වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණ ගායක ධර්මදාසයන්ගේ අප්‍රකට තොරතුරු අපට කියන්න

ප්‍රවීණ ගායක ධර්මදාසයන්ගේ අප්‍රකට තොරතුරු අපට කියන්න

වල්පොල රසික සමාජයෙන් ඉල්ලීමක්

ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොලයන්ගේ තිස් වැනි අනුස්මරණ දිනය නිමිති කොටගෙන ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳ ග්‍රන්ථයක් පළ කිරීමට මහනුවර වල්පොල රසික සමාජය කටයුතු කරගෙන යයි.

වර්නන් ද සිල්වාගේ මූලිකත්වයෙන් පළ කෙරෙන මෙම ග්‍රන්ථයේ කර්තෘත්වය දරන්නේ කපිල කුමාර කාලිංග මහතායි.

කෘතිය සැකසීම සඳහා අවශ්‍ය ධර්මදාස වල්පොල ශූරීන් පිළිබඳ අප්‍රකට තොරතුරු, ඡායාරූප යනාදිය වර්නන් ද සිල්වා, අංක 96, කොටුගොඩැල්ල වීදිය මහනුවර යන ලිපිනයට හෝ 072-7485200, 0775485200 යන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී පැවසීිමෙන් ඔබට කෘතඥ වන බව සංවිධායකවරු පවසති.

ආරියරත්න විතානගේ ගේ සිනමා ග්‍රන්ථ ද්විත්වයක්

ඉරැස්මා සිනමාපටය අධ්‍යක්ෂණය කළ ආරියරත්න විතානගේ සිත්තර පැංචා සහ ගිනි කුසුම නමින් තිර නාටක ග්‍රන්ථ ද්විත්වයක් එළි දක්වා තිබේ.

ඉන් සිත්තර පැංචා, එක්දාස් නවසිය අනූනවය වසරේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සිත්තර පැංචා ටෙලි සිතුවමෙහි තිර පිටපතයි.

චන්ද්‍රරත්න මාපිටිගම විසින් එය අධ්‍යක්ෂණය කරන ලදී.

ගිනි කුසුම ඔහුගේ හතරවැනි වෘතාන්ත සිනමා රචනයයි. ලාංකේය ජන සමාජයේ පහළ ස්ථරයේ ගැහැනියකගේ දුක් සුසුම සහ සතුට සහ වේදනාව අධ්‍යාත්මිකව මිට මොළවා ගැනීමට දැරෙන සිනමා ප්‍රයත්නයකි.

වෘත්තාන්ත චිත්‍රපට තුනකට සහ වාර්තා චිත්‍රපට ගණනාවකට තිරනාටක රචනා කර ඇති ආරියරත්න වෘතාන්ත චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. ලේඛකයකු මෙන්ම පරිවර්තකයකු ද වශයෙන් දීර්ඝකාලීන අත්දැකීම් ඇති ඔහු පළමුව අධ්‍යක්ෂණය කරන ලද අතුරු මිතුරු ළමා චිත්‍රපටයට ජනාධිපති සම්මාන හතරක් ද, අධ්‍යක්ෂණය සඳහා ජූරියේ සම්මානයක් ද ලැබීය.

පැහැසර සංසදයෙන් මෙවරත් අභිනන්දන සම්මාන

තවලම පැහැසර සංසදය වාර්ෂිකව සංවිධානය කරන ලද පැහැසර කලා උළෙල – 2012 හිදී සිංහල කලා කෙත අස්වැද්දීම වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වාර්ෂිකව පිරිනැමෙන ‘පැහැසර අභිනන්දන සම්මානය’ චන්න විජේවර්ධන (නර්තන), ජයතිලක කම්මැල්ලවීර (සාහිත්‍ය), රෝහණ බෝගොඩ (සංගීත), චන්ද්‍රසෝම බිංදුහේවා (නාට්‍ය) යන ප්‍රවීණ කලාකරුවන් සිව් දෙනා වෙත පිරිනැමිණි.

මෙවර ගුණ රුව සුවඳට ආරියදාස පීරිස්

ප්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස්ගේ පණස් වසරක මාධ්‍ය මෙහෙවර අගැයීමට ලක් කරමින් ඉදිරිපත් කෙරෙන ගුණ රුව සුවඳ වැඩසටහන ලබන බදාදා (29) සවස හයට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

‘විසුළ අහස යට’ හත නවය වේ

හිරු නාලිකාවේ රාත්‍රී 7.00 ට විකාශය වූ කැලුම් පාලිත මහීරත්නගේ විසුළ අහස යට ටෙලි සිතුවමෙහි විකාශන කාලය වෙනස් වී තිබේ. ඒ අනුව දැන් එය විකාශය වනුයේ එම නාලිකාවෙම රාත්‍රී 9.00 ටයි.

ප්‍රේමණීය ‘සුළං කුරුල්ලා’ 30 දා ජාතික රූපවාහිනියට

ප්‍රවීණ ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රාගේ ගායන දිවිය අළලා සැකසුණ ‘ආලකමංදාව’ විශේෂ වැඩ සටහන ‘ආදරණීය සුළං කුරුල්ලා’ මෙම 30 වැනි දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. ප්‍රවීණ මාධ්‍යවේදී, සිනමා විචාරක සුනිල් මිහිඳුකුලගේ තිර පිටපතක් වන මෙය විනීතා එම්. කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.

උපාලි ෆොන්සේකාගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් ආයතනයේ හිටපු ඡායාරූප සමකර්තෘ මෙන්ම සරසවිය පුවත්පතෙහි හිටපු ප්‍රධාන ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකාගේ දයාබර මෑණියන් වූ, සරසවිය හිටපු කර්තෘ සහ ආරෝග්‍යා පුවත්පතෙහි වත්මන් කර්තෘවරිය වන දීප්ති ෆොන්සේකාගේ නැන්දණිය මරියා ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 93 කි. ඇගේ අවසන් කටයුතුª පසුගියදා වත්තල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණ.

තරිඳුට සම්මානයක්

ඉන්දියාවේ චෙන්නායි හි කරුණානාල්‍ය සමාජ සේවා ආයතනය මඟින් පවත්වනු ලබන ළමා කුසලතා වැඩසටහන් අතර ක්‍රියාත්මක වන අධ්‍යාපන සහ සංස්කෘතික තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තරිඳු උපේක කෝණාර සමත් වෙයි.

ඔහු කුලසිරි බුදවත්ත රංගායතනයේ වසර හයක් නර්තනය හදාරන ශිෂ්‍යයෙකි.

මේ ඔහු සම්මානය දිනා ගත් මොහොතයි.