වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සමාජය විවරණය කළ හැකි හොඳම මග ජනශ්‍රැතියයි

මේ සමාජය විවරණය කළ හැකි හොඳම මග ජනශ්‍රැතියයි

‘රාස්ස සහ පරාස්ස’ රැගෙන රෝහණ දන්දෙණිය කලකට පසු

අද සහ හෙට ජෝන් ද සිල්වා හිදී

රෝහණ දන්දෙණිය වනාහි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ලේඛකයකු, ටෙලි නාට්‍ය පිටපත් රචකයකු ලෙසින් භූමිකා කිහිපයකම සැරිසරන්නෙකි.

මෙවර ඔහු අප මුණ ගැසෙන්නේ ‘රාස්ස සහ පරාස්ස’ නම් නවතම වේදිකා නාට්‍යයෙනි. එහි මංගල දර්ශනය අද සහ හෙට දින පස්වරු 6.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී වේදිකා ගතවේ. රෝහණ දන්දෙණිය සමඟ රාස්ස සහ පරාස්ස පිළිබඳ කළ සංවාදයකි මේ.

* රාස්ස සහ පරාස්ස වේදිකා නාට්‍යය කරළියට රැගෙන පැමිණීමට ඔබ තීරණය කළේ ඇයි?

‘රාස්ස සහ පරාස්ස’ කියන්නේ අපේ ජනශ්‍රැතියේ තිබෙන ‘ගමරාල හා යකා’ කියන කතාවෙන් නිර්මාණය කරන ලද නාට්‍යයක්. අදෘශ්‍යමාන බලවේග සමඟ ගැටෙන ගැමියෙක් ඒ ගැටුම් ජය ගන්නා ආකාරය පිළිබඳ මින් කියැවෙනවා. වර්තමාන සංකීර්ණ සමාජයේ යක්කු නැති වුණත් අප අතර අපට එරෙහි වන බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ බලවේගවලට යම් යම් උදව් ඉල්ලීමට වඩා අප කළ යුත්තේ තමන් තුළ වූ තිබෙන්නා වූ ආත්ම ශක්තිය මතු කර ගැනීමයි.

ඒ ඔස්සේ තමන්ට පැමිණෙන බලවේග ජය ගත යුතු බවයි මින් කියැවෙන එක් අදහසක් වන්නේ. පුංචි රාල කියන්නේ එබඳු ගැමියෙක්. ඒ වගේම නිරන්තරයෙන්ම තමන් සමඟ ගැටෙන බිරිඳක් ජය ගන්නට ඔහු සමත්වීමෙන් කියා පාන්නේ පවුල කියන ඒකකයේ ඇති හැලහැප්පීම් පිළිබඳයි. ඊට හේතුව ලෙස මා දකින්නේ වර්තමානයේ තිබෙන්නා වූ ආර්ථික, දේශපාලන තත්ත්වයයි. මෙම නාට්‍යය ජන කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වුණත් සදාතනික මනුෂ්‍ය ගුණ ධර්ම විවරණය කරන නාට්‍යයක් ලෙසයි මා දකින්නේ.’

‘පුරන්සිනා’ කියන කාන්තාවගේ චරිතය ඔස්සේ බොහෝ කාන්තාවන්ගේ චිත්ත අභ්‍යන්තරය පිළිබඳ යමක් හෙළි කිරීමට ගත් උත්සාහය සාර්ථක වූ බව ද ඔබ සිතන්නේ?

‘පුරන්සිනා කියන කාන්තාවට අවශ්‍ය වුණේ ප්‍රබල මනුෂ්‍යයෙක්. තමන්ගේ සැමියා කිසියම් දක්ෂතාවක් තියෙන ප්‍රබල අයෙක් වීම වර්තමානයේ කාන්තාවන්ගේ එකම ප්‍රාර්ථනයයි. මේ නිසාදෝ පුරන්සිනා පුංචි රාල දකින්නෙ අකර්මන්‍ය මිනිසෙක් විදියටයි. ඔහු අකර්මන්‍ය වන්නේ නිතර රොස් පරොස් පීඩාවන් නිසා. ඔහු හොඳ සෞන්දර්යවාදියෙක්. සෞන්දර්යවාදියකු වර්තමාන සංකීර්ණ සමාජය ඔරොත්තු නොදෙන්නක්.

තමන්ගේ ආර්ථිකය ශක්තිමක් කර ගැනීම කියන කාන්තා චින්තනයේ ඝට්ටනයයි මෙහි නිරූපණය වන්නේ. එහෙත් පසුකාලීනව පුංචිරාළ ඇයට අවබෝධ කර දෙන්නේ අදෘශ්‍යමාන බලවේග හෝ වෙන යමක් ජයග්‍රහණය කළ හැක්කේ තමන්ගේ ආත්ම ශක්තියෙන් බවයි. මම හිතන්නේ වර්තමාන සමාජයේ ප්‍රබල මනුෂ්‍යයෙක් පතන බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරය හෙළි කර ගැනිමට මේ නාට්‍යය අපූරු අත්දැකීමක් වේවි. මෙතෙක් අප කතා කළ සියලු ගැටලු පැවත ගෙන එන්නේ සනාතන ධර්මයේ ආකාරයෙන්. මීට මුහුණ දීමට අපට අවබෝධයක් අවශ්‍යයි.’

* ජනශ්‍රැතියක් ආශ්‍රයෙන් මෙවන් සංකිර්ණ වූ කාරණයක් කතාබහට ලක් කළ හැකි ද යන ප්‍රශ්නය ප්‍රේක්ෂක මනසේ ඇති විය හැකි ගැටලුවක්?

‘ඊට පිළිතුරක් ලෙසයි මා ‘රාස්ස සහ පරාස්ස’ වේදිකාවට රැගෙන එන්නේ. සමාජයේ පවතිනා මේ සංකීර්ණ ගැටලුව කතාබහ කිරීමට මා පැරැණි සම්ප්‍රදාය යොදා ගත්තා. බලි තොවිල්, ශාන්ති කර්ම, කෝලම් ආශ්‍රයෙන් නාට්‍යයෙහි එන ගමන් තාල, ගීත ආදී දේ නිර්මාණය කළා. ඒ තුළින් මා ගෙනෙනා සංකීර්ණ අදහස ප්‍රේක්ෂක හදවතට වඩාත් දැනෙන අයුරින් කිව හැකි බව මට සිතුණා. එහිදී එය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යාමේදී සම්බන්ධ කර ගන්නා නළු නිළියන් පිළිබඳත් සිතන්නට මට සිදු වුණා.

ඒ පාත්‍ර වර්ගයා ඔස්සේ යම් පිටු බලයක් ප්‍රේක්ෂකයාට රැගෙන එන නිසයි. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රෝහණ බැද්දගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, මාදිනී මල්වත්තගේ, දිමුතු චින්තක, ජයන්ත ප්‍රේමදාස වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් මෙහි රංගනයේ යෙදෙනවා. ටවර් රඟහල පදනම, කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගායනය, රංගනය වැනි කාර්යයන්ට පිවිස සිටිනවා. ඔබ කියනා ඔය අදහස කතාබහ කිරිමේදී රෝහණ බැද්දගේ සංගීතය, හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණය, ගාමිණී හේමචන්ද්‍රගේ ආලෝකකරණය ඒ අදහස තීව්‍ර කළා. මා කතා කරනා මේ ඝට්ටනයන් අනාගත සමාජයේද මතු විය හැකියි. ඉතිං මා සිතන්නේ මෙවන් කාරණයක් කතාබහ කිරීමේ හොඳම මාර්ගය වන්නේ ජනශ්‍රැතියේ ආශ්‍රයයි.

* ඔබ ‘රාස්ස සහ පරාස්ස’ වේදිකාවට රැගෙන එන්නේ කාලයකට පසුව නේද?

1980 දී ‘දුන්යාගේ ගීතය’ වේදිකා නාට්‍යයේදී හොඳම අනුවර්තනයට හිමි සම්මානය හිමි වුණා. ‘දෑවරයි’ නාට්‍යය පෝලන්ත ජන කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.

ඉන් විවෘත ආර්ථිකය පිළිබඳවයි එහිදී කතා කළේ. ‘පරාස්ස’ වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයාගේ බොහෝ සේ ආදරයට පාත්‍ර වුණා. ‘පරාස්ස’ කියන වේදිකා නාට්‍යයේ පුළුල්වීමක් ලෙස ‘රාස්ස සහ පරාස්ස’ දැකිය හැකියි. ඊට පසු කාලයේ මා ග්‍රන්ථ කතුවරයෙක් හා ටෙලි නාට්‍ය රචකයෙක් ලෙසත් කටයුතු කළා. කාලයකට පසුවයි මා මේ අලුත් නිර්මාණයකට පිවිසියේ.

අද හා හෙට වේදිකා ගත වන ‘රාස්ස සහ පරාස්ස’ බලන්න එන්න කියා මා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

සැප්තැම්බර් මාසයේදී නාට්‍යය අරගෙන විදේශ ගතවීමටත් අදහස් කරනවා. ඒ විදේශවල සිටින තාක්ෂණික කටයුතු නිසා හෙම්බත් වූ මිනිසුන්ට මෙම නිර්මාණය හොඳ මානසික ශාන්තියක් වේවා කියන බලාපොරොත්තුව මා සතුයි.