වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

විජය කුවේණි හොඳය

විජය කුවේණී මෑත භාගයේ තිරයට ආ අතීත පුවත් ඇසුරෙන් තැනුණ හොඳම සිනමා සිත්තමයි. එය නිර්මාණය කළේ කලකට ඉහත වියරු මිනිසා නම් කසිකබල් චිත්‍රපටය නිර්මාණය කළ සුගත් සමරකෝන් දැයි සිතා ගත නොහැකි තරම්ය. එහි රඟපෑ රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා ඇතුළු සෑම නළු නිළියකගේම රඟපෑම විශිෂ්ටය.

සුපුන් චන්දන අබේසිංහ - බෝකුන්දර, පිළියන්දල.

සුජාතා සතුටුයි

සුජාතා අත්තනායකට

වසර විස්සකට අධික කාලයක් අප නොඇසුණ අපේ ආදරණීය ඔබේ ගී හඩ යළි කලඑළියට පැමිණීම සතුටක්.

සුනිල් එම්. අභයරත්න - කොටහේන.

රජය ගත් තීරණය කාලෝචිතයි

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ යෝජනාව පරිදි රජය මෙගා නාට්‍යන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය අගය කරමි.

එය බෙහවින් කාලෝචිතය. කතා පිටපත රැඟුම් පාලක මණ්ඩලය තුළින් අනුමත වීමත් ඒවා කොටස් සියයකට සීමා කිරීමත් මඟින් හොඳ කතාවක් තුළින් බුද්ධියට නිගා නොකරන අනාගත පරපුර වෙනුවෙන් හොඳ නිර්මාණ බිහිවීමට හැකි වේ යැයි සිතමි.

මෙයින් නාට්‍ය සේවයේ නියුතු බොහෝ කලාකරුවනට ද සෙතක් වනවාට සැක නැත.

මාතලේ

ධර්මා ඒකනායක

ධනංජය – නදීෂා කදිමයි

ස්වර්ණවාහිනියේ ආදරියේ ටෙලි සිතුවමේ නිර්මාල් සහ අප්සාරි යන චරිත රඟන ධනංජය සිරිවර්ධනගේ සහ නදීශා හේමමාලීගේ නිරූපණයන් අති සාර්ථකයි. ඔබ දෙපොළ මනාව පුංචි තිරයට ගැළපෙන පෙම්වතුන් යුවළකි.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර

සොමී අගෙයි

සොමී රත්නායක දිගු නිහැඬියවකට පසු පරාවර්ථනය සිනමාපටය හරහා තම සහජ, ජවසම්පන්න කුසලතාවයන් ආයෙත් සිනමා තිරයේ විකසිත කරන්නට සැරැසීම අගෙයි. ඔබ මේ දක්වා රඟපා ඇති චිත්‍රපට කිහිපය එකිනෙකට වෙනස් ආරවල්වලින් යුක්ත වීම මා දකින විශේෂත්වයකි.

තවත් සිනමා නිර්මාණ තුළින් අප හමුවන්න.

මිල්ටන් ප්‍රනාන්දු - මිනෙරෝ, උතුරු මූදුකටුව

රවීන්ද්‍ර රිදී තිරයේ ඕනෑ

ශ්‍රී ලකාවේ ජනප්‍රිය දක්ෂ සිනමාකරුවකු වූ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය නළුවාණෙනි.

මෑතකාලීනව ඔබ රූපවාහිනියට වැඩිපුර නැඹුරු වූ වගක් පෙනේ. එහෙත් අපට අවශ්‍ය රවීන්ද්‍ර රන්දෙණිය නම් චිත්‍රපට නළුවාය.

කෑගල්ල - තිලකරත්න විල්වල

විමලවීර වීරයෙක්

සිංහල චිත්‍රපට ගණනාවක් අපට දායාද කළ ඔහු ඉන් සිංහල සිනමාවට දුන් පන්නරය අති විශාලයි. තමන්ගේ රථයේ ඉදිරි ලාම්පු දෙකෙන් ඇතැම් චිත්‍රපටලට විදුලි ආලෝකය ගෙන ඒවා සැකසූ හෙතෙම සැබවින්ම දක්ෂයෙකි. එවන් හපන්කම් කළ සිරිසේන විමලවීරයාණෙනි, ඔබ සදා අමරණීයයි.

කපුගොඩ, මාළිඳ

සරසවි නිවසේ සරත් රණසිංහ

සුනිල් එදිරිසිංහට

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වුණ, රුදුරු තුරු වදුලේ අසිරිය දැක, නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ අහස පොළව වටපිටාවේ හිස් බව ගැන, අසරුවන් පිට නැග යන මිනිසුන්ට, කලේ ඇති පැන් නැවුම් රස නැති බව, ලෙන්චිනා මගේ නංගියාට නරක මිතුරන් හමු නොවනා ලෙස මල්ලියාට, සඳකඩ පහණක ඔප කළ කැටයම් වැනි, සුමියුරු නදින් ගී ගෙත්තම් කළ සුනිල් එදිරිසිංහ නම් වූ අපේ කාලයේ ගායන විරුවාණෙනි, ඔබට දීර්ඝායු වේවා.
 

දූනගහ බටහිර අධිකාරි මුල්ලේ

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

මිල්ටන්ට මල් මිටක්

මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාට උපහාරයක් වේවා.

පැතුම් දනව්වේ ඔබගේ ගී හඬ පාව එයි නිසංසලේ. සෙනෙහස් ගඟුල කළඹවා ගැයු ගී මතකයට පැමිණෙයි සැම වෙලේ. සීත අරණේ අප තනි වෙලා ඔබ එන තෙක් බලා හිඳියි. රිදී තිරය ඔබේ රන් හඬින් හැඩ වුණා මතකයි.

අද ඔබ නැතුව රිදි තිරය පාළුයි. ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරක, පෙර එක දවසක සඳ නැති සවසක, උපුල් නුවන් විදහා සිනාසී, මධු මල රන් ස්වරයෙන් ඔපවත් කරන්නට එදා රෑ නික්ම ගිය නුඹ යළි අප අතරට එනවා නම් . . .
 

ලාලනි රේණුකා වික්‍රමසිංහ - කුරුණෑගල.

ආත්මා ලස්සනයි

ආත්මා ලියනගේ ගේ අලුත්ම ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’ කෙතරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ තරමටම රසයෙන් අනූනයි.

ශාන්ති බංදුනාථ

මහනුවර.


S.M.S.

ඔබ කෙටි පණිවුඩ මඟින් එවූ ප්‍රතිචාරයි මේ.

සුරේන්ද්‍ර පෙරේරාට තියෙන්නේ පුදුම ලස්සන කට හඬක්. හැබැයි ඔබ ඉදිරියට යා යුත්තේ ස්ව නිර්මාණවලින් කියලයි මට හිතෙන්නේ.

ශානි- කිරිබත්ගොඩ.

ශලනි තාරකා රඟපාන සෑම නාට්‍යයක්ම ලස්සනයි. සිරස කුමරිය වූ ඔබ පුංචි තිරයේ සුරූපිනිය යැයි කිව හැකියි.

ශකිලා නිමන්ති

පිළියන්දල.

සඳුදා සිට සෙනසුරාදා දක්වා දහවල් 1 – 4 තෙක් සිරස ගුවන් විදුලිය ඔස්සේ ආදරයේ අරුත කියා දෙන ආදර කතාව ‘ආදරේ හිත පිරෙන තරම්’ සමඟින් අප ආලින්දය සරසන සමන් එදිරිමුණි අතින් පන ලැබූ අනුහස්, සෙනුරි, විශල්, පූජා, ජනක, කුමා, දිල්කි වැනි චරිත බොහොම අපූරුයි.

ටී. එම්. සී. ලසන්ති - බදුල්ල.

දෙරණ නාලිකාවේ හිරු දහසක් යට ටෙලි සිතුවම අපි හැමදාම බලනවා. ඒක මෙගා වුණත් බලන්න ආස හිතෙන ඩ්‍රාමා එකක්.

අම්පාරේ නිර්මලා, කවුෂි කුමාරි

දූවරු නාට්‍යයේ දක්ෂතම නිළිය වන්නේ වත්සලා දියලගොඩ යැයි මාගේ හැඟීම.

චමින්ද -වත්තල.

සුවිනීතා වීරසිංහට,

සුදු සඳේ කළුවලා දුරලමින් සමාජයේ අපි ඔක්කොම සමානව සලකා, දෙලොවක් අතර තනි නොවූ ඈ අනුපමා සමඟ මලට නොඑන බඹරුන් සොයා නොගොස් සති පූජාවක යෙදුනාය. ජනේලයෙන් පැන, සිකුරුලියා සහ හුළවාලි හමු වූ නමුදු වැලිකතරක අතරමං නොවුණාය. ඈ රජ්ජුමාලාවක් සේ ඉර හඳ යට වැජඹුණාය.

කුමුදික - බිබිලේ.

චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යක්, ගීතයක්, වැඩ සටහනක් හෝ මේවාට සබැඳී කලාකරුවන් පිළිබඳ ඔබට දැණෙන දේ ලියන්න ප්‍රතිචාර තීරයට.

එසේත් නැතිනම් 0757413731 යන දුරකතන අංකයට

ක්ෂණිකව එස්. එම්. එස්. කරන්න.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය

ප්‍රතිචාර පිටුවට ලියන අප පාඨකයන් වෙනුවෙන් නිබඳව විවෘතව පවතී.