වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මේක තමයි මගේ ක්‍රමය

මේක තමයි මගේ ක්‍රමය

දින 100 පැන්න විජය – කුවේණි ගැන සුගත් සමරකෝන් සමඟ කතාබහක්

සුගත් සමරකෝන්. ඔහු අපේ රටේ ජනප්‍රියව සිටියේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු ලෙසිනි. කලක් විදේශගතව සිටි සුගත් නැවත අපේ රටට පැමිණියේ රිදී තිරයට හොඳ චිත්‍රපටයක් දායාද කිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ අනුව ඔහු විජය කුවේණි රිදී තිරයට ගෙන ආවේ ද මහත් පරිශ්‍රමයක් දරමිනි. ආරම්භක සිනමා ශාලාවල දින සියයක් තිරගත වූ විජය කුවේණි මේ දිනවල අති සාර්ථකව තිරගත වන බව අතිශයෝත්තියක් නොවේ. මේ කතාබහ සුගත් සමරකෝන් සමඟිනි.

නිෂ්පාදක ගයාන් සහ සුගත්

* පළමුවෙන්ම විජය කුවේණිට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ කතාබහ කරමු.

ඔව් . . . මේ වන විට විජය කුවේණි දින සියයක් සපුරා අවසන්. ආරම්භක සිනමා ශාලාවන්හි දින සියයක් සපිරීම මා හිතන්නේ ලොකු අභියෝගයක් ජය ගැනීමක් කියලයි. මෙම චිත්‍රපටය හය වතාව බලපු පිරිස් මට හමුවුණා. ඒ වගේම ප්‍රේක්ෂකයන් ඉතාමත් ඕනෑකමින් චිත්‍රපටය නැරැඹුවා මා දුටුවා. මා හිතන්නේ ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයා නිර්මාණයට ලබා දී තිබෙනවා. මට ඒ හොඳටම ඇති.

මෙම චිත්‍රපටය ආරම්භක සිනමා ශාලවලින් ඉවත් කිරීමට අප තීරණය කරන්නේ හේතු කරණා කිහිපයක් නිසයි. ඉන් පළමුවැන්න අනෙකුත් නිර්මාණයන්ට ප්‍රදර්ශනය සඳහා ඉඩ දිය යුතුයි. දෙවැන්න විදේශ රටවල් බොහොමයකින් අපට ආරාධනා ලැබී තිබෙනවා. මේ හේතු කාරණා නිසා ආරම්භක සිනමා ශාලා කිහිපයකින් ඉවත් කිරීමට සිදු වෙනවා. නමුත් තවත් බොහෝ දෙනා චිත්‍රපටය නරඹන්න ආසාවෙන් සිටින බව මට දැන් හිතෙනවා.

* ඔබ වේදිකාවටයි ප්‍රසිද්ධ. චිත්‍රපටයට අත තබද්දී මෙතරම් සාර්ථකත්වයක් බලාපොරොත්තු වුණාද?

මෙම තිර පිටපත ලියන්නට මා බොහෝ වෙහෙසුණා. එය ඉතාමත් දුෂ්කර කාර්යයක්. නිකම් කතාවකට වඩා ඉතාමත්ම සියුම්ව ගවේෂණ කරන්න සිදු වුණා. ඉතිහාසයේ පිටු අතර වලදා තිබූ හැබෑ කුවේණිය සොයමින් මම දුෂ්කර ක්‍රියා කළා. මට අවශ්‍ය වුණේ ඉතාමත් හොඳ නිර්මාණයක් මගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නටයි. ඒ ගැන ප්‍රථමයෙන්ම මට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව ඉතාමත් සැලසුම් සහගතව අප චිත්‍රපට ඇරැඹුවා. මගේ නිෂ්පාදක ගයාන් රණධීර. ඔහු නිර්මාණය සමඟ ඉතාමත් බද්ධව උන්නා. අපි බොහෝ මහන්සි වී හොඳ නිර්මාණයක් බිහි කළා. හැමෝගෙම සහයෝගය ද ඒ සඳහා ලැබුණා. ඒ නිසා මා හිතනවා මේ නිර්මාණය ඉතා සාර්ථකයි කියලා.

* නමුත් මේ නිර්මාණයට ඔබට විවිධ චෝදනාත් එල්ල වුණා?

ඔව් . . . අපේ මිනිස්සු හොඳ නවයක් තියෙන තැන එක වැරැද්දක් තිබුණොත් කතා කරන්නේ වැරැද්ද ගැන විතරයි. හොඳ නවයම අමතක කරලා දානවා. මේක තමයි අපේ හැටි. හැබැයි පිටරට නිර්මාණ නරඹන ප්‍රේක්ෂකයා වගේම විචාරකයනුත් තමන්ගේ නිර්මාණකරුවාගේ හොඳ ඉතාමත් අගය කරනවා. අපේ රටේ කුහකකම පිරුණු සුළුතරයක් නිර්මාණ අගය කරනවා වෙනුවට කරන්නේ පුංචි පුංචි තැන් සොයමින් පහර දෙන එක. ඒක තමයි ක්‍රමය. නමුත් මම ඒ කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. නිර්මාණය හොඳ නැත්නම් දින සියයක් දුවන්න බැහැ. ඒ වගේම එක ප්‍රේක්ෂකයා දෙතුන් වතාවක් බලන්නෙත් නැහැ.

* මෙම චිත්‍රපටය ආරම්භය විජය කුමාරයා සිංහලෙන් කතා කරන දර්ශනයයි අපට පෙනෙන්නේ. මෙය අත් වැරැදීමක් ද හිතාමතා කළ දෙයක්ද?

මම මේ චිත්‍රපටය හැදුවේ මගේ රටේ ප්‍රේක්ෂකයන්ට. මේක සිංහල චිත්‍රපටයක්. ඒ නිසා විජය කුමාරයා සහ පිරිස සිංහලෙන් කතා කරන දර්ශනය මා කළේ හිතාමතාමයි. උදාහරණයක් විදියට ගාන්ධි චිත්‍රපටය ගන්න. ගාන්ධි චිත්‍රපටයේ සියලු දෙනා කතා කරන්නේ ඉංග්‍රීසියෙන්.

මනමේ, සිංහබාහු වගේ වේදිකා නාට්‍යවලත් හැමෝම කතා කරන්නේ සිංහලෙන්. මේක වාර්තා චිත්‍රපටයක් නෙවෙයි. නිර්මාණයක්. මේ වගේ දේවල් චිත්‍රපටයේ අඩුපාඩු සොයා ගන්න බැරුව දඟලන අයගේ විවේචන. පුහු මෝඩ තර්ක කියලයි මට හිතෙන්නේ.

* හරි . . . විජය කුවේණී එකතුවීම ඉක්මන් වැඩියි කියලත් ඇතැමෙක් පවසනවා.

එය ඉක්මන් විය යුතුයි. කතාව විසින්ම ඒ ඉක්මන් බව ඉල්ලා සිටිනවා. විජයට අවශ්‍ය තමාගේ පිරිස ඉක්මනින්ම සොයා ගැනීම. කුවේණිට අවශ්‍ය රාජ කුමාරයකු සමඟ විවාහ වී තමාගේ අපලයෙන් මිදීම. දෙදෙනාගේම තිබෙන්නේ පෞද්ගලික ඉතාමත් ඉක්මන් බලාපොරොත්තු ද්විත්වයක්. විජය බලන්නේ ඉතාමත් සූක්ෂමව කුවේණිව ග්‍රහණය කර ගැනීමට. ඉතිං මේ අරමුණු දෙක මුදුුන්පත් වන්නට දෙදෙනා ඉතා ඉක්මනින් එක්විය යුතුයි. ඒ නිසා තමයි විජය කුවේණිය සමඟ පළමු ආදර හාදුවට පසුව ‘දැන්වත් මගේ පිරිස කොහේද කියන්න’ කියලා කියන්නේ. විජයගේ මනෝභාවයේ කිඳී තිබෙන අරමුණ ඉන් පැහැදිලි වෙනවා. ඒ අරමුණු දෙකම දිනවන්න මේ දෙදෙනා ඉතාමත් ඉක්මනින් එක්කළ යුතුමයි.

* වට පිටාවෙන් ඇසෙන චෝදනා ඔබ සමඟම කතා කළ යුතුයි. ඒ නිසා අපි තවත් චෝදනාවකට උත්තර දෙමු. ඊළඟ චෝදනාව තමයි චිත්‍රපටයේ ඝෝෂාකාරී බව වැඩියි කියන එක?

ඔව් . . . යුද්ධයක් තියෙන තැනක ශබ්දය ඉතාමත් මිහිරි ද? දවල්ට ජනාකීර්ණ වීදියක ශබ්දය සෞම්‍යද? චිත්‍රපටය කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක්. මේ තමයි මගේ ක්‍රමය. ඒ ඝෝෂාකාරී බව තිබෙන්නේ චිත්‍රපටයේ අත්‍යවශ්‍ය තැන්වල විතරයි.

* ඔබ චිත්‍රපටයේ සංගීතය සඳහා යොදා ගත්තේ නදීක ගුරුගේ. ඇයි නදීකව තෝරා ගන්න හේතු වුණේ?

විශේෂයෙන්ම ඔහු ගෝත්‍රික සංගීතය පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙන බව මට දැනුණා. ඒ නිසාම මගේ නිර්මාණයට නදීක හවුල් කර ගත්තා. ඔහු ඉතාමත් ඕනෑකමින් අලංකාරව, කැපවීමෙන් ඒ කටයුත්ත අකුරටම ඉටු කළා.

* සීපපාටිකා වගේ චරිත මනඞකල්පිතව ඔබ නිර්මාණය කළ ඒවාද?

නැහැ . . . මගේ නිර්මාණයේ මනඞකල්පිත චරිත නැහැ. එවැනි චරිතයක් සැබෑ කතාවෙත් ඉඳලා තිබෙනවා.

ඉතිහාස කතාව අනුව තමයි මමත් මේ නිර්මාණය කළේ. ඉතිහාස කතාවට බැහැර කිසිවත් මා බලෙන් තිර පිටපතට ඔබලා නැහැ.

* චිත්‍රපටයට ඔබ තෝරා ගත් නළු නිළියන් පිළිබඳ අවසානයේ සෑහීමට පත් වෙනවාද?

ඔව් . . . මේ චිත්‍රපටය තුළ සෑම නළු නිළියකුටම කරන්න පැහැදිලි වැඩ කොටසක් තිබුණා. මම නළුවෙක් විදියට ලබාගත් අත්දැකීම් මම ඔවුන්ව හසුරුවන්න ප්‍රයෝජනයට ගත්තා. ඒ නිසා ඔවුන් ඉතාමත් සාර්ථකව තම තමන්ගේ කටයුතුª කළා.

* ඔබේ නිර්මාණය පිළිබඳ පුවත්පත්වල පළ වූ දැන්වීම් සඳහා ගුණකථන කොට තිබෙන්නේත් චිත්‍රපටයේ නළු නිළියොමයි.

මෙහෙමයි . . . චිත්‍රපටය නරඹන්න මා බොහෝ දෙනකුට ආරාධනා කළා. ඇතැම් අය ඇවිත් චිත්‍රපටය බලලා මටත් නොකියා දුවල ගියා. ඒ අතරේ ඇතැම් නිහතමානී, තවත් අයකුගේ නිර්මාණ අගය කරන පිරිස මගේ නිර්මාණය ගැන විවෘතව කතා කළා. ඉතිං මම මගේ දැන්වීම් සඳහා යොදා ගත්තේ විවෘතව කතා කරපු උදවිය. ඒකේ වැරැද්දක් නෑ කියලයි මට හිතෙන්නේ.

* මේ නිර්මාණය පිටරට අරන් යන්නේ තව සල්ලි ටිකක් හොයා ගන්නද?

නැහැ. මට පිටරට අත්දැකිම් නුහුරු නුපුරුදු එකක් නෙවෙයි. ඒ නිසා මේ නිර්මාණය අරන් යන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදියි. මේ නිර්මාණය පිටරට ගෙනහිල්ලා හම්බ කරන්න තරම් මගේත්, ගයාන්ගේත් ආකල්ප පටු නැහැ.

* චිත්‍රපට ශාලා ගැන මොකද හිතෙන්නේ?

අපි උසස් තාක්ෂණයෙන් චිත්‍රපට හැදුවට ඒ තාක්ෂණයේ තිබෙන විචිත්‍රවත් බව දකින්න හැමෝටම අවස්ථාව උදා වෙන්නේ නැහැ. අපේ චිත්‍රපට ශාලාවල පුටුවල මකුණො. චිත්‍රපටය පටන් ගනිද්දි වවුල්ලු ඉගිලෙන්නේ කැලෑවක වගේ. ඉතිං මේ වගේ තත්ත්වයක් යටතේ තමයි ප්‍රේක්ෂකයාට චිත්‍රපට බලන්න වෙලා තියෙන්නේ.

* විජය කුවේණිට පස්සේ මහා රාවණද, කුවේණිගේ දරුවෝද?

මෙම චිත්‍රපට දෙක සඳහාම සූදානමක් තියෙනවා. දෙකෙන්එකක්ඉතාඉක්මනින්ම අරඹනවා. මෙම චිත්‍රපට ත්‍රිත්වය එකට ඈඳුණු කතාන්දර ත්‍රිත්වයක්.

* ඒ නිර්මාණ ගැන ඔබ හොඳ සූදානමක් තියෙනවාද?

ඔව් . . . විජය කුවේණි සාර්ථක වීම තුළ මේ නිර්මාණ ද්විත්වයට මම ශක්තිමත්.