල නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී වයෝවෘධ සහ අසරණභාවයට පත් වූ කලාකරුවන් පස් දෙනෙකුට අගරදගුරුතුමන් සුරතින් මූල්‍යමය ආධාර ලබාදෙන ලදී. බොනිපස් ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි, ඇන්ටන් මිහිඳුකුල, සමන්ති ලැනරෝල් සහ ඇන්ටන් සිල්වා එයට හිමිකම් කියූ කලාකරුවන් වේ.