වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සුර දූතියෝ’ චිත්‍රපටයෙහි සුර දූතියන් ලෙස රෝසි සේනානායක, විශාකා සිරිවර්ධන සමඟ රඟපෑ අකුෂ්ලා සෙල්ලයියා රඟපා ඇති වෙනත් චිත්‍රපට තිබේද? ඇය ගැන විස්තරයක් කියන්න.

කමල් ප්‍රියන්ත රණසිංහ - ගොඩගම ජනපදය – නක්කාවත්ත

ඇය තවලම, රෑ මනමාලි, බඳුරා මල් සහ මවුන්ටන් ඉන් ද ජන්ගල් වැනි චිත්‍රපට කිහිපයක රඟපෑවා. විවාහ වූ පසුව නම් ඇය ගැන ආරංචියක් නැහැ.

ගිනි අවි සහ ගිනිකෙළි හි කතා රචක ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් සහ සරසවිය කර්තෘ මණ්ඩලයේ හිටපු (මියගිය) සුනිල් හොරේෂස් යන අය සහෝදරයන්ද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද

නැහැ. ඔවුන් අතර කිසිම ඥාති සම්බන්ධයක් නැහැ.

රූපවාහිනියේ පෙන්වන සිංහල චිත්‍රපට වෙළෙඳ දැන්වීම් නිසා චිත්‍රපටය බැලීමේදී එපා වෙනවා. මෙයට විසඳුමක් නැද්ද?

සරත් රණසිංහ – කපුගොඩ

ඉතින් රූපවාහිනිය නොබලා ඉන්නකෝ.

දැන් කාලේ ටෙලි නාට්‍යවල රඟපාන නිළියන්ගේ ඇඳුම් නම් අන්තිමයි. පවුලේ අයට එකට ඉඳගෙන ටී. වී. බලන්නත් කැතයි.

අනුර ඩිල්ෂාන් – ගලේවෙල

මේ පිළිබඳ මට ඇත්තේ කාරණා දෙකයි. එක පවුලේ අය එකට සිට ටී. වී. නොබලන්න. දෙක – මම නම් හිතන්නේ ඔවුන් අඳින ඇඳුම් මට වඩා එය නරඹන කෙනාගේ ඇඟේ සහ සිතේ වරදක් බවයි.

ජනක සහ මන්ජු චිත්‍රපටයේ රඟපෑ ජයන්ත දාස් පෙරේරා දැන් කෝ? ඔහු රඟපෑමෙන් ඉවත් වෙලා ද?

එන්. කරුණාදාස - ඉඳුරුව

ජයන්ත මෑතක රඟපෑවේ නම් නැහැ. හැබැයි ඔහු අධ්‍යක්ෂණය කළ එක් චිත්‍රපටයක් තිරගතවීමට නියමිතයි.

සිනමාස් සමාගම, සිලෝන් තියටර්ස් සහ සිලෝන් එන්ටර්ටේන්මන්ට් පළමුවරට නිපැයූ චිත්‍රපට මොනවාද?

කේ. පී. පියසේන, රේමන් සිල්වා - බොරගොඩවත්ත

සිලෝන් තියටර්ස් 1947 දී අශෝකමාලා. සිනමාස් සමාගම 1953 දී සුජාතා හා සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් 1956 දී සුරතලී.

මේ ඇහුනද? ඔන්න අහංකාර ස්ත්‍රී චිත්‍රපටයත් ටෙලි නාට්‍යයක් කරන්න යනවා කියන්නේ, ඔයා කැමති ද?

සරත් – මාළිඳ

ඇයි තියෙන වැරැද්ද මොකක් ද?

ශුද්ධ වූ බයිබලයේ සඳහන් කතාවක් අනුව නිපදවන ලද ‘ක්වෝ - වාඩිස්’ නැමැති චිත්‍රපටය ගැන විස්තරයක් පළ කරන්න.

ඇන්. ඩබ්. පී. පෝල් පෙරේරා - කුලියාපිටිය

ක්වෝ වාඩිස් නමින් අති ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය වූයේ 1951 වසරේදී. එයට පාදක වූයේ 1896 දී ‘හෙන්රික් සියෙන්කි වික්ස්’ විසින් රචනා කරන ලද නවකතාවයි. ක්‍රි. ව. 64 දී පමණ රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යාගේ යුගයේදී කතෝලිකයන් වීම නිසා සිදු වූ ඛේදජනක ඉරණම මේ කතාවට පාදක වුණා. චිත්‍රපටය නිර්මාණය කළේ මර්වින් ලී රෝයි විසින්. ජෝන් ලී මාහින්, එස්. එන්. බෙහෙර්මන් සහ ෂෝන් යා ලෙවියන් මෙහි තිර නාටකය රචනා කළා.

සුරූපී ඩෙබෝරා කේයර් මෙහි ලිජියාගේ චරිතය රඟපෑ අයුරු ඒ කාලේ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී පවතිනවා. එමෙන්ම රොබට් ටේලර්, පීටර් උස්තිනොෆ්, ලියෝ ගෙන් මෙහි සෙසු චරිත නිරූපණය කළා. එමෙන්ම ලොව සිනමා සංගීතය ගැන සලකද්දී මික්ලෝස් රොයා පැරැණි ග්‍රීක සාහිත්‍ය ඇසුරින් නිර්මාණය කළ සංගීතය එකල බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වුණා. එමෙන්ම ලොව වැඩිම ඇඳුම් සංඛ්‍යාවක් එනම් ඇඳුම් 32000 ක් (එකල) භාවිත කළ චිත්‍රපටයත් මෙයයි.

මේ චිත්‍රපටයේ මුලින් රඟපෑමට සිටියේ එලිසෙබත් ටේලර් හා ග්‍රෙගරි පෙග් වුවත් පසුව ඔවුන් චිත්‍රපටයෙන් ඉවත්වූවා. පුදුමය නම් එලිසෙබත් ටේලර් මෙහි එක් ජවනිකාවක පසුව පෙනී සිටීමයි. එහෙත් ඇයගේ නම එහි සඳහන් වෙන්නේ නැහැ. පසු කලෙක අතිශය විශිෂ්ට නිළියක වූ සොපියා ලොරේන් සහ ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බඩි ස්පෙන්සර් මේ චිත්‍රපටයේ අති විශාල සමූහ දර්ශනවල පෙනී සිටිනවා.

මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන අටකට නාමයෝජනා වුවත් එකදු සම්මානයක්වත් දිනා ගත්තේ නැහැ. එහි විශේෂත්වය නම් හොඳම සහාය නළුවා සඳහා එහි රඟපෑ ලියෝ ගේත් සහ පීටර් උස්තිතෝ යන දෙදෙනාගේම නාමයෝජනා වී තිබීමය. කෙසේ වෙතත් ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ සම්මාන හිමි වූයේ හොඳම සංස්කාරක ලෙස ක්වෝ වාඩිස් චිත්‍රපටයටයි.

ඔබ සඳහන්කර තිබුණා ගාමිණී ෆොන්සේකා සමඟ ස්වර්ණා මල්ලවආරච්චි චංචල රේඛා චිත්‍රපටයේ එකට රඟපෑවා කියලා. එය වැරැදියි නේද? එම චිත්‍රපටයේ රඟපෑවේ නදීකා ගුණසේකර නේද?

කරූ මණ්ඩාවල – නාත්තන්ඩිය

නදීකා එහි ප්‍රධාන චරිතය රඟපෑවත් ස්වර්ණා ගාමිණීගේ පෙම්වතිය හැටියට රඟපෑවා මතක නැද්ද කරූ.

නීලා වික්‍රමසිංහ සහ නෙවිල් ප්‍රනාන්දු ගායනා කරන මාස්ටර් සර් ගීතය ඇතුළත් වූ චිත්‍රපටය කුමක් ද?

වික්ටර් පල්ලියමුල්ල - හැඳල

මෙය ඇතුළත් වූයේ ‘කළු දිය දහර’ චිත්‍රපටයටයි. මෙය පසු කලෙක නීලා ගායනා කළේ නිමල් මෙන්ඩිස්ගේ අලුත් කැසට් පටයකට. චිත්‍රපටයට ගායනා කළේ නෙවිල් ප්‍රනාන්දු.