වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රත්මලී නිසා මට විළිරුදා නොහැදුණා විතරයි

රත්මලී නිසා මට විළිරුදා නොහැදුණා විතරයි

කඳු පෙළ අතර හැංගුණු හිරුගේ තනිය මකන්න ආව සැඳෑ අඳුර උඩමාලිම්බඩ කන්ද වසඟයට ගත්තේ ටිකෙන් ටික. ඒ අඳුරත් එක්ක හාද වුණු වැහි බීරම සැදෑ අඳුරේ අන්ධකාරය තවත් තීව්‍රර කළා. ඉඳිහිට වැටෙන මොර ගෙඩි තරම් ලොකු වැහි බින්දු කිහිපයක් රත්මලීගේ අත සිප ගත්තා.

ඒ මොර සූරනා වැස්සක් ළඟ ළඟම එනවා කියන්නා වගේ. චීත්ත රෙද්දෙන් එළියට පනින්න තනන දිනෙන් දින මෝදුවන කුසට ඇගේ අත ගියේ ඉබේටම. කුස මත අත තබා ගත්ත රත්මලී උඩමාලිම්බඩ කන්ද තරණය කළේ පරිස්සමට. සීරුවට වහින වැස්සෙන් පණ ලැබුණු කූඩැල්ලෝ එකා දෙන්නා පරඬැල් අතරිලන් මතුªවුණේ අද නම් අපේ දවස කියලා. වැස්සෙන් තෙත බරිත වුණු රත්මලී සුවිසල් අතු පතර විහිදුණු නුග රුකක් ළඟ නතර වුණේ මොර සූරන වැස්සට මුවා වෙන්න හිතාගෙන. තමන්ගේ නවාතැනට තව කොයි තරම් දුර ද කියල ඈ කල්පනා කළේ කූ®ඩැල්ලන් කඩල දාන ගමන්.

එදා ඒ විදියට කූඩැල්ලන් කඩ කඩ දුක්වින්ඳ රත්මලීට පණ දුන්න සමාධි ලක්සිරි මම යනකොට හිටියේ බංකුවට බර දීලා බර කල්පනාවක.

තවමත් කල්පනාව කුඩැල්ලන් ගැන ද?

පසුගිය දවස්වල ස්වාධීන රූපවාහිනියන් විකාශය වුණු ‘කඩදොර’ ටෙලි නාට්‍යයේ රත්මලීගෙන් මා විමසුවේ ඇගේ කල්පනාවට බාධා කරමින්.

‘ඒ අත්දැකීම කොයි තරම් සොඳුරු ද කියලා දැනෙන්නේ දැන් තමයි.’

පසුගියදා පැවැත්වුණු සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස අභිෂේක ලැබුව මේ සොදුරු යුවතියගේ උවනට නැගුණු සිනාවේ සතුට ඉහවහා ගිහින්.

‘සම්මානය ලැබුණු ඒ සොඳුරු මොහොතේ ඔබට මොනවද සිතුණේ?’

‘ප්‍රධාන චරිතයක් කළ පළමු නිර්මාණය වුණු කඩදොර ටෙලි නාට්‍යයටම හොඳම නිළිය ලෙස මට සම්මානය ලැබීම ලොකු සතුටක්. මට ලැබුණු ගෞරවයක්. ඒ විනිශ්චය මණ්ඩලයට වගේම සුමති සම්මාන උළෙලට ඒ ගෞරවය මා පුද කරනවා. නිර්දේශිත නාමයන් දැනගත්තේ 19 වැනිදා. ඒත් හොඳම නිළිය සම්මානය හිමිවේය කියන හාංකවිසියක් මගේ හිතකවත් තිබුණේ නැහැ.

එතැනදි හොඳම නිළිය විදියට මගේ නම කියැවුණු මොහොතේ සිතේ ඇතිවුණු හැඟීම අමුතුයි. ඒක මට කියන්න වචන ඇත්තේ නැති තරම්. ‘කඩදොර’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මා වින්ඳ දුක් එක මොහොතකින් කෙළවර වුණා වගේ හැඟීමක් මට දැනුණා. මේ සම්මානය මගේ පළමු ටෙලි සම්මානයයි. මීට පෙර මා සම්මානා ලැබුවේ වේදිකාවේදී. ඒ නිසා සම්මානය පිළිබඳ මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම ඒ මොහොත බොහොම සුන්දර මොහොතක්.’

දක්ෂ රංගන ශිල්පිනියක සතුª ගුණාංගයන් රැසක් උරුම කරගත් සමාධිට තමන්ගේ නම හොඳම නිළිය ලෙස නිර්දේශ වීම කොහොමද දැනුණේ?

‘මමත් සමඟ නිර්දේශ වුණු සහෝදර රංගන ශිල්පිනියන් දෙදෙනාම ටෙලි නාට්‍ය කලාවේ මට වඩා බොහෝ අත්දැකීම් තිබෙන අය. ඔවුන් මට වඩා ගොඩක් වැඩ කළ අය. වෘත්තීය මට්ටමින් රංගන ශිල්පිනියන්. ඔවුන් සැබෑම දක්ෂයින්. ස්වයංජාත, ඇත්කඳ ලිහිණි, කඩදොර කියන නිර්මාණ ත්‍රිත්වය අතර තිබුණු තරගයෙන් මට හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. ඔවුන් හොඳින් ඒ නිර්මාණවල රඟපාලා තිබුණා. කොහොම නමුත් ඔවුන් අතරින් සම්මානය හිමිවීම මගේ සිතේ නිහතමානී සතුටක් ඇති කළා. සම්මානය අතට ලැබීමත් සමඟ යම් වගකීමක් හිතට දැනුණා. තෝරා බේරා ගෙන රඟපාන නාට්‍ය අතර තවත් වගකීමෙන් නාට්‍ය තෝරා ගත යුතුයි, රඟපෑ යුතුයි යන්න කියන වගකීම මගේ සිතට පිවිසුණා.’

ඔබ ඒ සම්මානය ලබා ගත්තේ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය සුරතින්.

‘ඇත්තටම අපේ රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිතුමා. එතුමාගේ බිරිඳ ලෙස ඇය තමයි කාන්තාවන්ගේ ප්‍රධානියා. ඇය වැනි කෙනෙකුගේ අතින් සම්මානය ලබා ගන්නට ලැබීම සලකන්නේ මා ලද ගෞරවයක් ලෙසයි.’

කොළොම් පුරවරයට සැතපුම් ගණනක් ඈතින් පිහිටි ඇඹිලිපිටිය ග්‍රාමයේ ඉපිද හැදුණු වැඩුණු සමාධි, ඉස් ඉස්සෙල්ලාම කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ කැලණිය විශ්ව විද්‍යාලයට. නර්තනය ඉගෙන ගන්න ආව ඈ නාට්‍ය හා රංග කලා පාඨාලාවට බැඳනේනේ අහම්බෙන් සිතේ ඇතිවුණු අදහසකට.

ඒ ගමන ආ දුර නේද?

‘ප්‍රියංකර රත්නායක සර්ගේ උපාධි පාඨමාලාවට බැඳුණේ තරගයක් දීලා. එහි ඉගෙන ගන්න කාලයේ තමයි මම වේදිකාවට සම්බන්ධ වෙන්නේ. ‘මුහුදු ලිහිණියා’ කියන වේදිකා නාට්‍යයේ මාෂාගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ ඊඩිපස්, සඳ ගිනි අරන්, මාස්ටර් බිලිධර්, ඔබ ආපසු යන්න, ඇන්ටිගනී, ජනේලයෙන් පනින්නද, වීරයා මැරිලා, සිහින හොරු අරං, බකමූණා වීදි බසී කියන වේදිකා නාට්‍යවලට මට සකම්බන්ධවීමේ අවස්ථා උදා වුණා. අදත් සක්‍රීය ලෙසම රංගනයේ මම නියැළිලා ඉන්නේ වේදිකාවේ. මගේ පළමු අවස්ථාව වෙන්නේ වේදිකාව. ටෙලි නාට්‍ය කියන්නේ මගේ දෙවැනි තැන. මම එහෙම දකින්නේ වේදිකාවෙන් අරගෙන එන දේ තමයි ටෙලි නාට්‍යවලදී අපි පාවිච්චි කරන්නේ. ටෙලි නාට්‍යවල ලොකු කාලයක් රැඳිලා ඉඳීමේ ශක්තිය තිබෙන්නේ වේදිකාවේ. ඒ ශක්තිය ගන්න වේදිකාවේ ඉන්නම ඕන.’

නාලන් මෙන්ඩිස්ගේ ‘සූරිය දරුවෝ’ ඔස්සේ ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන ඇය ටෙලි නාට්‍ය රංගනය පිළිබඳ හදාරන්නේ ප්‍රවීණ චරිත අධ්‍යයනය කරමින්. ඒ අධ්‍යයනයට ඉඩහසර වෙන්කරමින් ‘වසන්ත කුසලානය’, ‘රාත්‍රිය මනරම්’ කියන ටෙලි නාට්‍ය ඔස්සේ සමාධි ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වන්නීය.

‘මේ අතර ලැබෙන ‘කඩදොර’ ටෙලි නාට්‍යය ඔබේ රංගන ජීවිතයේ කඩඉමක් ද?

‘කඩදොර’ ටෙලි නාට්‍යට මට කතා කරන්නේ රූගත කිරීම්වලට දවස් හයකට කලින්. අධ්‍යක්ෂවරයා වුණු රජිව් ආනන්ද පිටපත පිළිබඳ කිව්වට පස්සේ මම දෙපාරක් හිතන්නේ නැතිව ඒ චරිතයට කැමැති වුණා. මොකද ඒ චරිතය පිළිබඳ කියවද්දී හොඳ ටෙලි නාට්‍යයක පිටපතක් කියල මට හිතුණා. මේ චරිතය වගේම රූගත කිරීම්වලදී ඇති විය හැකි දුෂ්කරතාවයන් පිළිබඳ අධ්‍යක්ෂවරයා මාව දැනුවත් කළා. කොහොම නමුත් මාව මේ චරිතයට සුදුසුයි කියලා යෝජනා කර තිබුණේ රොෂාන් රවීන්ද්‍ර කියන මගේ සහෝදර රංගන ශිල්පියා. රංගනයේදී ඔහුගෙන් වගේම අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය මම සිහිකළ යුතුමයි.

ඔවුන්ට ස්තුති කළ යුතුමයි. ඒ ලැබුණු සහයෝගය නිසාම මගේ චරිතය වඩාත් හොඳට රඟපෑමේ අවස්ථාව මට හිමි වුණා. කූඩැල්ලන්, වැස්ස, මට පිහිනන්න බෑ කියන මේ සියලු දුෂ්කරතා මම කෙලෙසින් හෝ ජය ගත්තා. උඩ සිට අඩි කිහිපයක් ගැඹුරු වතුරට පනින්න සිදුවීම විශාල අභියෝගයක්. ඒ සියලු දුෂ්කරතා රංගනයේදී කරන කැපවීම නිසා අපට අමතක වෙලා යන්නේ මෙවන් සම්මාන ලැබෙද්දියි.’

ගැබ්බර රත්මලී සිය සැමියා හා දෙහැවිරිදි පුතු සමඟ ගම්බිම් දමා පිවිසෙන්නේ පැමිණි දුක් පැණි රසයි යන ගැමි වදන සිහියට නගමින්.

යුවතියක් වුණු ඔබට ගැබ්බර රත්මලීගේ චරිතය කොතරම් අභියෝගයක් වුණාද?

‘රත්මලීගේ චරිතය රඟපාද්දී මට විළිරුදාව හැදුණේ නැති එක විතරයි. හරියටම ළමයෙක් ලැබෙන කාල සීමාවක් දක්වාම මට ඒ බඩ බැඳගෙන ඉන්න වුණා. ඒ බඩ නිර්මාණය කරලා තිබුණේ කොට්ටයකින් නෙමෙයි. වසන්ත පූර්ණවංශ කියන අංග රචනා ශිල්පියා ඒ සඳහා මොනවදෝ අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් සකස් කරල තිබුණු ඒ බඩ මගේ රංගනය පහසු කළා. ඒ නිසාදෝ මන්දා මට හිතුණේ මේ දේ මට සිද්ධ වුණ දෙයක් විදියටයි. අන්තිම දවසේ බඩ ඉවත් කරන කොට මට ඇති වුණේ බොහොම දුකක්. ඒ තරමට මා රත්මලීගේ චරිතයේ ජීවත්වුණා. රූගත කිරීම් කරන කාලයේ ඒ චරිතයේ ජීවත්වීම නිසාදෝ චරිතයෙන් මිදුණු මොහොතේ මම හිටියේ ගැබ්බර මවක් වාගෙයි. චරිතයේ ජීවත්වීම කියන ඒ දේ මට ලැබෙන්න ඇත්තේ වේදිකාවෙන්. ඒ පුරුද්ද නිසා චරිතයෙන් ඈත්වීම මගෙන් වැළකුණා. මට සුබපැතුව බොහෝ දෙනෙක් කිව්වේ ඔබ එක මොහොතක්වත් චරිතයෙන් ගැලවුණේ නෑ කියලයි. රත්මලී කියන්නේ අධ්‍යක්ෂවරයාගේ කාලාන්තරයක් තිස්සේ ජීවත්වුණු චරිතයක්. ඔහුගෙන් ලැබුණු උපදෙස් මත මගේ උපරිම දක්ෂතාවය දක්වමින් මා රත්මලී ප්‍රතිනිර්මාණය කළා.’

ඒ රත්මලීට අද නියම තැන ලැබිලා. ඒ ලැබුණු තැන ඔබ හැමදාම රැක ගනීවිද?

‘මම බොහොම සරල කෙනෙක්. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාර දිගේ ඇවිදගෙන යන්න වුණත් මට පුළුවන්. ඒ වගේම බොහොම දෙනෙක් මාව හඳුනන්නේ චරිතයෙන් මිස රූපයෙන් නෙමෙයි. ඒකත් මට ලොකු පහසුවක්. මේ හැම කාරණයක්ම මට කරන්නට හැකියාව ලැබෙන්නේ මගේ ගෙදර අය නිසා. අම්මා වගේම සහෝදරියන්, මහත්තයාගේ අම්මා, මහත්තයාගේ මල්ලී, සැමියාගෙන් ලැබෙන සහයෝගය කොයි තරම් ද කියලා කියන්න බැරි තරම්. වගකීම් රාශියක් ඉටු කළ යුතු වුණත් සමහර මඟහැරෙන වගකීම් ඉවසාගෙන සිටීමේ කලා පවුලක් මට ලැබිලා තිබෙනවා. ඒ වගේම ‘කඩදොර’ ටෙලි නාට්‍ය කණ්ඩායමේ හැමෝටම, මගේ කාර්යාලයේ සියල්ලන්ටම, මගේ ගුරුතුමා ප්‍රියංකර රත්නායක ඇතුළු රංගන කටයුතු සඳහා මෙතෙක් නිර්මාණවලට මා සම්බන්ධ කරගත් හැමෝටම මා ස්තුති කරනවා.

ඔබගේ සැමියාගෙන් මේ සම්මානය සඳහා ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?

‘ඔහු මා හොඳම නිළිය ලෙස ප්‍රකාශ කරන මොහොතේ මාත් සමඟ දුරකථනයේ රැඳී සිටියා. ඒ ප්‍රකාශය ම ඔහුට අහන්න සැලැස්සුවා. ඔහු සිටින්නේ විදේශ ගත වී වුණත් රංගන කටයුතුවලට ඔහුගෙන් ලැබෙන සහයෝගය අපමණයි. දෙවියන් වහන්සේ විසින් මට දුන්න තෑග්ගක් තමයි මගේ සැමියා. උන්වහන්සේ මට දුන්න උතුම් තෑග්ග වුණ මගේ හැකියාවට වඩා ඔහු මට වටිනවා. කලාවේ නිරත වීමට ඒ තරමටම ඉඩක් ලැබුණේ ඔහු නිසයි.

ඒ වගේම මට සුබපැතූ® සියල්ලන්ටම ස්තුතියි. මාත් සමඟ වේදිකාවේ, ටෙලි නාට්‍ය ඔස්සේ සිටින මගේ ප්‍රෙක්ෂකයන්ට මා පවසන්නේ හොඳ චරිතයකින් ඉදිරියේදී ඔබට මාව දැකගන්න ලැබේවි යන්නයි.’

හොඳම නිළිය ලෙසින් අභිෂේක ලද සමාධි සිය ජයග්‍රහණයෙන් ලැබුූ සතුටත් තුරුලු කරගෙන පැවසුවා. දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ අදහස පෙරටු කරගෙන සිටින ඕ දිනෙක ඒ අදහස් ජය ගනු නියතයි.

ඒ සඳහා ඔබට සරසවියෙන් සුබපැතුම්.