වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවි තුනකට ගොඩ වූ හින්දි රැජන

සරසවි තුනකට ගොඩ වූ හින්දි රැජන

විවේකා සමරසිංහ

හින්දි බස පිළිබඳ මනා පරිචයක් ලැබූ සරසවිය බැබළ වූ පුවත්පත් කලාවේදිනිය

අද විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන මට ජීවිතය දෙස ආපසු හැරී බලද්දී මම සරසවි තුනකට ඇතුළත් වූ වග පෙනී යයි. එකක් මා උපාධිය හැදෑරූ කැලණිය විශ්ව විද්‍යාලයයි. මා එහි හැදෑරුවේ ආර්ථික විද්‍යාව, හින්දි භාෂාව සහ ජනසන්නිවේදනයයි. ජීවිතයේ දෙවන සරසවිය වූයේ පත්තර මහ ගෙදර වූ ලේක්හවුස් ආයතනයයි.

ජනසන්නිවේදනය විෂයයක් ලෙස හැදෑරුව ද එහි ප්‍රායෝගික අත්දැකිම් සියල්ලක් මා ලැබූවේ පත්තර මහ ගෙදරට පැමිණිමත් සමඟය. පත්තර කලාවේ තෙවන සරසවිය වූයේ දේශයේ එකම ජාතික කලා පුවත්පත වූ සරසවිය පුවත්පතය.

මා ලේක්හවුස් ආයතනයට මුලින්ම පැමිණියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටින අවධියේය. ඒ මගේ පන්තියේ හොඳම මිතුරිය වූ ජයන්ති මාඉටිපේ සමඟය. එවක ලේක්හවුස් ආයතනයේ දිනමිණ පත්තරයේ සේවය කළ සුනන්ද මහේන්ද්‍ර මහතා හමුවීමට මගේ මිතුරිය වූ ජයන්ති එසේ පැමිණියාය. එවක මාද උසස් පෙළ කොට ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසට වී සිටි හෙයින් ලේක්හවුස් ආයතනය නැරඹීමේ ආශාවක් මා තුළ ද විය. එබැවින් මා ඇය සමඟ ලේක්හවුස් ආයතනයට පැමිණියේ මුල් වරට 1975 වසරේදීය.

මා තුළ ද ජනසන්නිවේදනය පිළිබඳ ආශාවක් ඇති වූයේ ඒ ගමනත් සමඟය. මගේ මිතුරිය ද එයට දක්වන ආශාව ද එයට හේතු විය. මා ජනසන්නිවේදනය තෝරා ගත්තේ ද එබැවිනි. මම විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා පිට වූයේ 1979 වසෙර්ය.

මා හට හින්දි භාෂාව චතුර ලෙස කතා කිරීමේ හැකියාව ද තිබිණ. එබැවින් මා ගුවන් විදුලිියේ හින්දි භාෂා නිවේදිකාවක් වීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ ද ඒ වන විටත් එහි ස්ථිර නොවූ හින්දි නිිවේදක නිවේදිකාවන් රැසක් විය. එබැවින් එයට මා පිටතින් බඳවා ගත නොහැකි විය.

මා බලාපොරොත්තුª කඩ වී සිටියදී දිනක් මගේ ඥාතිවරයකු මඟින් ලේක්හවුස් ආයතනයට ඉල්ලුම්පතක් දමන ලෙස පණිවිඩයක් ලැබිණි. ඒ ඥාතියා එවක ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ බර්නාඩ් සිල්වාගේ සමීපතමයෙක් විය. එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වූයේ රණපාල බෝධිනාගොඩ මහතාය. සම්මුඛ පරීක්ෂණය සඳහා දින නියම විය. එය ලිඛිත හා වාචික පරීක්ෂණයකින් යුතු විය. මා වාචික පරීක්ෂණයට යොමු කරන ලද්දේ ජනතා පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූ ඩී. එෆ්. කාරියකරවන මහතා වෙතටය. ජනතා පත්තරයේ නියෝජ්‍ය කර්තෘවරයා වූ යූ. එල්. ඩී. චන්ද්‍රතිලක මහතා මගේ ලිඛිත පරීක්ෂණය සිදු කරනු ලැබුවේය.

භාරතයේ ප්‍රවීණ ගායක හරිහරන් සමඟ විවේකා සමරසිංහ

තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා එදා මට දෙනු ලැබුවේ එවක මුල් වරට හමුදාවට කාන්තා සෙබලියන් බඳවා ගැනීමක් පිළිබඳ වූ ලිපියක් සැකසීමටය. එයින් පසු මට මුල්ම පත්වීම ලැබුණේ ජනතා පුවත්පතටය. සුනිල් මාධව ප්‍රේමතිලක, ඩී. සී. කුරුප්පු, ඇල්බට් වැලිවිට, දයා සිරිවර්ධන, පියසිංහ ගුණවර්ධන, ධර්මසිරි ගමගේ, ස්ටැන්ලි ප්‍රේමරත්න, සුගතපාල උමගිලිය, බ්‍රයන් ගෝමස්, පාලිත ධර්මරත්න, අනුර බණ්ඩාර රාජගුරු, අශෝක ගුණතිලක වැනි බොහොමයක් එදා ජනතා කතු මඬුල්ලේ වූහ.

කර්තෘ මණ්ඩලයේ කාන්තාවකට හිටියේ මා පමණි. පුවත්පත් කලාවට ආධුනිකයකු වූ මා මුලින්ම යොමු කරනු ලැබුවේ ඩී. සී. කුරුප්පු, ඇල්බට් වැලිවිට, දයා සිරිවර්ධන මහත්වරුන් යටතටය. ඔවුන්ගෙන් පුවත්පත් කලාවේ බොහෝ දෑ මට ඉගෙන ගන්නට වාසනාව පෑදිණි. එවක නීති උපදේශක හා නීති අධ්‍යක්ෂවරයා වූයේ ඩී. කිව්. එම්. සිරිමාන්න මහතාය.

ඔහු පත්වීම් ලිපිය මා අතට පත් කිරීමට පෙර දිනක වැටුප රුපියල් තිහක් වෙනවා. එය ඇත්දැයි මගෙන් විමසුවේය. ඒ දිනවල රුපියල් තිහක් යනු විශාල මුදලකි. මාසය අවසානයේ රුපියල් හයසීයක් වැනි මුදලක් මට මාසික වේතනය ලෙස ලැබිණි. එම මුදල මට හොඳ හැටි ප්‍රමාණවත් විය.

ජනතා පත්තරයේ ළමා පිටුව, කාන්තා පිටුව සැකසීම ඇතුළු එහි ලිපි සම්පාදනය මට භාර කෙරුණි. මේ අතරේ රුක්මණී ජගත්චන්ද්‍ර, හේමා ගුණවර්ධන ද ජනතා කර්තෘ මණ්ඩලයට එක් වූවාය.

තරුණී පුවත්පතේ කතුවරිය වූ සුමනා සපරමාදු මහත්මියගේ විශේෂ ඉල්ලීමකට මා තරුණී කර්තෘ මණ්ඩලයට එක් කර ගැනිණ. මාලිනී ගෝවින්නගේ, ප්‍රබෝදනී ද සිල්වා, රුවන් තරස්වින් ඒ අවධියේ තරුණී කර්තෘ මණ්ඩලයේ සමාජිකයන් වූහ. පිහිට පතා, නීති ප්‍රශ්න ආදී පිටු කිහිපයක් තරුණී වෙනුවෙන් සැකසීමට මා හට භාර විණ. 1984 වසරේදී විවාහ වූ මා 1985 දී මගේ කුලුඳුල් දරු ප්‍රසූතියට නිවාඩු ගියෙමි. එයින් පසු නැවත සේවයට එද්දී මා සරසවියට එක්කොට තිබිණ. එවක සරසවියේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ග්‍රැන්විල් සිල්වාය.

ඒ. ඩී. රංජිත් කුමාර, නෙළුම් විමලරත්න, ලතා බොතේජු, දීප්ති ෆොන්සේකා, උපාලි ෆොන්සේකා, කැමිලස් පෙරේරා, සුනිල් හොරේෂස් එහි සෙසු සාමාජිකයන් විය. මා සරසවියේ ගත කළ කාලය ඉතා විනෝදජනකය. එකිනෙකාට විහිළු කර ගනිමින් කලා ක්ෂේත්‍රයේ රසකතා කියමින් ඒ ගත කළ සුන්දර කාලය අදත් සිහිපත්කර සතුටු විය හැකිය. ග්‍රැන්විල් සිල්වා කිසි දිනෙක කේන්තියෙන් සිටිනු මා දැක නැත. ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුව ද ඔහු සිනාසී සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ ගත් පුද්ගලයෙක් විය. මා දෙහිවල පදිංචි වී සිටි අතර ග්‍රැන්විල් පදිංචිව සිටියේ ගල්කිස්සේය.

මාගේ දෙවන දරු ප්‍රසූතිය ද සිදු වූයේ මේ අවධියේදීය. මේ නිසාම මා හට දරුවන් බලා ගැනීමේ ප්‍රශ්න රාශියකට මුහුණපෑමට සිදු විය. ඒ සමඟ රාජකාරියට ඒමේ ප්‍රශ්න රාශියක් පැන නැගිණි. ඒ සඳහා ස්ථිර විසඳුමක් නොලැබෙන තැන මම රැකියාවෙන් අස්වීමට තීරණය කළෙමි. මේ පිළිබඳ දැනගත් කර්තෘ මණ්ඩලයේ කවුරුත් එම තීරණයට විරුද්ධ වූහ. එහෙත් මට වෙන විකල්පයක් නොවිණි. මා එවක ආයතනයේ නීති උපදේශක හා නීති අධ්‍යක්ෂවරයා වූ ඩී. කිව්. එම්. සිරිමාන්න මහතා හමු වී මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නෙමි. මගේ ප්‍රශ්නය සාවදානව අසා සිටි සිරිමාන්න මහතා ලිපිය භාර නොගෙන එය ගැන නැවත සිතා බලන ලෙස දැන්වීය.

දිනෙන් දින මාගේ පුද්ගලික ප්‍රශ්න වැඩි වෙමින් පැවතුණි. බැරිම තැන මම ග්‍රැන්විල් සිල්වා හමු වී මට අස් වී යාමට උදවු කරන ලෙස ඉල්ලීමක් කළෙමි. ග්‍රැන්විල් මහතා මගේ ඉල්ලීම ඔහු මාර්ගයෙන් යැවීමට භාරගෙන ලිපිය යටින් මෙසේ ලියනු ලැබිණි. මැයගේ ඉල්ලීම පිළිබඳ මානුෂිකව සිතා බලා එයට ඉඩ දෙන්න. වසර දෙකක් ගිය පසු නැවතත් ඇයට රැකියාව ලබා දෙන්න යැයි ලිව්වේය. ඒ ලිපිය මා අත නොයවා සරසවියේ කාර්ය සහායක වශයෙන් කටයුතු කළ ආරියරත්න පෙරේරා අතම එය යැවීය. ඒ අනුව මට අස් වී යාමට සභාපති තුමාගෙන් ද අවසර ලැබිණි.

වසර දෙක ඉක්ම ගිය පසු දිනක් මා හට අහම්බෙන් දෙහිවල පන්සලේදී එවක ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ නෝටන් වීරසිංහ මහතා හමු විය. නැවත ලේක්හවුස් ඒමට අදහසක් නැද්ද යැයි ඔහු මගෙන් ඇසුවේය. කැමැතියි. දැන්නම් මගේ ප්‍රශ්න හුඟක් විසඳිලා මම පැවැසීමි. ඒ අනුව යළි මම රැිකියාවට අයැදුම් කළෙමි. දින කීපයකට පසු එවකට සභාපතිතුමන්ගේ ලේකම්තුමිය වූ ඉන්ද්‍රා වන්නිආරච්චි මහත්මිය දුරකථන ඇමතුක් මා වෙත දී රැකියාවට පැමිණෙන ලෙස දැන්වූවාය. මා ඒ අනුව 1990 දී නවක සේවකයකු ලෙසින් නැවතත් ලේක්හවුස් ආයතනයේ රැකියාවට පැමිණියාය.

ඉතිරි කොටස ලබන සතියේ...