වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මුළු හදින් ඇය ඔහුට පෙම් කොට

මුළු හදින් ඇය ඔහුට පෙම් කොට

නාරද දිසාසේකර ජීවන මතක සටහන් එළිදකී.

 

සිළුමිණ මාධ්‍යවේදිනී ඉනෝකා පෙරේරා බණ්ඩාර, 2004 වසරේ හොඳම විශේෂාංග රචකයාට හිමි උපාලි විජයවර්ධන සම්මානය සහ 2008 වසරේ පැවති මෙරට ප්‍රථම මාධ්‍යවේදිනී සම්මාන උළෙලේ, හොඳම විශේෂාංග ලේඛිකාව වූවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූවට 50 වසරක් සපිරෙන මේ වසරේ අගෝස්තු මාසයේ දිනෙකම, එම චිත්‍රපටයේ හොඳම පසුබිම් ගායක ලෙස 1964 වසරේ ප්‍රථම සරසවිය සම්මාන ලද නාරද දිසාසේකර පිළිබඳ කෘතියත් ඈ අතින් සංස්කරණය වීම සුවිශේෂී කටයුත්තකි.

ප්‍රථම ‘සරසවිය’ සම්මානලාභී චිත්‍රපට පසුබිම් ගායක නාරද දිසාසේකරයන් වෙනුවෙන් පැවැත්වෙන උපහාර සමරු උළෙල මේ මස 28 වැනි අඟහරුවාදා සවස 5.30 ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

පුරා දශක පහකට ආසන්න කාලයක් ස්වකීය ගායන මාධූර්යයෙන් හෙළ ගීත සාහිත කෙත පෝෂණය කළ නාරදයන් වෙනුවෙන් ඔහුගේ ප්‍රිය බිරිය සංවිධානය කරන මෙම ගුණ සමරු උළෙල හා එදින දොරට වඩින නාරද දිසාසේකර මතක සටහන් ඇතුළත් ‘මුදු හදවතක තතු’ ග්‍රන්ථය පිළිබඳ විවරණයකි මේ.

නිලාංගනී දිසාසේකර ආදරණීය බිරියගේ දෑත් මත නාරදයන් අවසන් හුස්ම හෙළූයේ මීට දෙවසරකට උඩදී එනම් 2010 මැයි 19 වැනි දාය. පාළුව හුදෙකලා වී ගිය නිවෙසේ ඈ තනිවී දැන් දෙවසරකි.

එහෙත් සාලෙත් කාමරවලත් බිත්තිපුරා පිංතූරවල හිනැහෙන නාරද... ගමනක් යන්නට ඈ කාරයට නැඟි සැනෙන් සී. ඩී. යන්ත්‍රයෙන් ගයනු ඇසෙන නාරද... ඇගේ ජීවිතයට තනි නොතනියට තවම ළඟින් හිඳිනා බව ඈ විශ්වාස කරයි.

නාරද නීලා යුවළ පෙර දිනකදී

ජීවත් වන්නට බලාපොරොත්තුවක්, ශක්තියක් ඇති කරන්නේද ‘නාරද තවමත් මා ළඟ’ යැයි නිරතුරු ඈ සිතන ප්‍රබල සිතිවිල්ලය. ඉදින්, කලා සංවිධාන, කලා මණ්ඩල එක්ව කළ යුතු බැරෑරුම් කාරණාවකට ඈ අතගසා තිබෙයි.

’නාරද මිය ගිහින් දෙවසරක් පිරෙද්දී මං කල්පනා කළා සිංහල ගීත සාහිත්‍යයට ඔහු කළ මෙහෙය වෙනුවෙන් මමවත් ඔහුට යම් උපහාරයක් කළ යුතුයි කියා.

නාරදගේ පාසල වන කළුතර මහා විද්‍යාලයේ ආදි සිසු මේජර් ජෙනරාල් නිස්සංක විජේසිංහ මේ කටයුත්තට මට විශාල අත්වැලක් වුණා.

නාරදගේ නැගණියගේ පුතුවන නලේන්ද්‍ර අමරසිංහ සහ ඔහුගේ බිරිය ගර්ලි මේ වෙනුවෙන් ආර්ථික ශක්තිය සැපයූවා. නාරදගේත් මගේත් හිතවතියක වන වේල්ස් කුමරි විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනී පුෂ්පා මලලසේකර මහත්මිය, මගේ යෙහෙළියන් වැනි කිහිප දෙනෙක් තමයි මේ දේ වෙනුවෙන් මට ශක්තිය වුණේ.

නාරද කියන්නේ කරදර ගොඩකට මුහුණ පෑ බොහොම සංවේදී මනුෂ්‍යයෙක්.

ඔහු ගායනා කළ බොහෝ ගීතවලත් ඒ සංවේදීකම තිබුණා. මං නාරදව හඳුනා ගන්නේ අවුරුදු 11 ක ළදැරියකව සිටියදී. මගේ මාමාගේ නිවෙසේ නැවැතී මං පාසල් ගියේ කළුතර බාලිකාවට. නාරද එතකොටත් ගුවන් විදුලියේ. නාරද සහ අමරදේවයන් එකල මගේ මාමාගේ නිවෙසට හැම සති අන්තයේම එන එක සිරිතක්. ඔවුන් එන්නේ පැදුරු පාටියට.

මට අවුරුදු දහඅට වෙනකල් නාරද එසේ ඒ නිවෙසට ආවා ගියා. පැදුරු පාටියේ ගායනා කළා. අපි පෙම්වතුන් වුණා. නමුත් දෛවය අපිව ඒ තුරුණු වියේදීම වෙන් කළා. අපි ආයෙ මුණ ගැසුණේ ජීවිතයේ මැදි වයසේ. නාරද එතකොට හුදෙකලා වෙලා. හුඟක් දුක් විඳලා. මමත් වැන්දඹුවක් වෙලා. නාරදව බලාගන්න ඕනෙ... උදව් කරන්න ඕනෙ කියන සිතිවිල්ලෙන් මං හිටියේ.

ඊට පස්සෙ මට පුළුවන් වුණා ඔහුට සැපවත් ජීවිතයක් උදාකර දෙන්න. ඔහුව සතුටින් තියන්න. ඇත්තටම ඔහු ලෙඩවෙලා නිකම්ම මිය ගියේ නැහැ. ඒක ගෞරවනීය මරණයක්. අන්තිම කාලෙ ඔහු පොඩි දරුවෙක් වගේ. අපි හමු වූ ඒ පුංචි කාලෙ පටන් ඔහු මගේ දෑත් මත මියගිය ඒ දවස දක්වා ජීවන මතක සටහන් කෘතියක් බවට පත්කර තබන්න මට ඕනෙ වුණා.

ඔහු පිළිබඳ මතකය අවධි කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, විශාරද නන්දා මාලිනී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, එඩ්මන්ඩ් ජයසූරිය, විජිත් කුමාර් සේනාරත්න, නීතිඥ රවී ජයවර්ධන, අනුර ෆොන්සේකා, ගුණසිරි ජයවර්ධන සහ උදය මානවසිංහ වැනි ඔහුගේ විවිධ යුග සමඟ සිටි සමීපතමයන් කිහිපදෙනකුගේ මතක සටහන් ඇතුළත් ලිපි කිහිපයකුත් මේ ග්‍රන්ථයේ ඇතුළත්.නාරදගේ සහ මගේ ප්‍රේමණීය යටගියාව රචනා කළේත් ග්‍රන්ථය සංස්කරණය කළේත් සිළුමිණ මාධ්‍යවේදිනී ඉනෝකා පෙරේරා බණ්ඩාර.

ඇය මෙම ග්‍රන්ථය වෙනුවෙන් බොහෝ වෙහෙස වූ බව කිව යුතුයි. නාරදගේ ගීත පමණක් රස විඳ ඇති, නමුත් ඔහුගේ අතිශය මෘදු වූ හදවත පිළිබඳ කිසිත් නොදන්නා බොහෝ දෙනෙක් ඔහු කවුදැයි මේ ග්‍රන්ථයෙන් හඳුනා ගනීවි.

නාරද කියන්නේ, මෙරට කීර්තිමත් පඬිවරයකු වූ ඩබ්ලිව්. ඩී. සී. වාගීශ්වර රාජකීය පඬිතුමාගේ දියණිය වන නුවර හිල්වුඩ් විද්‍යාලයේ ගුරුවරියක වූ තාමරසා වාගීශ්වර ගේ වැඩිමල් පුතු. ඇය මිය යන්නේ නාරදට අවුරුදු 12 දී. ඔහු හැදෙන්නේ වැඩෙන්නේ නැන්දා ළඟ. හොඳින් ඉගෙන ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකයකු සේ 1955 වසරේ ගුවන් විදුලියට බැඳෙන ඔහු ඉන් විශ්‍රාම යන්නේ ශබ්ද ඉංජිනේරුවකු ලෙසින්.

රන්මුතු දූවෙන් ඇරැඹෙන ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායන ජීවිතය සිකුරු තරුව, සරදියෙල්ගේ පුතා, සඳ නැඟ එද්දී, රෑණ ගිරව්, සුදෝ සුදු, පාරා වළලු, හතර කේන්දරේ, හතර පෙරළිය, ආදරයයි කරුණාවයි වැනි චිත්‍රපට ගණනාවක් පුරා විහිදෙනවා.

මෙම උපහාර උළෙලේ නාරද වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රධාන දෙසුම පවත්වන අතර සත්සර මුසු කරන්නේ යුද හමුදා තූර්යවාදක මණ්ඩලයයි. නාරද වෙනුවෙන් මෙහි දී ගයන සියලුම ගායක ගායිකාවන්ට මා තුති පුදනවා. එසේම ඔහු ගැන සටහනක් තැබූ සියලූ මාධ්‍යවේදීන්ටත් මාගේ කෘතවේදී බව හිමිවිය යුතුයි.,