වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




යල් පැන ගිය 'ස්ටාර්ස්' රියැලිටි වැඩසටහනට

යල් පැන ගිය 'ස්ටාර්ස්' රියැලිටි වැඩසටහනට

එක්ස්පෙන්ඩබල්ස් 2 විනෝදාත්මක, එකිනෙකට නොදෙවෙනි ක්‍රියාදාම තරගවලින් සහ නැවත නැවතත් පට්ට ගසනු ලැබූ සුලභ වැකිවලින් පිරුණු චිත්‍රපටයක්. පසුගිය වසර 30ක රිදී තිරය මත දුටු ක්‍රියාදාම තරු වැඩි හරියක් එක චිත්‍රපටයකට දාගත්තාහම වෙන්නේ ප්‍රේක්ෂක රසාස්වාදය සඳහා මේ එක එක තරුවලට හොඳ හැටි නෙළන්නට අවශ්‍ය දුෂ්ටයෝ ගණනක් අනන්තවත් ලෙස ඉහළ යාමයි.

මීට වසර තිහක, විසි පහක කාලයකට පෙර සිටම ක්‍රියාදාමවලට පි‍්‍රය කරන ප්‍රේක්ෂකයන්ට නම් මේ චිත්‍රපටය තම මතක වීදියේ නැවත ඇවිද යාමක් මෙන් විඳිය හැකි නමුදු, නව පරපුරට නම් මේ වීරයන් වැඩි දෙනෙක් කල් ඉකුත් වූ නැතිනම් එක්ස්පයර් වෙච්ච චරිත කියා සිතේවි.

මේ සියල්ල මැද්දේ වුවත් චිත්‍රපටය යම් තරමකට විඥාණයට අපහාසයක් සිදු නොකර ගලා යන නමුත්, එයත් ඉවර වෙන්නේ චක් නොරිස් ගේ සම්ප්‍රාප්තියත් සමඟයි.

චක් නොරිස් ඔහුගේ ඩයි කළ රැවුලත් සමඟ චිත්‍රපටයට එළඹෙන දර්ශනය දුටු විට සිතෙන්නේ චිත්‍රපටයේ ගොන් පාට්වල ගුණාත්මකභාවය මැනීමට යම් තරමක හෝ මිම්මක් තිබුණා නම්, ඔහු විසින් එය තවත් පහතට ඇද දැමුණු බවයි.

සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ඔහුගේ කුලී හමුදාව නේපාලය, ඇල්බේනියාව සහ තවත් රටවලට ගෙන යන්නේ ඔවුන්ගේ බොස් වූ බෲස් විලිස් හට ඔවුන් විසින් ගෙවිය යුතුව ඇති ණයකට හිලව් වශයෙන් තවත් එක් මෙහෙයුමක් දියත් කිරීමටයි.

බෙල්ජියානු උච්චාරණය ඉතා තද ලෙස තම ඉංග්‍රීසි කතාවට මිශ්‍ර කරගත් ජෝන් ක්ලෝඩ් වැන් ඩෑම් මෙහි දුෂ්ටයාගේ චරිතයට යොදාගෙන තිබෙනවා. අව් කන්නාඩි, තඩි පිහි අතින් කටින් ගත් වැන් ඩෑම් දුටු ගමන් ප්‍රේක්ෂකයින්ට මතක් වෙන්නේ ෆ්ලයිං කික් එකක දර්ශනයක් ළඟ ළඟම ඇති බවයි.

මේ කුලී හේවායන් වන ස්ටැලෝන්, ජේසන් ස්ටෙතම්, ටෙරි කෲවිස්, රැන්ඩි කෝචර්, ජෙට් ලී සහ ඩොල්ෆ් ලුන්ඩ්‍රන් මෙහි සටන් කරන්නේ තමන්ගේ සගයකුª මියයෑමේ වාඩුව ගන්නටයි. දුෂ්ටයා ගැන ස්ටැලෝන් කියන්නේ කරුණු 3 යි. හොයපං, අල්ලපං, මරපං. මෙයට අළුතින් එක් වූ ලියම් හෙම්ස්වර්ත් ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයෙක්. ඊට අමතරව සංකේත තරුණියගේ චරිතයට එකතුªවන මැගී (නැන් යූ) තොරතුරු තාක්ෂණයේ අගතැන්පත් මොළකාරියක්. ඊට අමතරව ඇයට හොඳ හැටි ගුටි නෙළීමේ හැකියාවද තිබෙනවා.

එක්ස්පෙන්ඩබල්ස් 1 ට වඩා 2 වෙනසකට තියෙන්නේ මෙයයි.

මෙහි ක්‍රියාදාම දර්ශන දිග හැරෙන්නේ හරියට රෝඩ් රනර් කාටුන් එකක වගේ. අධ්‍යක්ෂ සයිමන් වෙස්ට් මීට ප්‍රථම කොන් එයාර්, ජෙනරල්ස් ඩෝටර් වැනි ක්‍රියාදාම චිත්‍රපට යම් සාර්ථකත්වයක් ඇතුව නිම කළත්, මෙහිදී ඔහු මේ චරිත එන්නේ කොහෙන්ද? යන්නේ කොහෙද? බෝට්ටු සහ ගුවන් යාන අරුම පුදුම ලෙස එක පාරටම මතු වන්නේ කෙසේද?

යන්න පැහැදිලි කිරීමටවත් උත්සාහයක් ගන්නේ නැහැ. ඊට අමතරව ගුවන් යානයක් කන්දකට කඩා වැටුණු පසු මගීන් දිවි ගලවාගත් ආකාරයත් විශ්වාස කරන්නට අපහසුයි.

ඉතින් අර රෝඩ් රනර් කාටුන් එකේ වෘකයා වගේ, බෝම්බ ගැසුවත් නැවතත් දූවිලි ගසා දමා නැගිට පැස්බරා පස්සේ එළවනවා වාගේ මේ නළු කැලත් උස්සා පොළොවේ ගැසුවත්, කිසිවක් නොවූ ලෙස නැවත නැගිට නොනවතින ගුටි කෙළි සංදර්ශනයට සහභාගි වෙනවා.

මෙම චිත්‍රපටය කෙසේ වෙතත් මේ නළුවන්ටම ගැළපෙන බුහුමණක් වන්නේ මොවුන් සියලු දෙනාගේම සිනමා ජීවිතය කැරකුණු හැටියට මේ එක්ස්පෙන්ඩබල්ස් ගැළපෙන නිසයි.

මේ නළුවන් සියලු දෙනාම මුල් කාලයේ සැලකිය යුතු ක්‍රියාදාම චිත්‍රපට රැසකට දායක වී ජනප්‍රසාදය දිනා ගැනීමට සමත් වුවත් පස්සෙ පස්සේ ඔවුන් ගත් මුග්ද තීරණ හේතුවෙන් කාටුන් බඳු පුස් චරිත ගොඩකට දායක වී අවසානයේ මේ වාගේ අති විශාල මස්ගොඩවලින් පමණක් පිරුණු සිනමා විහිළුවලින් තම සිනමා දිවියේ අවසාන කාලය ගෙවා දමන්නට තරම් ඔවුන් පිරිහී තිබෙනවා.

චිත්‍රපටයේ නම එක්ස්පෙන්ඩබල්ස්. ඒ යනු වියැකුණු පුද්ගලයෝයි. ඒ කියන්නේ තවදුරටත් නැති වුණාට කාටවත් පාඩුවක් නොවෙන චරිත කියන එකයි.

චිත්‍රපටය මුළුමනින්ම නැරඹීමට තරම් ඉවසීමක් තිබෙන කාට වුණත්, මේ චිත්‍රපටයේ නම එහි අන්තර්ගතයට සියයට සියයක් ගැළපෙන බව නම් තේරුම් යයි.