වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් කාටත් අභියෝගයක්

අමීර් කාටත් අභියෝගයක්

සිනමාවේ පූර්ණවන්ත පින්වන්තයා අමීර් ඛාන්ය. ඔහු රඟන මෙන්ම ඔහු නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් අත ගසන සිනමාපට ද අති සාර්ථක වන්නේ සම්මාන උළෙලකදී ලැබෙන සම්මානයකට වඩා ප්‍රේක්ෂක සම්මානය වටිනා බව පෙන්වමිනි.

ඔහුගේ තලාෂ් තිරගත වූයේ නොවැම්බර් 30 වැනි සිකුරාදා දිනයේයි. සිකුරාදා වැඩ කරන දිනයක් වුවත් එයට ලැබී ඇති පේ‍්‍ර්ක්ෂක ප්‍රතිචාර අතිවිශිෂ්ටය.

ෂාරුක් රඟන ජබ් තක් හෛයි ජාන් සහ අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් සිනමාපට දෙකටම තලාෂ් බොක්ස් ඔෆිස් අභියෝගයක් වනු ඇති බවට බොහෝ දෙන අනාවැකි පළ කරති.

මේ වසරේ තිරගත වූ සිනමාපට අතරින් පළමු දිනයේදීම වැඩිම ආදායම් ලබා ඇත්තේ ඒක් තා ටයිගර්, අග්නීපාත් සහ රවුඩ් රතෝර්ය.

සල්මන්ගේ ඒක් තා ටයිගර් තිරගත වී තිබෙන්නේ රාමසාන් දිනයේදීයි. රිතික්ගේ අග්නීපාත් තිරගත වූයේ එරට ජනරජ දිනයේදීයි. අක්ෂේගේ රවුඩ් රතෝර් තිරගත වී ඇත්තේ නම් වැඩ කරන දිනයක් වූ ජූනි 1 වැනි සිකුරාදාය.

කෙසේ වුවත් වැඩ කරන දිනයකදී තිරගත වී මුදල් ඉපයීම අතින් වැඩ පෙන්විය හැක්කේ අමීර් ඛාන් වැන්නකුට පමණමය.

ඔහුගේ තලාෂ් තෙදිනකදී ඉන්දියානු රුපියල් කෝටි 46 ක් උපයා ඇති අතර ෂාරුක්ගේ ජබ් තක් හෛයි ජාන් දින විස්සකදී ඉන්දියානු රුපියල් කෝටි 103 ක් උපයා ඇත.

අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් දින විස්සකදී ලබා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 90 කි. ජබ් තක් හෛයි ජාන් හා සන් ඔෆ් සර්දාර් තිරගත වූයේ දීවාලි නිවාඩුවේදීයි.

හඬ අහිමි ඉම්රාන්

ජනප්‍රසාදය, ලක්ෂ්මීගේ වාසනාව, නොඅඩුව ලැබෙන තරු වෘත්තිය රෝස මල් ඇතිරූ රතු පලස් එළන ලද මාවතක් කියා සිතුවොත් නම් වැරැදිය.

මේ සියල්ල වෙනුවෙන් ඔවුන්ට බොහෝ කැප කිරීම් කිරීමට සිදු වෙයි.

දර්ශන තලයකදී සිදුවන ජීවිත කාලයටම බලපාන අනතුරු ඊට හොඳම සාක්ෂියකි. ඉම්රාන් භෂ්මිට ද මෑතකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූයේ රංගනය නිසාය. ඔහු රාජ්කුමාර් ගුප්තාගේ ‘සන්චක්කර්’ හී රඟමින් හඬ කවමින් සිටියදී කට හඬ අහිමි විය.

දැන් ඔහුට වචනයක් හෝ කතා කිරීමට නොහැකිය. ඖෂධ වෛද්‍ය උපදෙස් මත ගනිමන් සිටිය ද යළි කට හඬ ලැබීමට යම් කාලයක් ගත වනු ඇත.

කට හඬ අහිමි වී තිබියදීත් ඔහු තමන් සැබෑ රංගන ශිල්පියකු බව ඔප්පු කරමින් කරන් ජොහාර්ගේ ‘උන්ග් ලී’ සිනමාපටයේ මේ දිනවල රඟන්නේය.

සංජේ දත් සමඟ ඔහු උස් හඬින් දෙබස් කීමට ගන්නා වෑයම දකින කොයි කාගේත් නෙත් කඳුළින් තෙත් වී තිබේ. සිනමාපටයේ හඬ කැවීම සිදු කරන්නේ ඉම්රාන් භෂ්මිගේ කට හඬ යළි යථා තත්ත්වයට පත් වූ පසුවයි.