වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




“ලස්සන කොල්ලෙක් ඇවිත් ඉන්නවා, විජය කියල”

“ලස්සන කොල්ලෙක් ඇවිත් ඉන්නවා, විජය කියල”

50 ස්වර්ණ ජයන්තිය අබිමුව

එදා සරසවිය හැඩ කළ ඡායාරූප ශිල්පී රෙජී බුලත්සිංහල

රෙජී බුලත්සිංහල
එදා

පසුගිය සතියේ ඉතිරි කොටස

මම මාලිනීට ගෙදර කළයක් තිබේ නම් අරන් එන ලෙස කීමි. ඈ ගේ තුළට දුව ගොස් අලුත්ම කළයක් රැගෙන ආවාය. මිදුලේ ඒ වන විට ඇගේ උසට වැඩී වලු බර වී තිබූ තැඹිලි ගසක් අසල මාලිනීව සිටවා ඇය කළය උකුළේ තබා සිටින ආකාරයේ පින්තූර කීපයක් ගත්තෙමි.

සියලු පින්තූරත් රැගෙන මම සරසවියට පැමිණ විමලසිරි පෙරේරාට පින්තූර ටික බාර කළෙමි. ඒ අවධියේ නවයුගය පුවත්පත ද සකසන ලද්දේ විමලසිරි පෙරේරා මහතාගේ අධීක්ෂණයෙනි. මාලිනීගේ පින්තූර ගේන්නට කලින් නවයුගය කවරය සරසන්නට තෝරා ගෙන තිබුණේ ස්වර්ණා කහවිටගේ පින්තූරයකි. මා ගත් මාලිනීගේ පින්තූර දුටු විමලසිරි පෙරේරා ස්වර්ණා කහවිටගේ පින්තූරය සරසවිය පත්තරයේ කවරයට යොදා මාලිනීගේ පින්තූරය නවයුගය කවරයට දැමීමට තෝරා ගත්තේය. ඒ සතියේ මාලිනීගේ පින්තූරයකින් හැඩ වී නවයුගය නිකුත් විය. පසුදාම ජෝ අබේවික්‍රම, සුගතදාස මාරසිංහ සරසවියට ආවේ මේ කෙල්ල කොහෙද ඉන්නේ යනුවෙන් හොයා ගෙනය. ඒ ඇවිත් මගෙන් හා විමලසිරි පෙරේරාගෙන් තොරතුරු අරගෙන ජෝ මාලිනී සොයා ගියේය. ඒ මාලිනී ෆොන්සේකාගේ රංගනයේ තිඹිරි ගෙයි දොර විවර වීම විය.

ගාමිණී ෆොන්සේකා අනෙකුත් නළුවන් අතුරින් සුවිශේෂ ගති පැවතුම්වලින් යුතු විය. ගාමිණීිගේ වැඩවල වෙලාවක් කලාවක් තිබුණි. ඔහුට එනවා කිව්වොත් එදිනට යා යුතුය. ඒ ඔහු දෙන වෙලාවටය. ඒ දෙන වෙලාවට මොහොතක් හෝ ප්‍රමාද වුවහොත් ඔහුට කේන්ති යයි. එහෙම නැත්නම් එන්න කිව්ව වැඩේ නොකර අපිට ආපසු යාමට සිදුවේ. මට ද මේ අකරතැබ්බවලට කීප දිනක්ම මුහුණ දීමට සිදු විය. පින්තූර ටිකක් ගැනීමට දිනයක් වෙලාවක් වෙන් කර දෙයි.

මා හට ඒ දෙන වෙලාවට යාමට නොහැකි වන අවස්ථාවලදී ගාමිණී අපේ පැමිණීමත් සමඟ කතාවට ඈදා ගනී. ඔය අතරේ කෑම බීමෙන් ද සංග්‍රහ කරයි. ඒත් පින්තූර ගැනීම ගැන කතාවක් නැත. එයට මාතෘකා නොවන තැන අප පින්තූර ටිකක් ගමු නේද කියූ විට දැන් එයට වෙලාවක් නෑ. තමුසෙලාට එන්න කිව්වෙ අහවල් වෙලාවට, ඒත් ආවේ කීයටද? වෙන දවසක බලමු අයිෂෙ. මේ ගාමිණීගේ කීමය. ඒ අදහස ඔහු කවදාවත් වෙනස් කළේ ද නැත. මමත්, බන්දුත් ගාමිණීගේ පින්තූර ගන්න ගිහින් ආපසු හැරී ආ අවස්ථා බොහොමයකි. ගාමිණීගේ පින්තූර ගන්නදාට වෙලාවටත් කලින් ගෙදර ළඟට ගිහින් හිඳීමට පසුව අපි පුරුදු වීමු. එය අපි යන වැඩේ කර ගැනීමටත්, ගාමිණීගෙන් බැනුම් ඇසීම නතර කර ගැනීමටත් ලොකු උපකාරයක් විය.

රෙජී බුලත්සිංහල
අද

දවසක් මට ටෝනි රණසිංහයන් කතා කළේය. රෙජී ලස්සන කොල්ලෙක් ඇවිත් ඉන්නවා, විජය කියල තමයි නම. හන්තානේ කතාව චිත්‍රපටයේ රූපගත කිරීම්වලදී බලා ගන්න පුළුවන්. පින්තූර ටිකකුත් ගන්න පුළුවන්. ඒ ආරංචියට මම හන්තානෙට ගියෙමි. චිත්‍රපටයේ රූපගත කිරීම්වල සිටි විජය මට මුණ ගැසුණෙමි. ඔහුගේ ගෙවල් සීදුවේ බව දැනගන්නට ලැබිණි. එතැන් පටන් විජයගේ රුවින් බොහෝ විට සරසවිය පිටු විචිත්‍රවත් විය. ෆිල්ම් ෆෙයාර් සඟරාවේ සංස්කාරකවරයාව සිටි බී. කේ. කරංජියාගේ බිරිය වූ කරංජියා මහත්මිය ලංකාවට පැමිණියේ සරසවිය සම්මාන උළෙලක් සඳහාය.

ඊට පෙර මා දෛවයෝගය චිත්‍රපටය රූපගත කිරීම් සඳහා ද ඉන්දියාවට ගිය අවස්ථාවේදී මුලින්ම කරංජියා යුවළ මම හමු වීමි. ලංකාවට පැමිණි කරංජියා මහත්මිය මට ප්‍රිය සාදයකදී හමු වීමී. එහිදී ඈ සමඟ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කැමරා ශිල්පියකු වූ ජෙරාඩ් චවුඩා ද පැමිණ සිටියේය. මා හා කතා කළ කරංජියා මහත්මිය චවුඩාට මා හඳුන්වා දුන්නේ ‘රියල් ෆෝකස් මෑන්’ කියාය. කරංජියා මහත්මිය චවුඩාව ගෙනත් තිබුණේ මා පින්තූර ගන්නා හැටි පෙන්වීමට බව ද කරංජියා මහත්මිය ඒ අවස්ථාවේ මා හා පවසා සිටියාය. කරංජියා මහත්මියගේ ඒ කතාව යම් ආකාරයක මා තුළ සියුම් ආඩම්බරයක් ඇති කළ සිද්ධියක් විය.

චිත්‍රපට රූගත කිරීමක්, ඡායාරූප ගත කිරීමට ගොස් මගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට තව පොඩ්ඩෙන් සිදු වෙන අවස්ථාවන්ට ද මම මුහුණ දුන්නෙමි. ගොපලු හඬ චිත්‍රපටය දඹුල්ලේ දේවහූව ප්‍රදේශයේ රූපගත කෙරිණි. සෙල්වරත්නම් කැමරාව මෙහෙය විය. යෝගරාජා සහාය කැමරා ශිල්පියාය. 83 දී මිය ගිය වෙන්කට් එහි අධ්‍යක්ෂවරයාය.

දේවහූව වැවේ මගෙ නාමලී බැඳි ආදරේ ගීතය රූපගත කිරීම සඳහා සූදානම් විය. ජීවරාණි එක් ඔරුවක විය. කැමරාව සමඟ අපි දාහත් දෙනකු තවත් ඔරුවක නැඟී සිටියෙමු. දැන් සියල්ල රූපගත කිරීම් සඳහා සූදානම්ය. මා ද දාහත් දෙනාගේ කණ්ඩායමේ ඔරුවේ නැඟී පින්තූර ගැනීමට සූදානම් වී සිටියෙමි. එකවර චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ. වෙන්කට්ගෙන් ජීවරාණිට රංගනය සඳහා විධාන ලැබිණි. කැමරා රෙඩි ඇක්ෂන් කිව්වා පමණි. අධ්‍යක්ෂවරයා සිටි ස්ථානයෙන් නැගිටීමත් සමඟ අපි සිටි ඔරුව අනිත් පසට පෙරළිනි. දාහත් දෙනාම වතුෙර්ය. කැමරාව කරේ තබා ගත් සහාය කැමරා ශිල්පී යෝගරාජා වතුරේ ගිලෙමින් කෑ මොර දෙයි.

විජය- ජෝ

අනිත් සියලු දෙනාම වතුරේ ගිලෙමින් යළිත් උඩට එයි. ඔය අතරේ සමහරු අසල තිබූ ජීවරාණි සිටි ඔරුවේ එල්ලිලාය. ඒ අතරේ ජීවරාණි ඒ ඔරුවත් සියලු දෙනාගේ එල්ලීමට පෙරළෙයි කියා මහ හයියෙන් කෑ ගසයි. මාව ද කීප වරක් දියේ ගිලී යළිත් උඩ ආවේය. මා හට හොඳට පිහිනීමේ හැකියාවක් තිබිණි. මා ඉන් පසු කළේ මුලින්ම ගිලෙමින් සිටි අය ඇදගෙන විත් ගොඩට දැමීමයි.

ඉන් පසු ජීවරාණි සිටි ඔරුවේ එල්ලී සිටි අය ද එකිනෙකා ගොඩට ගෙනාවේය. අවසානයේ ජීවරාණි සිටි ඔරුව ද මා ගොඩට තල්ලු කළේය. මේ කටයුත්ත අවසන් වන විට මා ද මහත් වෙහෙසකට පත් වී සිටියෙමි. එදා මගේ ජීවිතය වගේම අනික් අයගේ ජීවිතයන් ද බේරා ගැනීමට හැකි වූයේ දෛවයේ තිබූ පෙර පිනකට කියලයි මම හිතන්නේ. මේ සිද්ධිය මා කොළඹට ඒමටත් පෙර සරසවියට ආරංචි වී තිබුණි. පසුවදා මා පින්තූර ටිකත් රැගෙන සරසවියට ආවෙමි.

පින්තූර ටික විමලසිරි පෙරේරා අත තබත්ම ඔහු කිව්වේ රෙජී අපි පෙට්ටියක් ලෑස්ති කරලයි තිබුණේ ලැබුණු ආරංචියට. බලපුවහම ඒ ආරංචිය බොරුනෙ කියල.

මා සරසවියේ සිටින වකවානුවේ දින කීපයක් පුරා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවක් නිසා ගංවතුරක් ඇති විය. මෙයින් අනාථ වූ පිරිස් වෙත ආධාර කිරිම සඳහා පෞද්ගලික ආයතනයන්ද රජයට සහාය සඳහා ඉදිරිපත් විය. ඒ අතර ලේක්හවුස් ආයතනය ද විය.

ලේක්හවුස් ආයතනය සංවිධානය කළ ගංවතුර ආධාර එකතු කිරීමේ වැඩ පිළිවෙල සඳහා සරසවිය පුවත්පතේ අනුග්‍රහය ලබා ගත්තේය. සරසවිය හරහා නළු නිළියන් එකතු කොට ඔවුන් සමඟ ගංවතුර ආධාර එකතු කිරීම ඇරැඹිණි. කොළඹ නගරයේ නළු නිළියන් සමඟ යමින් මුදල් ආධාර එකතු කිරීම ඇරැඹිණ. සෑම නළු නිළියකම ජනතාව අතරට ගොස් මුදල් එකතු කෙරිණි.

ලබන සතියට

ගාමිණි

ටෝනි

මාලිනී

පර්ල් කුරේ