වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු හීනය සැබෑ කළ ප්‍රමිලා

රඟපාමු හීනය සැබෑ කළ ප්‍රමිලා

මගේ ගම ඉතා දුර බැහැර සුන්දර ගමක්. ඒ ගැමි පරිසරයේ අපි නිදහසේ සිංදු කිව්වා. නැටුවා. ඒ හැකියාව තමයි මගේ කලා හැකියාවට මූලික අඩිතාලම දැම්මේ. ඒ වගේමයි සරසවිය.

සරසවිය අපට අත දුන්නේ නැත්නම් මේ දක්වා දුරක් එන්න ලැබෙන්නේ නැහැ.

මට මතක ඇති කාලයේ පටන්ම සරසවිය පත්තරය බලනවා. ඒ වගේම හැම පත්තරයක්ම පරිස්සමට එකතු කරල තියෙනවා. සරසවිය මේ විදියට මගේ ජීවිතයට ළං වේවි කියල කවදාවත් හිතුවේ නැහැ. මේ විදියට සිය අතීතය ආවර්ජනය කළේ ප්‍රමිලා වර්ණසූරිය. ඇය තමයි මෙවර රඟපාන්න ආසයි වරම් ලබා ගත්තේ.

ප්‍රමිලා යළිත් ඔබේ කතාව ආරම්භ කරන්න මේ අවස්ථාව.

මගේ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව කියන ගම. මම අධ්‍යාපනය හැදෑරුවේ මිගලෑව ජාතික පාසලෙන් සහ ඇහැටුව බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන්. පාසලේදී වගේම ගමේ තිබුණ හැම කලා කටයුත්තකටම මම සහභාගි වුණා. නාට්‍ය, සංගීතය වගේම පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. 1991 වසරේ මගේ ‘ආවර්ජනා’ නමැති කෙටි කතාව මහවැලි කලාප හතේ හොඳම කෙටි කතාව ලෙස සම්මාන ලැබුවා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික ආයතනයක අලෙවි ප්‍රවර්ධන නිලධාරිණියක් ලෙස සේවයට බැඳුණත් කලාවට ඇති බැඳීම නම් බිඳක්වත් අඩු වුණේ නැහැ. මේ අතරෙදි අහම්බෙන් දැනගන්න ලැබුණා දූවරු ටෙලි නාට්‍ය පිළිබඳ වැඩමුළුවක් ගැන. ඒ සඳහා සහභාගි වීමෙන් පසුව දූවරු නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව මගේ ජීවිතේ ඉතා වටිනාම අවස්ථාවක්. මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සමගයි. එය මගේ ජීවිතයේ මා ලද වාසනාවක්. මට කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නත් එය ආශිර්වාදයක් වුණා.

ප්‍රමිලා ඔබ කලා ක්ෂේත්‍රයේ ලද අවස්ථා ගැනත් කියමුද?

දූවරු, භාර්යාවෝ, මලී, මං ආසයි පියාඹන්න, ආදරේ අහස තරම්, සිහින පියාපත්, හීන් හිනා හා සිත නිවන කතා යන ටෙලි නාට්‍යවල මට රංගනයට වරම් ලැබුණා. ඒ වගේම සැරද බඹගුරු, කෝ මාක් කෝ, චිත්‍රපට සහ ෂෝටස් මෑන් ඩී. වී. ඩී. චිත්‍රපටයේ රංගනයට අවස්ථා ලැබුණා. ඒ වගේම විජය කුවේණි චිත්‍රපට කණ්ඩායමටත් මම සම්බන්ධ වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින්නත් අවස්ථාව උදා වුණා. ඒ වගේම මම සුගත් සමරකෝන් මහතාගේ රංගන පාසලේ අධ්‍යාපනය හදාරනවා.

රංගනයට අමතරව ගායනයටත් යොමු වෙලාද?

ඔව්. ගීත ගායනයට ගොඩක් කැමැතියි. අපේ ප්‍රදේශයේ තියෙන සංගීත ප්‍රසංගවලට සහ අනෙකුත් උත්සව අවස්ථාවලදී ගීත ගායනා කරනවා. නමුත් වෘත්තීය මට්ටමෙන් කරන්නේ නැහැ.

කලා කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් වගේම පවුලේ අයගෙන් ලැබෙන සහාය ගැනත් කියමු?

අපේ සිනමා නිළි රැජනගෙන් මට ගොඩක් වටිනා උපදෙස් රැසක් ලැබුණා. ඒ වගේම සුගත් සමරකෝන් මහතා සහ මිගලෑව ජාතිත පාසලේ විදුහල්පතිව සිටි ඩබ්ලිව්. වන්නිනායක මහතා විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. වන්නිනායක මහතා පාසල් කාලයේ කලා කටයුතු සඳහා යොමු වෙන්නට අවසර ලබා දුන්නා. මගේ පවුලේ අය තමයි කුඩා කල පටන් මගේ හැකියාවන් දැක්කේ. ඒ සියලු දෙනාගේම ආශිර්වාදයත් මට නිරතුරුව ලැබෙනවා.

ප්‍රමිලාට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ?

කෙටි කාලයක් ඇතුළත මට විවිධ චරිත ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම ගැමි චරිතවලට ගොඩක් කැමැතියි. ඊට අමතරව ක්‍රියාදාම චිත්‍රපටවලටත් කැමැතියි.