වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් පරපුරක මල්වර මංගල්‍යය

අලුත් පරපුරක මල්වර මංගල්‍යය

ඔබේ ආශිර්වාදය මතු පරපුරට දෙන්න හෙට දිනය වෙන් කර ගන්න

දියුණු සිනමා කලාවක් පවතින සෑම රටකම සමාන්තර වශයෙන් දියුණු කෙටි චිත්‍රපට කලාවක් පැවතීම අනිවාර්යය. එමඟින් වෘතාන්ත චිත්‍රපට සඳහා මූලික පුහුණුව ලබාදීමත් සිනමා මාධ්‍ය භාවිතය හැදෑරීමත් පර්යේෂණ කිරීමත් සහ තමන්ට ආවේණික සිනමා ශෛලිය ගොඩ නගා ගැනීමටත් අවකාශයක් සලසා ගැනීමත් සිදු කළ හැකිය.

ශ්‍රී ලංකාවට ද ඉහත කාරණාව වලංගු බව ද මෙහිදී සඳහන් කරමි. මන්ද යත් මෙරට සිනමාවෙහි දැවැන්තයන් වූ බොහෝ දෙනකුගේ ආරම්භය කෙටි චිත්‍රපටයකින් සිදු වූ බැවිනි.

ලංකාවේ ප්‍රථම කෙටි චිත්‍රපටය දොන් එඩ්වඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද පලිගැනීමය. එය නිහඬ එකකි. පසුකාලීනව ගිලිහුණු මල් (ටයිටස් තොටවත්ත), පිංගොනා (තිස්ස ලියනසූරිය), සරාගී (මහාචාර්ය සුනිල් ආරියරත්න), සතුරෝ (ධර්මසේන පතිරාජ), මනස් පුතෙක් (පී. යූ. ඩී. පෙරේරා), තවත් උදෑසනක් (අමරනාත් ජයතිලක), සිගරට් කොටය (ඇන්ඩෲ ජයමාන්න), තන්හා ආශා (පරාක්‍රම සිල්වා), පාංකිරිත්තා (බන්දුල විතානගේ), මලක කඳුළු (විජය ධර්ම ශ්‍රී), ළමයෙක් (වසන්ත ඔබේසේකර), පළමුවැනියා සහ අන්තිමයා (පරාක්‍රම නිරිඇල්ල), රස්සා රස්සා රස්සා ( සුමිත්ත අමරසිංහ), සහ කාන්තාරයේ සිහිනය (ධර්මසිරි බණ්ඩාරනායක) ආදීන්ගේ නිර්මාණ කලඑළියට ආවේය. මෙම නිර්මාණකරුවන් අද සිටින තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය.

හැටේ දශකයේ දෙවන භාගයේ පමණ ඩී. බී. නිහාල්සිංහගේ භක්ති කෙටි චිත්‍රපටය කාඩින් ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟ ලංකේය කෙටි චිත්‍රපට ජාත්‍යන්තරයට පිවිසිණ.

එක්දාස් නවසිය හැට නවය වසරේ සුගතපාල සෙනරත් යාපාගේ ‘මිනිසා සහ කපුටා’ නවදිල්ලි ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනා ගැනීමත්, ඉතාලි මිපොලි කෙටි චිත්‍රපට උළෙලේදී අයි. එන්. හේවාවසම්ගේ කළල රූ සහ ඇන්ඩෲ ජයමාන්නගේ සිගරට් කොටය සම්මාන සහතික ලැබීම සුවිශේෂ සන්ධිස්ථානයකි.

මෙරට වාර්තා චිත්‍රපට නිර්මාණයෙහි ආරම්භය සිදුව ඇත්තේ 1948 නිදහස් උළෙලත් සමඟිනි. රජයේ චිත්‍රපට අංශය ඇති කරන්නට පුරෝගාමී වූයේ ඉතාලි ජාතිකයන් තිදෙනෙකි. ජුලියෝ පෙට්ට්‍රෝනි, පෙඩ්රිකෝ සේරා සහ ජෝර්ජෝ කලබ්‍රියා ඔවුන්ය.

පෙට්ට්‍රෝනිගේ අධ්‍යක්ෂණය යටතේ ඔවුන් තැනූ මුල්ම චිත්‍රපටය වූයේ නිව් හොරයිසන්ස්ය. ඉනික්බිතිව වාර්තා චිත්‍රපට අංශය භාරව කටයුතු කරන්නට පැමිණියේ එංගලන්තයේ විශිෂ්ට වාර්තා චිත්‍රපටකරුවකු වූ රැල්ෆ් කීත්ය.

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වාර්තා චිත්‍රපට අංශයට එක් වූයේ කීත්ගේ ආරාධනාවකින් ් බව කියවේ. එම සමයේ බිහි වූ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චිගේ රිදම්ස් ඔෆ් ද පීපල් වැදගත් නිර්මාණයකි. ලංකාවේ වාර්තා චිත්‍රපටයකට බටහිර සිනමා උළෙලකදී ලැබිය හැකි ඉහළම සම්මානය ලැබී ඇත්තේ මෙම චිත්‍රපටයටය.

එය වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෝල්ඩන් බෙයර් සිනමා උළෙලේ ගෝල්ඩන් බෙයාර් සම්මානයයි. රජයේ චිත්‍රපට අංශයේ නිර්මාණකරුවන් අතර ජෝර්ජ් වික්‍රමසිංහ, අර්වින් දසනායක, අබේකෝන් සෙනෙවිරත්න, තිස්ස ලියනසූරිය, විල්ෆ‍්‍රඩ් පෙරේරා, රන්ජිත් ලාල්, සුගතපාල සෙනරත් යාපා, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ආදීහු වැදගත් වෙති.

මෙය පෙර සටහනයි. මා මෙවැනි ආරම්භයක් ලබා ගත්තේ හෙට දිනයේ පැවැත්වෙන ඉතාම වැදගත් කටයුත්තක් ඔබ වෙත දැනුම්දීමට ප්‍රථම ඒ ගැන ඔබව දැනුමෙන් ඉහළ මට්ටමකට ගෙන ඒමටයි.

මේ වන විට ඔබ කෙටි හා වාර්තා චිත්‍රපට ගැන යම්තාක් දුරට දැනගන්නට ඇත. එසේ නොමැති නම් ඒවා පිළිබඳ ඔබ මෙතෙක් දැනසිටි කරුණු කාරණවලට අලුතින් යමක් එකතු වන්නට පුළුවන. එහෙනම් දැන් එළඹ ඇත්තේ හෙට සුවිශේෂීවන කරුණ පැවසීමටය.

විවේකයක් ඇතත් නැතත් හෙට සවස තුනහමාර වෙද්දී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට එන්න යැයි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ඔබට ආරාධනාවක් තිබේ. ඒ ජවසම්පන්න තාරුණ්‍යය නියෝජනය කරන අංකුර නිර්මාණකරුවන් රැසක් සම්මානිත වීමේ භාග්‍යවත් මොහොතක් සියැසින් දැකබලා ගැනීමටත් සහ ඔවුනට දිරිය ශක්තිය ලබාදීමටත්ය.

මෙම උත්සවය කුමක්දැයි දැනගැනීමට ඔබ කුහුලෙන් පසුවන වග මම දනිමි. එහෙයින් මේ පිළිබඳ සරලව මෙසේ පැවසීම යෙහෙකැයි මට සිතේ. එම කලා මාධ්‍යයන් භාවිත කරමින් සංවිධානය වූ තරගාවලියක තිළිණ පිරිනැමීම හෙට සිදුවිමට නියමිතය.

අප කලා ක්ෂේත්‍රයේ වර්තමාන පතාක යෝධයින් බවට පත් වී සිටින විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ මුලාරම්භය කෙටි සහ වාර්තා චිත්‍රපට යැයි පෙර සටහනින් ඔබ දැනගත්හ. හෙට දිනයේ අභිෂේක ලබන්නේ තවත් එවැනිම පරපුරක් බැවින් එහි කොටස්කරුවන් වීමට අනිවාර්යයෙන්ම ඔබේ පැමිණීම යුතුකමක් වන්නේය.

කෙටි සහ වාර්තා චිත්‍රපට නිපදවීමේ අඩුවක් පසුගිය කාලවකවානුවේ පැවතිණ. ඊට හේතුව කිමදැයි නිශ්චිතව කිව හැකි නොවුණත්, නූතන සිනමාවේ කඩා වැටීමට එය ප්‍රබල හේතුවක් වී තිබිණ.

කෙටි සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරණය අපහසු කටයුත්තකි. ඒවා ඇක්ෂන්, කට් සහ දෙබස් තුළ පමණක් සිර නොවූ දර්ශනයන්ගෙන් සැදුම් ලත් නිර්මාණ නොවිණ.

නිර්මාණශීලී දැක්මක් ඇති නිර්මාණකරුවකුගේ ඇහැකට පමණක් කෙටි සහ වාර්තා චිත්‍රපට තැනීමට හැකිවීම විශ්වාසයකි.

නිර්මාණශීලී තාරුණ්‍යයේ හැකියාවන් වලපල්ලට යා නොදී ජාත්‍යන්තර තරුණ වර්ෂය ඉලක්ක කර ගනිමින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් මෙම කෙටි සහ වාර්තා චිත්‍රපට උළෙල සංවිධානය කොට තිබේ.

වයස අවුරුදු 18 – 29 ත් අතර තරුණ තරුණයින් සඳහා වූ අංශයත්, විවෘත අංශයත් කෙටි චිත්‍රපට සඳහා වූ අතර කෙටි වාර්තා වැඩසටහන් අංශය සෑම දෙනාටම පොදු විය. සිංහල, දමිල, ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැකි වීම මුළු රටටම පොදු උළෙලක් බවට පරිවර්තනය කළ හැකිව තිබිණ.

මේ සඳහා සහභාගි වූ සියලුම අයැදුම්කරුවන් සඳහා දින දෙකක නොමිලේ වැඩමුලුවක් පවත්වා ප්‍රායෝගික දැනුමෙන් පෝෂණය කළෝය.

පිටපත් රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය යන මාතෘකා යටතේ දැනුම බෙදා දීමට ඒහා අත්වැල් බැඳ ගනු ලැබුවේ ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, ඩොනල්ඩ් කරුණාරත්න සහ ප්‍රවීණ් ජයරත්න යන අයය.

එක් එක් තරග අංශයෙන් අවසන් වටයට තේරුණ සිනමා කෘති දහය බැගින් නිර්මාණ තිහක් මහවැලි කේන්ද්‍රයේදී පසුගිය දිනෙක ප්‍රදර්ශනය කරන ලදී.

ආචාර්ය ධර්මසේන පතිරාජ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය සුමති සිවමෝහන්, එම්. ඩී. මහින්දපාල, අමෝමා වත්තලදෙණිය, ලාල් හරේන්ද්‍රනාත්, සෙනේෂ් බණ්ඩාර දිසානායක සහ ස්ටැන්ලි හෙට්ටිආරච්චි යන ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගින් සම්මානලාභී කෘතීන් තෝරා ගැනීම සිදු කෙරිණ.

මෙම විනිශ්චය මණ්ඩලය නිසාම හෙට දිනයේ සම්මානනීය වන ඔවුන් සුවිශේෂී පිරිසක් වනු නියතය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, නිළි රැජන මාලිනිය, ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර යන සම්භාවනීය අමුත්තන් ඇතුළු බොහෝ දෙනකුගේ ආශිර්වාදය මධ්‍යයෙහි සම්මානයන් ලබා උත්තේජනයක් ලබාගත් නිර්මාණකරුවන් හෙට දින ලාංකේය සිනමා ක්ෂේත්‍රය බබළවන මහා පහන් ටැඹවල්වීම මෙම උළෙලෙහි අරමුණු මුදුන්පත් වීමක් යැයි සඳහන් කළ හැකිය.