වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා පීරිස් ජීවන වෘත්තාන්තය 7 වැනිදා එළි දකී

සුමිත්‍රා පීරිස් ජීවන වෘත්තාන්තය 7 වැනිදා එළි දකී

අජිත් ගලප්පත්තිගේ කෘතියක්

විශේෂ මුද්දරයක් ද නිකුත් වෙයි

හෙළ සිනමාවේ කිවිඳිය ලෙස අනවර්ථ නාමයෙන් හැඳින්වෙන සුමිත්‍රා පීරිස්ගේ ජීවිතය සහ සිනමාජීවිතය විවරණය කරමින් අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා අඩ සිය වසක අද්විතීය සිනමා ජීවිත කතාව’ ග්‍රන්ථය එළඹෙන සැප්තැම්බරයේ සත් වැනිදා සවස කොළඹ හිල්ටන් හෝටලයේ රෙසිඩන්ට්ස් ග්‍රෑන්ඩ් බෝල් රූම් හිදී එළි දකියි.

1978 සිට සිවු දශකයක ඇයගේ සිනමා කෘති පෙළෙහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

ඉතාම දුර්ලභ සේයාරූ 175 කින් සමන්විත මෙය පෞරාණික බව මතු කෙරන විශේෂ ද්විත්ව වර්ණයකින් මුද්‍රණය කර ඇත.

නූතන මුද්‍රණ තාක්ෂණ භාවිතයෙන් යුතුව මෙම ග්‍රන්ථය මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කෙරනුයේ මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ප්‍රේම් දිසානායක මහතාය.

මෙම ග්‍රන්ථය නිකුත්වීම අරභයා සුමිත්‍රා පීරිස් සිනමාවේදිනිය වෙනුවෙන් විශේෂ මුද්දරයක් ද නිකුත් කිරීමට ද සැලසුම් කොට තිබේ.

මෙරට විශිෂ්ටතම සිනමාවේදිණිය ලෙස සැලකෙන සුමිත්‍රා පීරිස් සිනමාවේදිණිය ගෞරවනීය කලාකාරියක ලෙස සම්භාවනාවට ලක් වෙයි. 1960 දී සන්දේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරිය ලෙස සිනමාවට පිවිසි ඇය වසර පණස් තුනක් අඛණ්ඩව සිනමාවෙහි රැඳී සිටින්නීය.

ගැහැනු ළමයි චිත්‍රපටයේ සිට වෛශ්ණාවි දක්වා සිනමා කෘති දහයක් අධ්‍යක්ෂණය කොට ඇති ඇය ගම් පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, අක්කර පහ, ගොළු හදවත, අහසින් පොළවට, දෑස නිසා ඇතුළු චිත්‍රපට රැසක සංස්කාරකවරියයි. මෙම උළෙලේ කෘතවේදී සංවිධානය සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරතුංග ගෙනි.


මොන්ට්‍රියල් උළෙලේ විශිෂ්ටයන් අතර

‘ඔබ නැතුව ඔබ එක්ක’

විසි අට වැනිදා ජාත්‍යන්තර ප්‍රදර්ශනය අරඹයි

ප්‍රසන්න විතානගේ ගේ සත්වැනි සිනමා නිර්මාණය ‘ඔබ නැතුව ඔබ එක්ක’ අගෝස්තු මස විසිඅට වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.20 ට කැනඩාවේ මොන්ට්‍රියල්උළෙලේදී ජාත්‍යන්තර ප්‍රදර්ශනය අරඹනු ඇත.

එය විසිතුන් වැනිදා සිට සැප්තැම්බර් තෙවැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන මොන්ට්‍රියෙල් අන්තර් ජාතික සිනමා උළෙලේදී ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට අංශයේ තිරගත වනු ඇත. අනතුරුව එහි ප්‍රථම ආසියානු මංගල දැක්ම සැප්තැම්බර් දහහතර සිට විසි එක්වනදා තෙක් ජපානයේ ඇති අන්තර් ජාතික ෆුකෝකා චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතය.

මෙදිනම එහි වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිය ද එළිදක්වනු ඇත.ඉන්දීය නිළි අංජලි පටිල්, ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ සමඟ මහේෂ් වරී රත්නම් ප්‍රධාන චරිත මවන ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිංහල බසින් මෙන්ම දෙමළ බසින් නිපදවූවකි.

එම්. ඩී මහින්දපාල කැමරාකරණයෙන්ද, ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් ද, තපස් නායක් ශබ්ද පරිපාලනයෙන් ද දායක වූ ‘ඔබ නැතිව ඔබ එක්ක’හි කලා අධ්‍යක්ෂණය රොබ් නේවිස්ගෙනි. අංග රචනය ඊබට් විජේසිංහගෙන්ය. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂවරයාය. රේඛීය නිෂ්පාදනයෙන් කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දායක වූහ.

ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන මෙය ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී නිෂ්පාදකවරුන්ය. රාහුල් රෝයි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා සහ නදීරා ඇඩම්අලී විධායක නිෂ්පාදනයෙන් දායක වූහ.


අට වසරකට පසු

කමල් සමඟ කලර් හෙට එයි

හෙට සිට සී. ඊ. ඒ. මණ්ඩලයේ සිනමාහල් කලර් සඳහා වෙන් වෙයි. අට වසරකට පසු කමල් අද්දරආරච්චිගේ රංගනයක් යළි දැකබලා ගත හැකි එය ඉසුරු වීරසිංහ මුදලිගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

කමල් සමඟ සඳනි සුලක්නා, ඇන්ජලා සෙනෙවිරත්න, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ සහ දුෂාන් මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති.

කලර් නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ නිෂ්පාදනයක් ලෙසින් එළි දකියි.

කැමරාව ප්‍රියන්ත මලවිගේ මෙහෙයවා තිබේ. සංඛ දිනෙත්ගේ සංගීතයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක් වෙයි. චලින් මධුරංග සහාය අධ්‍යක්ෂවරයාය. සංඛ දිනෙත්, මීනා ප්‍රසාදිනී, සමිතා මුදුන්කොටුව සමඟ කමල් අද්දරආරච්චි මෙහි ගායනා කර තිබේ. ප්‍රචාරක සැලසුම සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දනය.


ශ්වේත රාත්‍රිය 14 දා නිම වෙයි

සිරස මාධ්‍ය ජාලය මගින් සංවිධානය කළ විශාරද නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය සැප්තැම්බරයේ 14 වැනිදා නිමාවට පත්වනු ඇත.

එහි අවසන් ප්‍රසංගය එදින සවස රත්මලානෙහි සිරස ආයතනයේ ස්ටෙයින් මැදිරියේදී පැවැත්වෙනු ඇත.