වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කාජල්ගේ කඳුළු

කාජල්ගේ කඳුළු

කාජල් – අජේ බොලිවුඩයේ සමගි සම්පන්න යුග ජීවිතයක් ගත කරන කලා පවුල් අතරින් කැපී පෙනෙන යුවළක්. මේ ගැළපීමේ රහස කාජල් අඬන විට අජේ අහක බලා ගැනීම ද? අපට එසේ සිතෙන්නේ මේ නිසයි.

කාජල් මෑතකදී නර්තන රියැලිටි වැඩ සටහනකට විනිසුරුවරියක ලෙස සහභාගි වුණා. වැඩ සටහන අතරවාරයේ ඇය කිසිදු හේතුවක් නැතුව හඬා වැටෙන්නට පටන් ගත්තා. අජේ කළේ පැමිණ ඇය සනසන්නේ නැතුව පාඩුවේ බලා සිටීමයි. එහෙත් කාජල්ගේ මව, තනූජා නම් ඇය තුරුලු කරගෙන සිත සැනසුවා.

අජේගෙන්, කාජල්ගේ හදිසි හිත් වේදනාවට හේතුව වැඩ සටහනේ අධ්‍යක්ෂ සතිෂ් දත් විමසුවා. අජේ පැවසුවේ කාජල්ගේ පියා, සිනමා අධ්‍යක්ෂ සෝමු මුඛර්ජි අප්‍රේල් දහ වැනිදා හෘදයාබාධයකින් මියයාම මේ හදිසි කඳුළු ගංගාවට හේතුව බවයි.

පියාගේ මරණයෙන් පසු කාජල් නිතරම කඳුළින් ජීවත්වෙන බව ඔහු කියා සිටියා. එවැනි අවස්ථාවක ඇයට තනිවම සිටීමට ඉඩදීම හොඳම දේ කියා අජේ සිතනවා. අජේගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘යූ මේ ඕර් හම්’ තිරගත කිරීමට පෙර දිනයේදීයි සොමු මියගොස් ඇත්තේ.

යාළුයි අපි යාළුයි

තමන් වඩාත් ආදරය කරන සුපිරි තරු යුග්මයකගේ නොමනාපයෙන් වඩාත්ම සිත රිදෙන්නේ රසිකයන්ගේයි. සල්මන් – ෂාරුක්, ඛාන් යුවළගේ නොමනාපයටත් රසික සිත්වල ඇත්තේ ඒ වාගේ අමනාපයක්.

එහෙත් අති සාර්ථක ලෙස තිරගත වන සල්මන්ගේ ‘ඒක් තා ටයිගර්’ සිනමාපටයේ ප්‍රවර්ධන වැඩ සටහනකදී ඔහු කියා සිටියේ ෂාරුක් සමඟ තමන් යළි මිතුරුවන්න කැමැතියි කියායි.

මේ මිතුරන්, පසමිතුරන් වූයේ 2003 වසරේ ඇරැඹුමත් සමඟයි. ඒ ෂාරුක් ‘චල්තේ චල්තේ’ සිනමාපටයත් සමඟ කාර්යබහුල වී සිටි කාලයක්. ඒ කාලයේදී සල්මන්ගේ පෙම්වතිය වුණේ ඓශ්වර්යා රායි. ඈෂ් වෙනුවට රාණි ගැනීම හබයට මුල පිරුවා. පසුව එයට මඟ පෑදුවේ ඈෂ් බව හෙළි වුණා. කොහොම වුණත් සල්මන් - ෂාරුක් මිතුදම ෆාරා ඛාන්ගේ, විවාහයට පෙර පවත්වන සාදයේදී ආයෙත් අලුත් වුණා.

නැවත මේ මිතු දමට කළු පැල්ලමක් එකතු වුණේ 2008 ජූලි මාසයේදීයි. එවිට සල්මන්ගේ පෙම්වතිය වී සිටියේ කත්‍රිනායි. කත්‍රිනාගේ උපන් දින සාදයේදී සල්මන්ගේ දෙපිට කැපෙන කතා නිසා ෂාරුක්ගේ ඉවසීම කෙළවර වුණා. දෙදෙනා අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවෙන් යළිත් මිත්‍රත්වය අවසන් වුණා.

‘දාබන්ග්’ සාර්ථක වීමෙන් පසු අමීර් සමඟ තිබෙන මිත්‍රත්වයේ සවිමත් බව ගැන සල්මන් ප්‍රකාශ කළේ ෂාරුක්ගේ සිත පෑරවීමටයි.

‘ෂාරුක් සමඟ මං කවදාවත් කතා කරන්නේ නෑ. අපි දෙදෙනා අතර පවතින අනවබෝධය අපව දුරස් කරනවා’ ඔහු වරක් පැවසුවේය.

මීට ෂාරුක් ද පිළිතුරක් දුන්නා. ‘මම හිතන්නෙ තාත්තා කෙනෙක් වගේ. සල්මන් හිතන්නෙ ළමයෙක් වගේ. අප දෙන්නා අතර සමානකම් අඩුයි. හිතන්නෙ වෙනස් ආකාරයකට, කතාබහ වෙනස්. හොඳ කාලයක් දෙන්නා එකතු වී ගතකර තිබෙනවා. කාලයත් සමඟ සියල්ල බොඳ වී ගියා. දැන් අප අපේ ලෝකවල සතුටින් ඉන්නවා. දෙන්නට යළි මිතුරු වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් වෙන්වීම ඊටත් හොඳයි. අප යාළුවන් නොවෙයි.’

කොහොම වුණත් සල්මන්, ෂාරුක්ට යළි මිතුදම අරඹන්න ආරාධනාවක් කරලා. ෂාරුක් සියලු අමනාපයන් අමතකකර යළි ඔහු සමඟ මිතුරු වේවිද? එසේ වේවා යන්න රසික පැතුමයි.

දෙන දෙවියෝ ගෙට පැන පැන දෙනවා

දෙන දෙවියෝ ගෙටම ගෙනැවිත් දෙනවා වාගේ ඔබරෝයි පවුලට එක සුබ ආරංචියක් මදිවාට ආරංචි දෙකක්. විවේක් ඔබරෝයි පිය පදවිය ලබන්නට යාම ප්‍රධානම සුබ ආරංචියයි.

විවේක්ගේ බිරිය දැන් මාස දෙකක ගැබිනියක්. මේ සුබ පණිවුඩය මුලින්ම රසිකයන්ට ගෙන ආවේ ඔවුන්ගේ පවුලේ හොඳම හිතවතකු වූ ශිල්පා ෂෙට්ටිගේ සැමියා, රාජ් කුන්ද්‍රායි. ‘මගේ සුබපැතුම් ප්‍රිය මිතුරාට සහ බිරිය ප්‍රියංකාට – ඉක්මනින් මාපිය පදවිය ලැබේවා!’ ඔහු ට්වීටර් වෙබ් අඩවිය හරහා සුබ පණිවුඩය බෙදා හැරියේය. ප්‍රියංකා අල්වාට දරුවා ලැබීමට නියමිත ලබන වසරේ පෙබරවාරි – මාර්තු අතර කාලයේදීයි. 2010 දී විවාහ වූ යුවළට මාපිය වරම් ලැබෙන්න යන්නේ 2013 දීයි.

විවේක්ගේ සොයුරිය මෙග්නා ද දැන් ගැබිනියක්. ඒ කියන්නේ ප්‍රවීණ නළු සුරේෂ් ඔබරෝයිට එකපාරටම දෙන්නෙකුට සීයා වෙන්න ලැබෙනවා.

කොහොම වුණත් විවේක්ට දැන්ම නම් ප්‍රියංකා වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදු වන්නේ නැහැ. ඒ ඔහු සිනමාපට කිහිපයකම රූගත කිරීම්වල යෙදී සිටින නිසයි. ඒ වාගේම තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකම ප්‍රවර්ධන කටයුතුවලටත් ඔහුට සහභාගි වෙන්නට සිදු වී තිබෙනවා.