වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -07

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -07

මෙරිල් ස්ට්‍රිප් සමඟත් සබඳතාවක්

සොන්ඩ්‍රාගෙන් ඈත් වූ ක්ලින්ට් හුදෙකලාව සිටියේ නම් ඒ ඉතාමත්ම කෙටි කලකට පමණි. ඔහුගේ ජීවිතය දෙස බලද්දී පැහැදිලිව පෙනෙන්නේ කාන්තාවක සම්බන්ධ කර නොගෙන ජීවත්වීමේ අසීරුවක් ඔහුට තිබූ බවයි.

කාන්තාවන් බොහොමයක් ඇසුරු කළ ඔහු ජීවිතයට සමීප කර ගත්තේ තම රසඥතාවන්ට ගැළපෙන කතුන් පමණක් බව ද පැහැදිලිවම පෙනී යන්නකි.

1988 අගෝස්තු - සැප්තැම්බර් වන විට ක්ලින්ට් ‘පින්ක් කැඩිලැක්’ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතුවල නියැළෙමින් සිටියේය. 1989 දී ප්‍රදර්ශනය වූ එය ක්ලින්ට් ගේ අධ්‍යක්ෂණයක් නොවේ. වෝනර් සමාගමේ නිපැයුමක් වූ එහි අධ්‍යක්ෂවරයා වුූයේ බඩි වැන් හෝන්ය.

1988 ඔක්තෝබර් 2 දා සන්ධ්‍යාවේ හයට පමණ පූර්ව නිෂ්පාදන කටයුතුවල නියැළෙමින් සිටි ක්ලින්ට් ඇතුළු ‘පින්ක් කැඩිලැක්’ චිත්‍රපටයේ කණ්ඩායම සිටියේ නෙවාඩා ප්‍රාන්තයේ රෙනෝ හි ‘හොලිිඩේ ඉන්’ හෝටලයේ පිහිනුම් තටාකය ආසන්නයේය. කොට කලිසමකින් සැරසුණ බ්‍රිතාන්‍ය අමෙරිකානු නිළියක වූ ෆ‍්‍රාන්සෙස් ෆිෂර් එහි පිවිසියාය. පින්ක් කැඩිලැක් හි උප ප්‍රධාන චරිතයක් සඳහා ෆිෂර්ව තෝරා ගෙන තිබූ අතර එහිදී ඇයට ක්ලින්ට්ව හඳුන්වා දෙනු ලැබිණි. ඒ ‘දන්නවනෙ මේ හොලිවුඩ් සිනමාවේ දැඩි නළුවා ක්ලින්ට් ඊස්ට්වුඩ්’ යනුවෙන් හඳුන්වා දෙමිනි.

ෆ‍්‍රාන්සෙස් ෆිෂර්ට ඊට පෙර ක්ලින්ට් හමු වී තිබුණේ නැත. එමෙන්ම ඇය ඔහු රඟපෑ චිත්‍රපට අතරින් නරඹා තිබුණේ චිත්‍රපට දෙක තුනක් පමණි. ආකර්ෂණීය පෙනුමක් සහිත ඔහු දුටු ෆිෂර්ට මුලින්ම සිතී තිබුණේ හඳුන්වා දුන් ආකාරය මෙන් ඔහු රළු පුද්ගලයකු නොවන බවය. කාන්තාවක මෝහනයට පත් වන ආකාරයට කතා බහ කිරීමේ කලාව ක්ලින්ට් හොඳින් ප්‍රගුණ කර තිබිණි.

වේදිකා නාට්‍ය, රූපවාහිනී හා සිනමා නිළියක වූ ෆ්‍රාන්සෙස් ෆිෂර් එතරම් ජනප්‍රිය නිළියක නොවූ අතර ඒ වන විට ඇය 36 හැවිරිදිව සිටියාය. කෙසේ වෙතත් ක්ලින්ට් හමු වූ මුල් අවස්ථාවේම ඇගේ හදවතේ යම් පෙරළියක් සිදු වෙමින් තිබිණි.

‘ඒක පළමු හමුවේදීම ඇති වූ ආදරයක් ද කියන්න මම දන්නේ නැහැ. ඒත් මට ඔහු ගැළපෙන බවත්, කලක සිට දැන හඳුනාගෙන සිටි බවත් දැනෙන්නට වූවා. ඒකට ප්‍රධානතම හේතුව ඔහු ඉතා විවෘතව කතාබහ කිරීමයි. සමහර විට ඔහු සෑම කාන්තාවක සමඟම කතා කළේ ඒ විදියට වෙන්නැති. නමුත් එවලේ මට දැනුණේ ඔහු මා කෙරේ විශේෂ සැලකිල්ලක් දක්වන බවක්’ ෆ‍්‍රාන්සෙස් පසු කලෙක පැවසුවාය.

තමා ඊට පෙර රෙනෝ ප්‍රදේශයට පැමිණ නැති බවත් පළාතේ සොබා සෞන්දර්යය නැරඹීමට කැමති බවත් ෆ‍්‍රාන්සෙස් ක්ලින්ට් හට පැවසුවාය. පළමු හමුවෙන් පැය කිහිපයකට පසු ඔහු ඇගේ කාමරයට ගියේ ඒ අනුවය. ඔවුහු එකට රාත්‍රී ආහාර ගත්හ. ඊළඟට මියුරු සංගීත රාවයන්ට අනුව නර්තනයේ යෙදුණාහ. එයින් පසු ආදරයෙන් බැඳුණාහ. ඇගේ රඟපෑම් කටයුතු සතියක කාලයකට සීමා වී තිබූ බව සැබැවි. එහෙත් පින්ක් කැඩිලැක් චිත්‍රපටයේ රූගත කිරීම්වලින් පසුව ද ඔවුහු හමු වූහ.

‘මගේ ඉතිරි මුළු ජීවිත කාලයම ඔයා එක්ක ගත වේවි’ ෆ‍්‍රාන්සෙස් ක්ලින්ට් හට පැවසුවාය. ‘මගේ ගැන හැම දෙයක්ම මම ඔයාට කියන්නම්. ඔයාගේ ජීවිතයේ හැම දෙයක්මත් ඔයා මට කියන්නෝනෙ’.

එය නොකළ යුතු ඉල්ලීමක් බව ෆ‍්‍රාන්සෙස් වටහා ගෙන සිටියේ නැත. ක්ලින්ට් කිසි විටෙක සිය සම්පූර්ණ ජීවිතයේ රහස් කිසිවකුට හෙළි කරන්නට නැත.

කෙසේ වුව ඔවුහු දිගින් දිගටම ඇසුරු කළහ. නමුත් ක්ලින්ට් සොන්ඩ්‍රාට තම නිවෙසේ ලැගුම් දී තිබුණත්, කිසි විටෙක ෆ‍්‍රාන්සෙස් තමන්ගේ නිවෙසට කැඳවා ගත්තේ නැත. තමා ඇය හා ඇසුරු කරන්නේ කෙටි කලකට පමණක් බව ඔහු මුල පටන්ම දැන සිටියේද?

1993 දී ෆ‍්‍රාන්සෙස් ෆිෂර් 62 හැවිරිදි ක්ලින්ට් ඊස්ට්වුඩ් හට දියණියක තිළිණ කළාය. බිලිඳියට ෆ‍්‍රැන්සෙස්කා යන නම තැබිණි. ඊට පෙර වසරේ ප්‍රදර්ශනය වූ, ක්ලින්ට් හොඳම අධ්‍යක්ෂ ලෙස ඇකඩමි සම්මානයෙන් ද පුද ලද ‘අන්ෆොගිවන් චිත්‍රපටයේ රඟපෑමට ද ෆ‍්‍රාන්සෙස්ට අවකාශ ලැබී තිබිණි. නමුත් ක්ලින්ට් සිය ඊළඟ සිනමා නිර්මාණය වූ ‘ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි’ හි රඟපෑමේ අවස්ථාවක් ඇයට ලබා දුන්නේ නැත.

එහි ප්‍රධාන චරිතයට ඔහු තෝරා ගෙන සිටියේ සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රීප්ය. කට කතා ඇති වී තිබුණේ චිත්‍රපටය රූගත කළ කාලයේ ක්ලින්ට් හා මෙරිල් අතර ලිංගික සබඳතා පැවැති බවය.

ෆ‍්‍රාන්සෙස් ‘ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි’ හි සුළු චරිතයක් හෝ දෙන්නැයි ක්ලින්ට්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් ඇයට ගැළපෙන චරිතයක් නැතැයි පවසමින් ඔහු ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව මෙරිල් ස්ට්‍රීප් චිත්‍රපටයේ පසුතලවල සිටියදී ඒවා ආසන්නයටවත් පැමිණෙන්නට ක්ලින්ට් ඇයට අවසර දී තිබුණේ නැත.

සමහර අය පවසන්නේ ක්ලින්ට් හට ෆ‍්‍රාන්සෙස් ෆිෂර් එපා වන්නට හේතු තිබූ බවය. එක් ප්‍රබල හේතුවක් වී තිබුණේ අවසරයකින් තොරව ක්ලින්ට් ගේ ණයවර පත (CREDIT CARD) ෆ‍්‍රාන්සෙස් දෙවතාවක්ම පාවිච්චි කර තිබීමයි.

වරක් ඇය ටෙක්සාස් සිට ලොස් ඇන්ජලිස් වෙත පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයකට ගෙවා තිබුණේ ක්ලින්ට්ගේ ණයවර පතිනි. ඊට මඳ කලකට පසු ඇය කාන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සහභාගි වූයේ ක්ලින්ට් සමඟිනි.

ආපසු අමෙරිකාවට එන අතරතුර පැරීසියේදී ඇය ඩොලර් දස දහසක් වටිනා භාණ්ඩ මිලට ගෙන තිබුණේ ද ක්ලින්ට්ගේ ණයවර පත භාවිත කරමිනි.ඇය ක්ලින්ට්ගේ ණයවර පතේ ගිණුමට තමන් ගත් මුදල් බැර කළ බව සැබෑවකි.

එහෙත් නිවෙසට පැමිණ ණයවර පතට අදාළ ගිණුම් ප්‍රකාශය බැලූ ඔහු ෆ‍්‍රාන්සෙස් ණයවර පත භාවිත කොට ඇති බව වටහා ගත්තේය. එය ක්ලින්ට් සැලකුවේ තම ජීවිත අභ්‍යන්තරයට අනවශ්‍ය ලෙස ප්‍රවිශ්ඨ වීමක් ලෙසය. සමහර විට ඔහු ෆ‍්‍රාන්සෙස්ගෙන් ඈත් වන්නට හේතු සොයමින් සිටියා වන්නට ද පුළුවන.

අතීතයේ තම පෙම්වතියන්ගෙන් ඈත් වන්නට භාවිත කළ උපක්‍රමයන්ම භාවිත කරමින් ඔහු ෆ‍්‍රාන්සෙස් ෆිෂර්ගෙන් ඈත් වූයේය. පියකු සතු යුතුකම් තමා කිසි විටෙක අමතක නොකරන බව ලෝකයට පෙන්වන්නට මෙන් ඔහු දියණිය ෆ්‍රැන්සෙස්කා හදා වඩා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ෆ‍්‍රාන්සෙස් වෙත ලබා දුන්නේය.

අවසාන කොටස

ලබන සතියේ