වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට චීන්නු බලන්නද?

සිංහල චිත්‍රපට චීන්නු බලන්නද?

දොස්තර වසන්ත දිසානායක මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුකයෙක් නෙවෙයි. ඔහු පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මෙන්ම හොඳ රසවතෙක්.

පුංචි පහේ මං, මයින්ඩ් ස්ටාර් වැනි වැඩසටහන් තුළින් ඉහළම ජනප්‍රිත්වයක් ලබා ගත් ඔහු ප්‍රෙක්ෂකයන්ට කවදාවත් අමතක නොවන චරිතයක්.

මේ කතාවත් ඒ් වගේ එකක්. මේ ළඟදී ඔබ ද ලක්ෂපති, මම ද ලක්ෂපති වැඩ සටහනටත් ඔහු සහභාගී වුණා.

එකින් එක ප්‍රශ්නවලට උත්තර දෙන අයුරු ඉතාම රසවත් ආකාරයට සිදු වුණා. මේ අතරතුරදී සිංහල සිනමාවේ තිරගත වූ චිත්‍රපටයක ගීතයක් ගැන නිවේදක චන්දන සූරියබණ්ඩාර වෛද්‍යවරයාගෙන් විමසුවා. වෛද්‍ය වසන්ත ඒ සඳහා නිවැරැදි පිළිතුර ලබා දුන්නා. අනතුරුව චන්දන ඇසුවේ ඔබ සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපට බලනවාද? කියායි.

වෛද්‍ය වසන්ත ගත් කටටම කීවේ ‘සිංහල චිත්‍රපට අපි බලන්නේ නැතුව චීන්නු බලන්න යැයි’ කියායි.

නිරතුරුවම උපහාසය මවන මෙවැනි පිළිතුරුවලට ප්‍රසිද්ධ වෛද්‍ය වසන්තගේ කතාවෙන් මුළු සභාවම සිනහවෙන් පිරුණා.


ඩොනල්ඩ් නිතරම පහන ළඟ

ඩොනල්ඩ් ජයන්ත අපේ සිනමාවට නැතුවම බැරි සහාය අධ්‍යක්ෂවරයෙක්. දැන් තිරගත වන ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙත් සහාය අධ්‍යක්ෂකවරයා ඔහුයි.

පසුගිය බ්‍රහස්පතින්දා සුපර් සික්ස් තිරගත වීම සුබ මොහොතින් ඇරැඹුණා. නියමිත සුබ මුහුර්තියට පොල් තෙල් පහන දල්වන අවස්ථාවේදී ඩොනල්ඩ් ජයන්ත පොල් තෙල් පහන ළඟින් ඉවත් වන්නෙම නැහැ. බැරිම තැන රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙක් ඩොනල්ඩ්ට කීවේ ‘අයියෙ පොඩ්ඩක් ඉඩ දෙනවද?’ යනුවෙන්. ඒත් ඩොනල්ඩ් ප්‍රසන්න සිනාවක් මුවඟට නගා ගෙනම සිටි තැනම සිටියා.

පසුව සොයා බලන විට තේරුණේ මාධ්‍යවලට තමන්ගේ රූපය යවා ගැනීමට පොල් තෙල් පහන ළඟටම වී සිටි බවයි. මේ ගැන අහන කොට ඩොනල්ඩ් කියන්නේ වෙන කතාවක්.