වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘ලයිසන්ස් ටු කිල්

‘ලයිසන්ස් ටු කිල් LICENCE TO KILL

ලෝක කුඩු රජා සහ බොන්ඩ් අතර සටන

ෆ්ලොරිඩාවේ කී වෙස්ට් හි පිහිටි ශාන්ත මේරි දෙව් මැදුර මනරම් සැරසිල්ලෙන් අලංකාර වී සුබ මංගල ශ්‍රීයෙන් ඉහ වහා ගොස් තිබිණි. විවිධ විසිතුරු ඇඳුම් ආයිත්තමින් සැරසුන මංගල සභාවේ ආරාධිත පිරිස මග දෙස බලමින් පසුවන්නේ නොඉවසිල්ලෙනි. මනාලියගේ වත මැල වී ගොසිනි. ඈ වටකොට ගත් මල් කුමරියන්ගේ ද, ආදරණීය පියාණන්ගේ ද මුහුණින් දිස් වන්නේ පසුතැවිල්ලක් සහ කලකිරීමකි.

කල් වේලා ඉකුත් වී ගොස් ඇතත් තවමත් මනමාලයා පැමිණ නැත. ඩී. ඊ. ඒ. රහස් ඔත්තු සේවයේ විධායක නිලධාරියකුª වන ඔහු සහ ඔහුගේ දෙවෙනි මනාලයා පැමිණෙන රිය තාමත් අතරමගය. ගමන මග නතර වී ඇත්තේ ඉහලින් ලැබුණ නියෝගයක් අනුවය. එනම් ඒ වන විට ‘මියාමි’ වෙත පැමිණ සිටින සුප්‍රකට කුඩු ව්‍යාපාරිකයෙකු වන ෆ‍්‍රෑන්ක් සැන්චස් වහා ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගැනීමය. ආරක්ෂක සේවාවේ හැටි එහෙමය. කොටින්ම කීවොත් කසාද බදින්නටවත් නිදහසක් නැත.

මංගල රථයෙන් බැස විශේෂ වෙරළාරක්ෂක හෙලිකොප්ටරයකට නැගගත් ඔවුන් ‘කුඩු රජා’ හඹා යාම අරඹයි. ත්‍රාසජනක සටනක සහ දැඩි පරිශ්‍රමයක අවසානයේදී ‘කුඩු රජා’ ඔවුන්ගේ අත් අඩංගුවට පත්වෙයි. අදාල ආරක්ෂක අංශ වෙත ඔහු බාර කළ ඔවුන් දෙදෙනා හැරෙන තැපෑලෙන් දේවස්ථානය වෙත පිටත් වන්නේ හෙලිකොප්ටරයෙනි. යානයේ හඬට මිදුලට පැමිණෙන මංගල සභාවේ පිරිස අහසට නෙත් යොමද්දී දකින්නේ පැරෂුට් ආධාරයෙන් පහළට ඇදී එන මිනිස් රූ දෙකකි. මනාලයා සහ මිතුරා මංගල සභාවට පිවිසෙන්නේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. අන්තිම තත්පරයේදී සියල්ල සිතූ පරිදි ඉටු විය. හදට හදක් එක් විය. ආදරයෙන් වැළඳගත් යුවල වෙත දෙවෙනි මනාලයා දිගු කරන සුරතෙහි අත්ල මත වූයේ මංගල මුදුවයි. මෙම අපූරු මංගල උත්සවයේ මනාලයා ෆීලික්ස් ලයිටර් වෙයි. ඔහුගේ මිතුරා අන් කිසිවෙකු නොව ලෝ පතළ සුපිරි රහස් ඔත්තුකරුවා වන ජේම්ස් බොන්ඩ්ය.

1989 තිරයට ආ ලයිසන්ස් ටු කිල් ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමේ 16 වෙනි චිත්‍රපටයයි. ප්‍රථම වතාවට ඉයන් ෆ්ලෙමින්ගේ කතාවක නමක් පාවිච්චි නොකළ චිත්‍රපටය මෙය වන අතර මුලින් එය නම් කරන ලද්දේ ‘ලයිසන්ස් රිවෝක්ඩ්’ යනුවෙනි. ෆ්ලෙමින් විසින් ලියන ලද කෙටි කතා දෙකක් අනුසාරයෙන් මෙහි තිර නාටකය රචනා කරන ලද්දේ රිචඩ් මේ බෝම් සහ මයිකල් ජී. විල්සන් විසිනි. අධ්‍යක්ෂණය ජෝන් ග්ලෙන් ගෙනි. කැමරාකරණය ඇලෙක් මිල්ස් සහ සංස්කරණය කළේ ජෝන් ග්‍රවර් විසිනි. ඇල්බට් ආර්. බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් නිෂ්පාදකවරු වෙති.

බ්‍රිතාන්‍යය තුළ රූගත නොකළ ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය වන්නේ මෙයයි. සියළු දර්ශන ෆ්ලොරිඩාවේදී සහ දකුණු අමෙරිකාවේ මැක්සිකෝ හි දී රූගත කෙරුණු අතර සංස්කරණ කටයුතු පමණක් ලන්ඩනයේ පයින්වුඩ් චිත්‍රාගාරයේදී සිදු කෙරිණි. බොන්ඩ් ලෙස රඟපෑ තිමති ඩෝල්ටන් පමණක් නොව ‘එම්’ ලෙස රඟපෑ රොබට් බ්‍රවුන්, මනිපෙනි ලෙස රඟපෑ කැරොලින් බ්ලිස්, තිර නාටක රචක රිචඩ් මේ බෝම්, නාමාවලි නිර්මාතෘ මොරිස් බයින්ඩර් සහ කැමරා ශිල්පී ඇලෙක් මිල්ස්ගේ ද අවසන් බොන්ඩ් චිත්‍රපටය මෙය වෙයි. අධ්‍යක්ෂක ජෝන් ග්ලෙන් සහ සංස්කරණ ශිල්පී ජෝන් ග්‍රවර් ද මින් මතු බොන්ඩ් චිත්‍රපට සඳහා දායක වූයේ නැත.

ෆීලික්ස් ලයිටර් ගේ මංගල දිනය දා බොන්ඩ් සහ ෆීලික්ස් විසින් අත් අඩංගුවට ගත් ලෝක ‘කුඩු රජා’ සැන්චස් ඩී. ඊ. ඒ. ඒජන්ත එඩ් කිලිෆර්ගේ උදව්වෙන් යළි පැනගත් පසු මුලින්ම යන්නේ මධුසමය සඳහා යෑමට සැරසෙන ෆීලික්ස් සොයාගෙන ඔහුගෙන් පළිගැනීමටයි. ඔහුගේ උත්සාහය සාර්ථක වන අතර ෆීලික්ස් මරණාසන්න තුවාල ලබද්දී ඔහුගේ මනාලිය ‘ඩෙලා’ මඟුල් ඇඳුමෙන්ම වෙඩි වැදී මිය යයි. පුවත සැල වූ වහාම ආපසු එන බොන්ඩ් ෆීලික්ස් රෝහල් ගත කොට ඔහුගේ ජීවිතය ගලවා ගනී. ඩෙලාගේ මරණයට වගකිව යුතු සැන්චස්ගෙන් පළිගැනීම ඒකායන පරමාර්ථය කරගත් බොන්ඩ් වෛරයෙන් අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසා එම් 16 ප්‍රධානියා ඔහු ඔත්තු සේවයෙන් නෙරපා හරියි. සැන්චස් පසුපස හඹා යන ගමනේදී සැන්චස්ගේ පෙම්වතිය වූ ලූපේ ලාමෝරා සහ බ්‍රිතාන්‍ය රහස් ඒජන්තවරියක වන පෑම් බෝවියර් නම් රූමත් තරුණියන් දෙදෙනාගේ සහයෝගය ලබා ගැනීමට බොන්ඩ් සමත් වෙයි. එම් 16 සංවිධානයේ උදව්වත් වක්‍රව බොන්ඩ් වෙත ලබා දෙන්නේ ගැජට් නිර්මාණය කරන මිස්ටර් ‘කිව්’ මඟිනි. ජරමර අස්සේ සුරූපී නව යව්වනියන් දෙදෙනෙකුගේ ආදරයට මැදිවන බොන්ඩ් අභියෝගයන්ට මුහුණ දෙන අයුරු චිත්‍රපට කතාවෙන් විදහා දැක්වෙයි.

තිමති ඩෝල්ටන් ජේම්ස් බොන්ඩ් ලෙසත් රොබට් ඩේවි ෆ‍්‍රෑන්ස් සැන්චස් ලෙසත් චරිත නිරූපණය කළ අතර විව් ටු කිල් චිත්‍රපටයේ තිර පරීක්ෂණවලට පෙනී සිටීමට පැමිණි කේරි ලොවෙල්ගේ කෙටි කෙස් වැටිය නිසා යම් විරෝධතාවයක් මතු වුව ද ඇගේ දක්ෂ රඟපෑම් හමුවේ එම ගැටළු අහෝසි වී ප්‍රධාන නිළි චරිතය වන පෑම් බෝවියර්ගේ චරිතය සඳහා ඈ තේරී පත්වුණා. ‘ටෙරරිස්ට් ඔන් ට්‍රයල්’ ටෙලි චිත්‍රපටයේ රඟපෑ රොබට් ඩේවි සැන්චස්ගේ චරිතය සඳහා යෝජනා කළේ බ්‍රොකොලිගේ දියණිය වූ ඩයනා බ්‍රොකොලි විසින්. එය තිරනාටක රචක රිචඩ් මේ බෝම් ද අනුමත කළා. සැන්චස්ගේ පෙම්වතිය ලෙස රඟපෑමට රූමතියන් 12 දෙනෙක් තරඟ වැදුන නමුත් රොබට් ඩේවි ගේ බලවත් ඇවිටිල්ල මත ටාලිසා සෝටෝ නම් රූමතිය චරිතය සඳහා තෝරා ගැනුණා. කාටත් වැටහී ගිය කරුණක් වූයේ ඩේවි ඇගේ රූ සපුවට පිස්සු වැටී සිටි බවයි.

වසර 16 කට පසු ෆීලික්ස්ගේ චරිතය රඟපෑමට නැවත එක් වූ ඩේවිඩ් හෙඩිසන් ඒ වන විට වයස 61 ක සීයා කෙනෙක්. ෆීලික්ස්ගේ චරිතය දෙවතාවක් රඟපෑ එකම නළුවා ද ඔහු වෙයි. ‘ෆෙ‍්‍රාම් රෂියා විත් ලව්’ හි රඟපාද්දී පිළිකා රෝගයක් නිසා අවාසනාවන්ත ලෙස මියගිය පෙඩ්රෝ ආමෙන්ඩරීස් ගේ පුත්‍රයා වන පෙඩ්රෝ ආමෙන්ඩරීස් කනිෂ්ඨ ද මෙහි චරිතයක් රඟපෑවා. ප්‍රිසිලා බාන්ස් ෆීලික්ස්ගේ මනාලිය ලෙස රඟපෑ අතර බ්‍රිගේඩියර් ‘එම්’ සහ මිස්ටර් ‘කිව්’ ලෙස පිළිවෙලින් රොබට් බ්‍රවුන් සහ ඩෙස්මන්ඩ් ලෙවලින් රංනයට එක් වුණා. මනිපෙනි මෙනවියගේ චරිතය කැරොලින් බ්ලිස් සහ හොංකොං රූමතියක් වන ‘ලොටී’ ලෙස ඩයනාලී හ්සු රඟපෑවා.

ප්‍රධාන රූගත කිරීම් 1988 ජූලි 18 සිට නොවැම්බර් 18 දක්වා මැක්සිකෝවේදී සිදු කෙරුණු අතර එම අගෝස්තුවේදී කණ්ඩායම ෆ්ලොරිඩා වෙත ළඟ වූයේ කී වෙස්ට් සහ පිජන් සම්බන්ධ කෙරෙන සැතපුම් 7 ක් දිග පාලම මත දී සැන්චස් අත්අඩංගුවෙන් පැන යන ජවනිකාව රූගත කිරීමටත් අර්නස්ට් හෙමිංවේ නිවස, කීවෙස්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ ශාන්ත මේරි දෙව් මැදුරේ දර්ශන රූගත කිරීමටත්ය. නැවත මෙක්සිකෝ වෙත යෑමේදී බ්‍රොකොලි තදබල ලෙස රෝගාතුර වීම හේතුවෙන් සියළු නිෂ්පාදන කටයුතු මයිකල් ජේ. විල්සන් වෙත පැවරුණි.

ත්‍රාසජනක ජවනිකා අතුරින් මුල්තැන ගත්තේ බොන්ඩ් හෙලිකෝප්ටරයක සිට සැන්චස් ගමන් ගන්නා ගුවන් යානය මතට පනින ජවනිකාවයි. එහි ‘ස්ටන්ට්’ ශිල්පියා වන ජේක් ලොම්බාඩ් ඩෝල්ටන් වෙනුවට පෙනී සිටි අතර ගුවන් යානය මත සමීප දර්ශන සඳහා ඩෝල්ටන් පෙනී සිටියා. හෙලිකෝප්ටරයෙන් අමුනාගෙන යන ගුවන් යානය ලෙස දෘශ්‍ය ප්‍රයෝග ශිල්පී ජෝන් රිචඩ්සන් විසින් සැබෑ පරිමාණයට සාදන ලද ගුවන් යානා ඩමියක් යොදා ගනු ලැබුවා. ඩෝල්ටන් සහ හෙඩිසන් දෙවස්ථාන පරිශ්‍රයට පහත්වෙන පැරෂුට් පිම්මේදී හෙඩිසන්ගේ පාදයක් ආබාධයකට ලක් වූ අතර බෝට්ටුවක් පසු පස දිය මත ලිස්සා යන ජවනිකාවේදී බොන්ඩ් ලෙස රඟපෑවේ දිය ලිස්සුම් ලෝක ශූරයා වන ඩේව් රේන්හාට්ය. මැක්සිකාලි අධිවේගී මාර්ගයේදී සිදු කෙරුණ බවුසර් ලුහුබැඳ යෑමේ දර්ශන සඳහා රෝද 18 බවුසර් 16 ක් භාවිතා කළ අතර සියළු ක්‍රියාදාම ප්‍රවීණ ශිල්පී රෙමී ජූලියෑන් ප්‍රමුඛ ඔහුගේ රියැදුරු කණ්ඩායම විසින් සිදු කරනු ලැබුවා.

එහිදී ප්‍රධාන නිළි කේරි ලොවෙල් විසින් පදවන බවුසරයට තවත් අතිරේක සුක්කානමක් සවි කොට එය ධාවනය කරනු ලැබුවේ සැඟවුන රියැදුරෙකු විසිනි. එසේ නොවන්නට එම සියුමැලි තරුණිය පත්වන්නේ බලවත් අසීරුතාවයකටයි.

සුපුරුදු සංගීතවේදී ජෝන් බැරී වෙනුවට මෙහි සංගීත නිර්මාණය පැවරුණේ මයිකල් කේමන් වෙතයි. ඔහු ඩයි හාඩ්, ලෙදල් වෙපන් වැනි ක්‍රියාදාම චිත්‍රපට සඳහා සංගීතය සැපයූ දක්ෂ සංගීතඥයෙක්. අධ්‍යක්ෂ ජෝන් ග්ලෙන් ප්‍රකාශ කළේ ඔහුගේ සංගීතය ජෝන් බැරීගේ සංගීත ශෛලියට බෙහෙවින් සමාන වූ නිසා ඔහු චිත්‍රපටයට දායක කරගත් බවයි.

‘ලයිසන්ස් ටු කිල්’ තේමා ගීතය ගැයූ ග්ලැඩිස් නයිට් 1977 න් පසු බ්‍රිතාන්‍ය ‘ටොප් ටෙන්’ ගීත දර්ශකයේ ප්‍රමුඛ ස්ථානයට ඇගේ ගීතය පත්කර ගැනීමට සමත් වුණා.

ඇමෙරිකාවේ මෝෂන් පික්චර් සංවිධානය සහ ෆිල්ම් රේටින් සංවිධානය මඟින් ප්‍රචන්ඩත්වය හුවා දක්වන ජවනිකාවන්ට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරන ලද හෙයින් තත්පර 36 ක පමණ කොටසක් චිත්‍රපටයෙන් කපා ඉවත් කිරීමට සිදු වූවත් 2006 දී නිකුත් කරන ලද ලයිසන්ස් ටු කිල් අල්ටිමේට් එඩිෂන් නම් ඩී. වී. ඩී. තැටියෙහි එම ඉවත් කළ කොටස් ද අඩංගු කර ප්‍රසිද්ධියට පත්කර ඇත.

1989 ජූනි 13 දා ලන්ඩනයේ ඕඩියන් ශාලාවේදීී පූර්ව දර්ශනය තිරගත කෙරුණා. ඩොලර් මිලියන 32 ක පිරිවැයකින් නිපද වූ චිත්‍රපටය ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 156.2 ඉක්ම වූවා. එය එම වසරේ බොක්ස් ඔෆිස් ආදායම් දර්ශකයේ 12 වැනි ස්ථානයයි. ඒ සමඟම තරඟයට ආ බැක් ටු ද ෆියුචර් 2, ලෙදල් වෙපන් 2, බැට් මෑන් සහ ෂෝන් කොනරි රඟපෑ ඉන්ඩියානා ජෝන්ස් වැනි ජනප්‍රිය චිත්‍රපට පෙලක් සමඟ තරග වැදීමට සිදුවීම චිත්‍රපටයට දැඩි අභියෝගයක් ගෙන දුන්නා.

බොන්ඩ් සිනමාවලියේ බොන්ඩ් චරිතය නිරූපණය කළ තුන්වැනි නළුවා වන තිමති ඩෝල්ටන් ගේ දෙවෙනි සහ අවසාන චිත්‍රපටය ලෙස ලයිසන්ස් ටු කිල් නම් කළ හැක.

ලබන සතියේ තවත් අලුත් බොන්ඩ් කෙනෙක් සමඟ හමු වෙමු.