වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලංකා යූත් සිනමා අස්වැන්න වැඩමුළුව හෙට (24) සිට

ශ්‍රී ලංකා යූත් සිනමා අස්වැන්න වැඩමුළුව හෙට (24) සිට

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ශ්‍රී ලංකා යූත් සිනමා අස්වැන්න 2012 - කෙටි හා වාර්තා චිත්‍රපට තරගාවලියේ පුහුණු වැඩමුළුව අගෝස්තු 24, 25 සහ 26 යන තෙදින තුළ ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේදී චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

දෙවන වරට සංවිධානය කෙරන මෙවර තරගාවලිය සඳහා ඉල්ලුම්කරුවන් 400 ට වැඩි පිරිසක් අයදුම්පත් යොමුකර තිබේ. දේශීය සිනමා කලා කෙත අස්වද්දන මේ සඳහා නවක නිර්මාණකරුවන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ද ඇතුළත් වේ. මෙම තෙදින වැඩමුළුවේ කෙටි හා වාර්තා චිත්‍රපට පිළිබඳ දේශන වෙනුවෙන් අරුණ ලොකුලියන, ගාමිණී වේරගම, සනත් අබේසුන්දර, පාලිත පෙරේරා, සුගත් හේවාවිතාරණ, එම්. ඩී. මහින්දපාල යන ප්‍රවීණ දේශන මඩුල්ල සහභාගි වෙති. එහිදී කෙටි හා වාර්තා චිත්‍රපට සඳහා අදාළ සියලු විෂයන් ආවරණය වන පරිදි දේශන පැවැත්වීමට නියමිතය.

වැඩමුළුව අවසානයේ මසක් ඇතුළතදී ඕනෑම මාතෘකාවක් යටතේ නිර්මාණ කළ හැකි අතර නවීන මෙවලම් භාවිත කළ හැකි අතර එය ඩී වී ඩී පටයක් මඟින් ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයට භාර දිය හැක. සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය ඔස්සේ අයදුම්කරුවන්ට කෙටි හා වාර්තා දෙඅංශයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැක.

ජයග්‍රාහකයන්ට මුදලින් රුපියල් 100,000, 75,000, 50,000 බැගින් සහ 10 වැනි ස්ථානය දක්වා රු, 20,000 බැගින් සහ සම්මාන සහතික පත්‍ර පිරිනැමේ. මේ සඳහා මුදල් අය නොකෙරෙන අතර නොමිලයේ ආහාරපාන ලබා දේ.

‘අකාල පරිණත’ 28 දා දොරට වඩී

මහින්ද විමිලසේන ලියූ’අකාල පරිණත’ ලබන 28 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ, මරදානේ පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

කොලොන්නාවේ විජේසිරිගේ කාටුන් දැක්මක්

චිත්‍ර ශිල්පී කොලොන්නාවේ විජේසිරිගේ කලා ජීවිතයට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් විකට කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයක් මෙම මස 25 – 26 යන දෙදින තුළ ගම්පහ 205, වතුරුගම බස් මාර්ගයේ ජම්බුහවුල, අමුණුකුඹුර පියරත්න ප්‍රජා ශාලාවේදී පැවැත්වෙයි. මෙය උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා නොමිලයේ විවෘතව පවතී.

‘අල්ලපු ගෙදරට’ වසර 25 යි කට්ටිය එක්ව පූජාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිනමාපටයක් ඇසුරෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍ය වන ‘අල්ලපු ගෙදර’ නාට්‍යයට ලබන 25 වැනිදාට වසර විසි හතක් සපිරේ. එම විසිහත් වර්ෂ පූර්ණය සමරමින් හා එම නාට්‍යයේ නිර්මාණකරු වන ස්ටැන්ලි ලියනගේ අනුස්මරණය කරමින් ‘අල්ලපු ගෙදර’ ශිල්පීන් පිරිවරා අගෝස්තු 25 වැනිදා සවස 6.30 ට කොළඹ හුනුපිටිය ගංගාරාමයේදී කේශධාතු පූජාවක් සහ පහන් පූජාවක් පැවැත්වේ.

ඇවිද ගිය දුර 23 දා එළි දකී

දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවයෙන් යුතුව ලබාගත් ජීවිත අද්දැකීම් එකතු කොට එඩ්වඩ් රූපසිංහ විසින් රචිත ‘ඇවිද ගිය දුර’ කෘතිය මෙම මස 23 වැනිදා එනම් අද සවස කොළඹ 07 හෝර්ටන් පෙදෙසෙහි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළිදැක් වෙයි.

මෙහි ප්‍රධාන ආරාධිත දෙසුම මහාචාර්ය දේශමාන්‍ය ජේ. බී. දිසානායකගෙන් වන අතර ජයන්ත ධනපාල සහ මහින්ද බන්දුසේන යන මහත්වරුන් විසින් පවත්වනු ලබයි. ග්‍රන්ථය පිළිබඳ හඳුන්වා දීම අනුල ද සිල්වා විසින් සිදු කෙරෙනු ඇත.