වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




දොර ඇරුණේ අපේ අම්මා ආවදෝ

දොර ඇරුණේ අපේ අම්මා ආවදෝ

ඉරිදා උදේ වැහි වැහැලා ගලා ගියා . . .

සඳුදා උදේ ගඟ දෙගොඩින් ගලා ගියා . . .

පුවක් මලේ ඇට ගානේ කඳුළු ගියා . . .

අපේ අම්මා වෙන ගමකට දීග ගියා . . .

කිරළා අඬාගෙන එන්නේ කොයිබින් දෝ . . .

බැළලී අඬාගෙන එන්නේ පැල ළඟ දෝ . . .

බල්ලා බුරාගෙන එන්නේ වැට ළඟ දෝ . . .

දොර ඇරුණේ අපේ අම්මා ආවා දෝ . . .

මේ කවි දෙක ඉතා මිහිරියට ගායනා කරනු ලැබුවේ අපේ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියෙක් හා සිනමාවේදියකු වන ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවායි. ඒ අමිල තේනුනවරගේ අලුත්ම කවි පොත ‘හෝඩි පොතේ මනමාලි’ එළි දැක්වූදා.

කවිය තාලයට ගායනා කර අහවර වූ ජයන්ත මෙසේ ද පැවසුවා.

‘අපි හුඟ දෙනෙක්ට වඩා කවිය අවජාතකයි. එත් අපිට අද ජීවත්වෙන්න සිදු වෙලා තියෙන්නේ එක එක ඇජේන්ඩාස්වලට අනුව. ඉතින් කතා කරන්න, හිනා වෙන්න, හැසිරෙන්න ඕනැත් කාගේ හරි උවමනාවක් විදියට. සමහර වෙලාවට ආදරේ කරන්න වෙලා තියෙන්නෙත් එහෙමයි.

මල ගෙදරකට වුණත් මේ රාමුවෙන් මිදිලා ඇතුළු වෙන්න අපිට බැරි වෙලා. මෙහෙම හිතෙද්දි අපිත් එක්තරා විදියකට ගුවන් සේවිකාවෝ වගේ කියලා හිතනවා. එයාලටත් හැමෝටම හිනා වෙන්න බැරි වුණත්, රැකියාව තුළ හිනාවෙන තැනට ඇවිත්. සුපිරි වෙළෙඳසල්වල සේවිකාවන්ටත් මේකම තමයි. මම අර ඉහතින් කිව්ව කවිය මගේ ජීවිතයේ හද සසල කළ කවියක්. මේ කවිය මට ඇසුණේ මගේ බිරිය ගුරුවරියක් විදියට මාතලේ පැත්තේ පාසලක උගන්වන කාලේදී මා එහි ගිය විටදී. ඒ දරුවන්ට මේ කවිය හොදින් කට පාඩම්ව තිබුණා. මගේ හදවත අදත් සසල වෙනවා මේ කවිය මතක් වුණාම’ යනුවෙන් ජයන්ත හැගුම්බරව කීවේ සභාවම කවි සයුරක සතපවමින්.

බුද්ධිකට ඇබැද්දියක්

බුද්ධික ජයරත්න අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ළඟදී රූගත කිරීමට නියමිත ‘රජ හොරු’ චිත්‍රපටයේ රඟපාන්න සුරංග ද අල්විස්ගෙන් බුද්ධිකට ද ආරාධනාවක් ලැබුණා.

මෙහි මුහුරත් උළෙල පැවැතියේ පසුගිය දවසක. එදා මුහුරත් උළෙලට බුද්ධිකට ‘හෙඩ් ටේබල්’ එකට එන්නත් ඇරැයුම් ලැබුණා. හැබැයි බුද්ධිකගේ මූහුණ ඇඹුල් වුණා.

ඒ ඇයි කියලා ළඟ හිටපු කෙනෙක් බුද්ධිකගෙන් විමසුවා.

‘බලන්නකෝ මම මේ නිකන් ටී ෂර්ට් කෑල්ලක් දාගෙන ආවේ. මේ ඔක්කොම ටයි කෝට් ඇඳලා නළුවෝ වගේ . . .’

එහෙම කියපු බුද්ධික හෙට් ටේබල් එකේ වාඩි වුණත් අපහසුවෙන් ඇඹරි ඇඹරී තමයිලු හිටියේ.

උදය පස් වතාවක් බිරිය හදුන්වා දීලා

පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට ප්‍රවීණ සිනමා විචාරිකා ජයන්තා රුක්මණී සිරිවර්ධන, කලා ක්ෂේත්‍රයේ උදයගේ හිතවතුන් වගේම මාධ්‍යවේදීන් ද පැමිණ සිටියා. උදයගේ රූමත් බිරිඳ ද මේ අවස්ථාවට පැමිණ සිටියා.

හිටි හැටියේම ජයන්තා රුක්මණී ළඟට බිරිඳ කැඳවාගෙන ගිය උදය,

‘මේ මගේ බිරිඳ ශාන්ති’

‘ඇයි උදය ඔයා මේ ඔයාගේ වයිෆ්ව පස්වෙනි වතාවටනේ මට හඳුන්වා දුන්නෙ . . .’

මේ වෙලාවේ කට්ටිය වැඩියි නේ . . . මට චිත්‍රපටයට වඩා මෙයාව හඳුන්වලා දෙන්න වෙලා යනවනේ . . .

වැඩිය කට්ටිය ශාන්තිව දන්නෙත් නැහැනේ . . . නිළියක් කියලා හිතයි කියලයි මම එයාව හඳුන්වලා දෙන්නේ’ යැයි හැමොටම ඇසෙන්න එසේ කියමින් උදය එතනින් හෙමිහිට මාරු වුණා.

ශ්‍රියන්තගේ උපන් දිනේ

පසුගිය දවසක කොළඹට නුදුරු පළාතක ටෙලි නාට්‍යයක රූගත කිරීමක් තිබුණා.

පැමිණ සිටි නළු නිළියන් අතර ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් ද සිටියා. මේ රූගත කිරීම බලන්නත් විශාල පිරිසක් රැස් වුණා. රූගත කිරීම අතරතුරදී ශ්‍රියන්තට පොඩි විවේකයක් ලැබුණා.

මේ අල්ල පනල්ලේ අපේ මිතුරෙක් ශ්‍රියන්ත ළඟට කිට්ටු වුණා.

‘අයියේ අයියගේ උපන් දිනේ කවද්ද?’

‘ඔක්තෝබර් විසිපහ මල්ලී . . .’

මේ ප්‍රශ්නෙදී එහෙම කියලා ශ්‍රියන්ත නිහඬව සිටියා. නමුත්, නැවත නැවතත් ශ්‍රියන්තගෙන් අවුරුද්ද විමසා අපේ මිතුරා කරදර කළා.

‘අනේ අයියේ මොන අවුරුද්දෙ ද?’

ඉවසාගත නොහැකි තැන ශ්‍රියන්ත මෙහෙම කිව්වා.

‘මල්ලී හැම අවුරුද්දෙම ඔක්තෝබර් විසිපහ.’