වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් ගමන වෙනස්

දැන් ගමන වෙනස්

මගේ සිහිනය සමඟ නැවත කරළියට පැමිණි උදය ශ්‍රී

ඔහු කලක් අපට හමු වූයේ සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙසිනි. එහි ගායන ශිල්පියකු ලෙස සිටි උදය ශ්‍රී ඉන් ඉවත් වු පුවත දැන් උණුසුම් පුවතක් නොවේ.

ස්වාධීන ගමනක් යන්නට අලුත් මගක් එළි පෙහෙළි කරගත් උදය තමා තනිව කළ කුලුදුල් නිර්මාණය මේ වනවිට ගීත ලෝලීන් වෙනුවෙන් එළි දක්වා තිබේ. ‘මගේ සිහිනය’ නම් වන මේ ගීතය අන්තර් ජාලයට මුදාහල දිනයේම අති මහත් ප්‍රතිචාර ලැබී තිබේ.

මේ තරුණ ගායකයාගේ ගමන ගැනත් ඔහුගේ නිර්මාණ කටයුතු පිළිබඳත් ඔහු පළමුව කතාබහ කරන්නේ සරසවියට වීම සුවිශේෂත්වයකි. අපි අලුත් ගමනක් සමඟ යන උදය ශ්‍රීී හමුවෙමු.
මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ . . .
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ . . .
ආදරේ මට නම් ඇයි විරහ සරදම් . . .
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් . . . .

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නව නම් තව කඳුළු දිදී රිදවන්නද
මා දැවෙන තරම් ඔබ දන්නෑ . . .
මගෙ හීනයෙ ළඟ ඉන්නට . . .

නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග රැඳුණේ නිති මගෙ වරදට වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නව නම් තව කඳුළු කතා පවසන් නෑ
මේ කඳුළු මගේ දැන් දුක නෑ . . .
මගේ හීනයේ ළඟ ඉන්නට . . .

ගීපද – කසුන් ප්‍රිමාල්
සංගීතය - සඳරුවන් ජයසිංහ
වීඩියෝ - ලහිරු මුදලිගේ සහ හරී ක්‍රියේෂන්ස්

* උදය කාලෙකට පස්සේ . . .?

ඔව් . . . පසුගිය කාලේ නිර්මාණ කටයුතු නිසා තරමක් කාර්යය බහුල වුණා. ජූලි මාසේ මැද වෙද්දී ගීත කිහිපයක් නිම කරන්නට හැකි වුණා. ඒ අතරින් මුලින්ම මගේ රසිකයන් වෙනුවෙන් එළිදැක්වූයේ මගේ හීනයේ කියන ගීතය. ඉතාමත් සාර්ථකව මෙම ගීතයට උණුසුම් ප්‍රතිචාර ලැබුණා.

මේ ගීතය සංගීතවත් කළේ සඳරුවන් ජයසිංහ. පද කසුන් ප්‍රිමාල්. මෙහි රූප රචනා කළේ හරි ක්‍රියේෂන් ආයතනයේ ළහිරු මුදලිගේ. අපිඔක්කොම එකතු වෙලා නිර්මාණය කළ මේ ගීතය ඉතාමත් ඉක්මනින් රසිකයෝ අතරට ගියා.

* උදය කොහොමද තනියෙන් යන ගමන?

ඉතාමත් හොඳයි. මම නිතරම රසිකයන් පිනවන්ට අලුත් දෙයක් කරන්න වෙහෙසෙන කෙනෙක්. ඉතිං මේ ගමන තුළ මට හොඳ වටපිටාවක් සැකසී තියෙනවා.

* කලක් සංදර්ශන වේදිකාවේ දකින්න ලැබුණෙ නැහැ.

ඔව් . . . විවේකීව නිර්මාණ සඳහා කැප වූ නිසා සංදර්ශන සඳහා සහභාගි වුණේම නැහැ. නමුත් දැන් සුපුරුදු පරිදි තනිවම සංදර්ශන සඳහා සහභාගි වෙනවා.

* ගීත කිහිපය හදන්න බොහෝ කලක් ගත වුණා නේද?

ඔව් . . . නිර්මාණ අතරේ අපි ස්ටුඩියෝ එකක් හැදුවා. ඒ වගේම තවත් ව්‍යාපාර කිහිපයකට යොමු වුණා. තනි ගමනක් යද්දී තරමක් වෙනස් වැඩත් කළ යුතු නිසා ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සහගතව තමයි කටයුතු සූදානම් කළේ.

* අද වන විට බිහිවන බොහෝ ගායකයන් මෙන්ම ගායිකාවන් ප්‍රසංගවල සජීවීව ගී ගයන්නේ නැහැ නේද?

ඔව් . . . නමුත් මා හැකි සැම විටදීම සජීවම ගායනයට උත්සාහ දරනවා.

* උදය අද බිහිවෙන බොහෝ ගීත ඒකාකාරියි?

එහෙම තත්ත්වයක් දකින්න ලැබෙනවා. නමුත් මා උත්සාහ දරන්නේ ඊට බැහැර මාවතක යන්නටයි.

* ගීතයක් ජනප්‍රිය කරන්න මියුසික් වීඩියෝ අවශ්‍යමද?

හොඳ ගීතයක් ජනපි‍්‍රය වෙන්නට කිසිවක් බාහිර කාරණා අවශ්‍ය නැහැ. ඉස්සර අපේ ගීත ජනප්‍රියවීමට බලපෑවේ ඒ ගීතයේ ඇති අන්තර්ගතය. ඒත් අද තරගකාරිත්වය නිසා ක්‍රමය වෙනස්. ඒ ක්‍රමයට අනුව තමයි ගමන යා යුත්තේ.

* ඒ වගේම උදය අද හොඳ ගීතයක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ.

ඔව් . . . අද ගීතයක් නිර්මාණය කරලා ඒක මාර්කට් කර ගන්නත් දැනගන්න ඕනෑ. හරියට ඒ මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි.

* ගායනයට අමතරව මොනවද කරන්නේ උදය මේ දවස්වල.

‘වීඩියෝ හෙවන්’ තමයි අපේ ආයතනයේ නම.

වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ වගේම ගීත නිර්මාණ කටයුතුත් අපේ ආයතනයෙන් සිදු වෙනවා.

* ‘අපි’ කිව්වේ තවත් පිරිසක් සමඟ ඔබ මේ කටයුත්ත කරන්නේ?

අපි කියලා සඳහන් කළේ මගේ බිරිය වින්ද්‍යා. ඊට අමතරව තවත් දක්ෂයන් බොහෝ දෙනෙක් අපේ ආයතනය වටා ඉන්නවා.

* පවුල් ජීවිතේ ගලාගෙන යෑම?

ගඟක් වගේ ලස්සනට ගලාගෙන යනවා. ඇය තමයි මගේ ගමනේ මඟ පෙන්වන්නිය කිව්වොත් වරදක් නැහැ. බොහොම ආදරයෙන් සාමකාමීව අවබෝධයෙන් ජීවිතය ගත කරනවා.

* උදය ආයේ කණ්ඩායමකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

නැහැ . . . දැන් මං පටන් ගත්ත අලුත් ගමන ස්ථාවරයි. ඒ නිසා මේ යන විදිය හොඳයි කියලා හිතෙනවා.

* දැන් අඳින පළඳින විදිහත් වෙනස් . . .?

ඔව්, ගමන වෙනස් වුණාම සියල්ල වෙනස් විය යුතුයි. ඒ නිසා ඇඳුම පැළඳුම පවා තරමක් වෙනස් කළා.

* ගීත තැටියක් කවද විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

තවම ඒ ගැන හරියට කියන්න බැහැ. හදිසියේ දුවන්න මට උවමනා නැහැ. ඉතාමත් හෙමින් හොඳ දුර ගමනක් යනවා.

* උදයට කතා කරන්න බොහෝ දෙනා මග බලාගෙන ඉන්නවා.

ඔව්. මට මෙතරම් සවියක් වුණේ මගේ රසිකයෝ. ඔවුන්ට මම ස්තුති කළ යුතුයි. [email protected] විද්‍යුත් ලිපිනයෙන් වගේම 0771998117 අංකයෙනුත් මාව අමතන්න පුළුවන්.