වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘අංජන රංජන’

‘අංජන රංජන’

නාලක අංජන නාද වියමන හෙට බිෂොප් ශ්‍රවණාගාරයේදී

ප්‍රවීණයන්ගේ සහාය අපට ලැබෙන්නේ අඩුවෙන්

මෙරට සංගීතලෝලී සහෘදයන් හට නාලක අංජන කුමාර කිසි විටෙකත් ආගන්තුක චරිතයක් නොවේ. ඒ දශක තුනකට ආසන්න සෞන්දර්ය චාරිකාවේදී ඔහු විසින් ඔවුන් වෙත ප්‍රදානය කළ අපූර්ව සත්සර නිර්මාණයන් නිසාවෙනි. නාලක රසික ජනතාව වෙත වඩාත් සමීපව ඇත්තේ අති දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පියකු ලෙසය. නමුදු හේ ස්වර සංයෝජකයකු, සංගීතඥයකු හා ගායන ශිල්පියකු ලෙස ද සිය ප්‍රතිභා ප්‍රභාව ලාංකේය සංගීත ක්ෂේත්‍රයෙහි පතළ කර තිබේ.

මියුරු නාද රටාවන් ඔස්සේ නාලක නිර්මාණය කළ සුමියුරු ගී බොහොමයකි. ඒ අතරින් තෝරා ගත් ගීත කිහිපයක් ප්‍රවීණ ගායක, ගායිකාවන් ගේ හඬින් ගැයෙන ‘අංජන – රංජන’ නාලක අංජන නාද වියමන ගී ප්‍රසංගය හෙට (14) කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. නාලක මෙසේ අප හා සංවාදගත වන්නේ එකී මියැසි දැක්ම මුල්කර ගනිමිනි.

සංගීත ශිල්පියකු ලෙස මෙතෙක් ඔබ ආ ගමන් මගේ ආරම්භක අවධිය සිහිපත් කරමින් මේ කතාබහට පිවිසෙමු?

ඇත්තෙන්ම මගේ සංගීත දිවියේ තිඹිරි ගෙය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රජරට සේවය කිව්වොත් එය නිවැරදියි. 1979 දී රජරට සේවයේ ආරම්භක ළමා ශිල්පියකු විදිහටයි මම ඊට සම්බන්ධ වුණේ. 80 දසකයේ මුල් භාගයේදී විශාරද ගුණදාස කපුගේ මහතා රජරට ගුවන් විදුලියට දඬුවම් මාරුවක් ලැබුවා. මේ හේතුව නිසා කපුගේ වගේ දැවැන්තයකු ඉතා සමීපයෙන් ඇසුරු කිරීමට මට වරම් ලැබුණා. ඔහුගේ ඇසුරේ සංගීතය පිළිබඳ බොහෝ කරුණු මම දැන කියා ගත්තා. ගිටාර් වාදකයකු විදිහටයි ඒ කාලේ මාව වඩාත් ප්‍රචලිත වුණේ.

ඔබ තනු නිර්මාණයට පිවිසෙන්නෙත් ඒ යුගයේදී?

ඔව්. මම හා හා පුරා ගීතයක් නිර්මාණය කළේ කරුණාරත්න දිවුල්ගනේට. ඒ ‘ඔබට වරම් නැති මටද වරම් නැති’ කියන ගීතය. එතකොට මට වයස අවුරුදු දාහතරයි. ඒ කාලෙම තවත් ගී නිර්මාණය කළත් ඒවා ජනප්‍රියත්වයට පත් වුණේ නැහැ. දිවුල්ගනෙත් රජරටින් බිහි වූ ගායකයෙක්. කපුගේ වගේම ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වැනි විශිෂ්ටයන් ඇසුරේ රජරට ගුවන් විදුලියේ ඒ ගෙවුන කාලය අදටත් සුන්දර මතකයක්.

කොළඹ ගුවන් විදුලියට ආවට පස්සේ තමයි නාලක අංජන කුමාර වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ?

අසූව දසකයේ මැද භාගය වෙනකොට මම ගුණදාස කපුගේ හා සේන වීරසේකර එක්ක කොළඹට එනවා. සේන අයියත් එක්ක මම කොළඹ නැවතුණා. 1986 දී මම නිත්‍ය ගිටාර් වාදකයකු විදිහට ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට එකතු වුණා. ඇත්තෙන්ම ඔබ කිව්වා වගේ සංගීත ශිල්පීන් වැඩිපුර මට හඳුනා ගන්න ලැබුණේ ඊට පස්සේ.

නාලක වඩාත් කාර්යබහුලත්වයට පත් වූයේ විශාරද ගුණදාස කපුගේ ‘කම්පන’ ප්‍රසංගය ආරම්භ කිරීමත් සමඟිනි. ‘කම්පන’ නිත්‍ය ගිටාර් වාද්‍ය ශිල්පියා වූ නාලක, කපුගේ සමඟ රට වටා ගියේ සිය විශ්මිත ගිටාර් වාදන කෞශල්‍යයෙන් ‘කම්පන’ ප්‍රසංගය අලෝකමත් කරමිනි.

ඒ කාලේ රසවත් සිදුවීම් ගොඩක් ඇති?

රසවත් වගේම අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. හැබැයි ඒවා මාධ්‍යයට කියන්න බෑ. කියන්න පුළුවන් එකක් තමයි මේ. ‘කම්පන’ ප්‍රසංගයට අපි සියලුම දෙනා ගියේ ඒ සඳහා වෙන් වූ බස් රථයක. කොහේ හරි ඵඩධඹ එකකට අපේ ගෙවල් පසු කරගෙන යනවා නම් මම කපුගේට කියනවා මම පස්යාලෙන් නගින්නම් කියලා. මොකද ඒක මට පහසු නිසා. ඒත් කපුගේ කියන්නේ මට කොළඹට ඇවිත් කට්ටිය එක්ක එකටම යමු කියලයි. කොහොම හරි අවස්ථා දෙක තුනකම පෙනි පෙනී කට්ටිය මාව මග දාලා ගියා. අන්තිමට පාරේ බස් එකේ තමයි ඒ ප්‍රසංගය තිබෙන තැනට යන්නේ. ඒ යනකොට සිංදුවක්, දෙකක් ගායනා කරලත් ඉවරයි. ඔය වගේ විහිලු තහලු කොතෙක් සිදු වුණත් අපි අතරෙ කවදාවත් විරසකයක් වෙලා නැහැ.

කපුගේ සංගීතවත් කළ ‘බව දුක’, ‘බව කර්ම’ චිත්‍රපටවලදීත් ඔබ ඔහුට අනගි සහයක් ලබා දුන්නා?

ඇත්තටම එහි සංගීත නිිර්මාණ කටයුතුවලදී කපුගේ ගේ සෙවනැල්ල වගේ හිටියේ මම. එය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක පවා දන්නවා. ස්වර ප්‍රස්තාර ගත කිරීම, සංගීත සංයෝජනය වගේ දේවල්වලදී මම කපුගේට උපරිම දායකත්වය ලබා දුන්නා.

මෙතරම් දක්ෂ සංගීතඥයකු වෙලත් ඔබ තවම සංගීතවත්කර තිබෙන්නේ එක් චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක් පමණයි?

හේතුව මමවත් දන්නේ නෑ. අනුර චන්ද්‍රසිරිගේ ‘රජ්ජුමාලා’ චිත්‍රපටයට මා නිර්මාණය කළ ගීතය එම වසරේ ‘ජනාධිපති’ සම්මාන උළෙලේ හොඳම ගීත නිර්මාණයට පවා නිර්දේශ වුණා. ඒත් එතනින් පස්සේ මට චිත්‍රපටයකට ආරාධනා ලැබුණේ නෑ. විමලරත්න අධිකාරිගේ ‘ජීවිතය සුන්දරයි’ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයත් මගේ. ඒත් එච්චරම තමයි.

කලකට ඉහත ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සුරම්‍ය රාත්‍රිය’ සංගීතමය වැඩ සටහනේ නියමුවා වූයේ නාලකය. ගිටාර් හතක් උපයෝගී කර ගනිමින් මෙරට දක්ෂතම ගිටාර් වාද්‍ය ශිල්පීන් සමඟ නාලක ඉදිරිපත් කළ එකී වැඩ සටහනට දිවයිනේ ප්‍රවීණතම ගායක, ගායිකාවන් සජීවීව ගී ගැයූහ.

මගේ නිර්මාණ සංකල්පයකට අනුව බිහි වූ ‘සුරම්‍ය රාත්‍රිය’ ඔස්සේ මම අලුත් දෙයක් කළා. අදටත් ඒ මතකය මිනිස්සුන්ගේ හදවතේ රැඳී තිබෙන්නේ ඒ නිසයි. ඒත් අවාසනාවකට ඒ වැඩ සටහන අතරමග නතර වුණා.

අපි දැන් ඔබේ ‘අංජන – රංජන’ ප්‍රසංගය දෙසට හැරෙමු?

හෙට හවස 6.30 ට කොළඹ බිෂොප් විදුහල් රඟහලේදියි මෙය පැවැත්වෙන්නේ. එහිදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නන්දා මාලිනී, කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, ප්‍රදීපා ධර්මදාස, යමුනා විනෝදනී, ඉන්දිකා උපමාලි, අමල් පෙරේරා, කසුන් කල්හාර, ක්‍රිෂාන්ත එරන්දක මා නිර්මාණය කළ ගීත ගායනා කරනවා. ප්‍රසංගයේ අවසන් අංගය ලෙස මහින්ද බණ්ඩාර සහ මම ගිටාර්වලින් පොඩි හරඹයක් කරනවා.

මා දන්නා තරමින් ඔබ මුදල් පසුපස හඹා යන කලාකරුවෙක් නෙවෙයි. මොන වගේ අභිප්‍රායක් ඇතුවද ඔබ මේ ප්‍රසංගය පවත්වන්නේ?

වසර තිහක කාලයක් පුරාවට විටෙන් විට මා නිර්මාණය කළ ගී අතරින් වැඩිපුර මාධ්‍යවල නොඇසුන ගීත අතලොස්සක් තමයි මම ‘අංජන – රංජන’ ප්‍රසංගයට තෝරා ගත්තේ. හොඳ ගීතවල හිඟයක් තියෙනවා කියලා හැමෝම මන්තරයක් වගේ ජප කරනවනේ. ඒකට උත්තරයක් තමයි මේ ප්‍රසංගයෙන් මම දෙන්නේ. හොඳ ගී තියෙනවා. මගේ ගැන විතරක් නෙවේ මේ කියන්නේ. හොඳ ගීත නිර්මාණය කරන පිරිස් තවම මේ රටේ ඉන්නවා. නමුත් මාධ්‍යයන්ගෙන් මේවාට ඉඩක් නෑ. සමහර මාධ්‍යවල 70% ක් විතර හොඳ ගීත ප්‍රචාරය වෙනවා. නමුත් හුඟක් නාළිකාවලින් ඒ අවස්ථාව ලැබෙන්නේ 20% කට වඩා අඩුවෙන්. මම මේ ජනතාවට පිළිගන්වන්න හදන්නේ ඒ සැඟවුණ, අවස්ථාවක් නොලද ගීත.

ඔබ ක්ෂේත්‍රය පිළිබඳ කලකිරීමෙන් ද ඉන්නේ?

මම සංගීත වෘත්තිය කරන්නේ තෘප්තියක් ඇතුවයි. ඒත් මා මෙතෙක් කළ නිර්මාණවලට නිසි ඇගයීමක් ලැබිලා නෑ කියලයි මම හිතන්නේ කුමක් හෝ හේතුවකින්.

කාටද ඔය චෝදනාව?

අපි බොහෝ විට ගුරු කොට තකන්නේ හෝ අපේ පෙර ගමන්කරුවන් විදිහට සලකන්නේ ප්‍රවීණයෝනේ. ඒ අයගේ සහය අපට ලැබෙන්නේ අඩුවෙන්. විශාරද අමරදේව, විශාරද ගුණදාස කපුගේ වැනි ප්‍රවීණයන්ගෙන් නම් මට සහයෝගය ලැබුණා. මගේ ඉදිරි ගමනට ඔවුන්ගේ මඟ පෙන්වීම විශාල ධෛර්යයක් වුණා. ඒත් බොහෝ අයගෙන් ඒ පන්නරය අද අපට ලැබෙන්නේ නෑ.

‘අංජන – රංජන’ ප්‍රසංගයේදී සහෘද රසකාමීන් පිරිසකගේ අමිල දායකත්වය ඔබට ලැබෙනවා. අවසන් වශයෙන් ඒ පිළිබඳ යමක් කියන්න?

මේ ප්‍රසංගයේ නිර්මාණාත්මක පාර්ශ්වය පිළිබඳවයි මට වැඩිපුර අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ. සියලු සංවිධාන කටයුතුවලට උරදීලා මාව ඒ බරින් නිදහස් කරන්න මගේ මිතුරු පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. ‘අංජන – රංජන’ නාලක අංජන නාද වියමන ප්‍රසංගයේ පිටපත ප්‍රවීණ ගීත රචක ගීතනාත් කුඩලිගමයන්ගේ. කථනය වසන්ත රෝහණ සිදු කරනවා. ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක නුවන් පෙරේරා. ප්‍රසංග අධීක්ෂණය සුදත් ලක්ෂ්මන් රත්නායකගේ. මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම සහෝදර වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාර විසින් සිදු කරනවා.