වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගිහින් එන්නම්!

ගිහින් එන්නම්!

අපේ රටේ දූ දරුවනට ජැක්සන් ඇන්තනි තිළිණ කරන නාට්‍ය හා රංග කලාව - 50

වර්තමාන ලාංකේය කලා විෂය අලළා අප පවත්වන සංවාදය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි මට සිතී ගියේ දෙදහස ලබද්දීමය.

අපේ ශිෂ්‍ය අවධියේදී මේ රටේ උසස් කලා නිර්මාණ මෙන්ම ඉතාම න්‍යායාත්මක විචාර කලාවක් ද තිබුණි.

වසර 30 ක කුරිරු යුද්ධය හමුවේ මේ රටේ සිදු වූ ආර්ථික හා දේශපාලනමය උඝ්‍ර අර්බුද හමුවේ අපේ කලා සංස්කෘතිය වේගයෙන් පිරිහී ගියේය.

රටක කලා සංස්කෘතියේ පිරිහීම යනු හුදෙක් රට කලා නිිර්මාණවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක අගය පහත වැටීම පමණක් නොවේ. කලාව අරභයා පවත්වන විචාර සංවාදය ද කලා සංස්කෘතියේ අනිවාර්ය අංගයකි. එහෙයින් වර්තමාන ලංකාවේ නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ සිදු වී ඇති කඩා වැටීමට සමාන්තරව විචාර ක්ෂේත්‍රයේද විශාල පසුබෑමක් පෙන්නුම් කරයි.

අද විචාරය අපචාරයක් තරමටම සමහර තැනක පිරිහී ඇතැයි මධ්‍යස්ථයෝ පවසති. කලාවේ කඩා වැටීමට හේතුව ඒවා වින්දනය කරන්නන්ගේ බුද්ධිය හීන වී යාම යැයි පවතින මතිභ්‍රමයට මා කවදත් එකඟ නැත. ජනතාවගේ කලා රසිකත්වයේ කිසිදු සෝදාපාළුවක් සිදු වී නැත. ජනතාව කලා විෂයේ ඇලීම සඳහා ඉතාම සංවේදීව බලා සිටී. නිවැරැදි කලා රසාස්වාදනයක් දුටු තැන ඔවුන් ඒ වට සැදෙයි.

කලා විෂයේ කඩා වැටීමට ප්‍රධාන හේතුව නිර්මාණකරුවන්ගේ අඩු ලුහුඬුවකැයි මට සිතේ. සමහර නිර්මාණකරුවන් විශ්‍රාම ගොස් සිටී. ඇතැමෙක් කලකිරී ඇත්තාහ. තවත් නිර්මාණකරුවන්ව අමතකව ගොස් ඇත. ඉතිරි වී සිටිනා නිර්මාණශීලී කලාකරුවන් තම රඳා පැවැත්ම අරභයා විශාල වෙහෙසක් බුක්ති විඳී. අලුත් නිර්මාණකරුවන් ලබන සමාජ අධ්‍යාපනය පෙර පරපුරේ නිර්මාණකරුවන්ට වඩා තරමින් අඩුය. ඔවුන් ලබන අධ්‍යාපනයේ කලාවේ විධි නිසාම ඇතුළත් නොවෙයි. සිද්ධාන්ත නොදැන නිර්මාණකරණයේ යෙදෙන්නන්ට පැවැත්මක් නැත. ඔවුන් අන්ධකාරයේ අතපත ගාන්නන් සේ පෙනෙනු ඇත.

වර්තමාන විචාර පරපුර පිළිබඳව කිව හැක්කේ ද එබඳු අදහසකි. නූතනවාදය එන්නටත් පෙර ‘පශ්චාත් නූතනවාදය’ සොයා ගිය ඩබල් ප්‍රමෝෂන් කාරයෝ අපයි. අමෙරිකාව පශ්චාත් නූතනවාදය බිහි කර ගත්තේ නූතනවාදයේ හොඳින් හැසිරීමෙන් අනතුරුවය. අපේ රට යුද්ධ සහිත ඌණ සංවර්ධිත රටක් වූ හේතුවෙන් තවමත් ප්‍රාග් නූතනවාදී යුගයේ කල් ගෙවන්නට අපට සිදු වී ඇත. එහෙයින් අපේ වර්තමාන කලා සම්ප්‍රදායත් විචාර සම්ප්‍රදායත් යන දෙපාර්ශ්වයම එරඬු දණ්ඩක් බවට පත් වී තිබේ. එරඬු දණ්ඩ වීසි කළ විට දලුදමයි. එහෙත් මුල් නැත. මුල් නැති දල්ලට පැවැත්මක් නැත.

මේ ප්‍රශ්නයට පිළියම් ඇත්තේ අධ්‍යාපනයේම පමණි. කලාකරුවකු වීමට අත්‍යවශ්‍ය ගුණාංග තුනෙන් කුසලතාව උපතින් ලැබෙයි. එහෙත් ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය ලබන්නට නම් අධ්‍යයනය කළ යුතුමය. නිර්මාණකරණය සඳහා වූ අධ්‍යාපනය දෙආකාරයි. නිර්මාණයේ සිද්ධාන්ත පිළිබඳ වූ අධ්‍යාපනය සහ සිද්ධාන්තයේ ක්‍රියාවලිය පිළිබඳ වූ අධ්‍යාපනයයි. අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ පර්යේෂණයයි. රටක අධ්‍යයන පර්යේෂණ සඳහා ඇති හොඳම කෙම් බිම විශ්ව විද්‍යාලයයි. අතීත ඇතැන්ස් ඇකඩමිය ලෝක ඥාණ විභාගය සඳහා කළ පර්යේෂණ අපි අසා ඇත්තෙමු.

1966 වන විට ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වශයෙන් ලෝකයේම 52 වැනි තැනට පත්ව තිබුණු බවත් 2012 ජනවාරි මාසය වන විට එය 1909 වැනි ස්ථානයට පත්ව ඇති බවත් පසුගිය දිනෙක මහරගම යොවුන් නිකේතනයේ පැවැති ‘හන්තාන නින්නාද’ නම් වූ උපහාර උළෙලේදී ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි විසින් දේශනය කරන ලදී. ‘පේරාදෙණි ගුරු කුලය’ කියා මාර්ටින් වික්‍රමසිංහයන් දොස් කීවද, ලාංකීය විචාර කලාවේ සිද්ධාන්ත ගවේෂණය අරභයා පේරාදෙණියෙන් වූ සේවය අති මහත් වේ.

එදා ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ සිළුමිණ පුවත්පතට කීවේ ‘ශත දහයේ විශ්ව විද්‍යාලය’ කියායි. අද මේ විශ්ව විද්‍යාලයට තරග කරන්න සිදු වී ඇත්තේ තවත් එබඳුම විශ්ව විද්‍යාල සමඟ නොවේ. වෛවාරණ ටියුෂන් කඩ වීදියක් එක්කය. සරසවිය කියන්නේ විශ්ව විද්‍යාලයට කියන තවත් නමක්. පී.කේ.ඩී. සෙනෙවිරත්නයන් සරසවිය පුවත්පතට ඒ නම යෝජනා කළේ සරස්වතී දේවියට ඇති ගෞරවය සහ විශ්ව විද්‍යාලය පිළිබඳ ඇති ව්‍යාංගයෙන් විය යුතුය. කලා විෂයේ එදා පැවැති උත්තර් සංවාදයේ ප්‍රධාන බිහි දොරක් බවට සරසවිය පුවත්පත පත් වී තිබුණේ ජනකාන්ත ඔටුන්න ද හිස දරාගනමයි.

වර්තමාන සරසවියට අභිනවයෙන් පත්ව ආ ප්‍රධාන කර්තෘ ධුරන්ධර අරුණ ගුණරත්නයන් හරියටම මීට වසරකට පෙර මට දුරකතනයෙන් අමතා නාට්‍ය හා රංග කලා විෂය පථයට වැටෙන ශාස්ත්‍රීය ලිපියක් ලියන්නැයි යෝජනා කළේය. මේ ඇමතුමේ මීමන ප්‍රේමතිලකයන්ගේ ශ්‍රැතිය තැවරී තිබුණෙන් ‘වැඩ අධිකය, මට බැහැ යැයි’ කීමට මගේ දිව නොනැමුණි. එතැන් සිට නාට්‍ය හා රංග කලා විෂයේ සංවාද කළ හැකි අලුත් කාරණා රැසක්ම මාධ්‍ය ගත කරන්නට මට මේ පිටුව ඉවහල් වුණි.

මෙරට සංස්කෘතික පක්ෂයේ උත්තර් සංවාදය හොඳීන් පැවති යුගයක නම් මා මේ ලිපිය හරහා ඉදිරිපත් කළ අදහස් අරභයා දැනටමත් විදග්ධ සංවාදයක් ඇරැඹී අවසන්ය. එහෙත් අද අප හුදෙකලා පුද්ගලයන් වී සිටිමු. අපට සංවාද කරන්නට මණ්ඩප හෝ කණ්ඩායම් නැත. කණ්ඩායම් හැඟීම පරයා පුද්ගලවාදය මතු වී තිබේ. මගේ මතය අපේ මතයක් බවට පත් වන්නට නම් කණ්ඩායම් සම්මුතියක සාකච්ඡාවක් අත්‍යවශ්‍යය. එහෙත් අද හුදෙකලා තරුණයා කණ්ඩායම් සම්මුතියෙන් මිදී තමාගේ ආස්ථානය අනෙකාගෙන් පරිස්සම් කර ගත හැකි උපක්‍රම සොයමින් සිටී.

සරසවියෙන් වරම් ගෙන ‘උස් තැනක’ සිට ගත් මා සති 50 ක් පුරා ඔබට ලියූ ලිපි සරණිය මෙතකින් අවසන් කරන්නට තීරණය වූවේ අනාගත දැක්මකින් යුක්තවයි. මේ වනාහි ලංකාවේ ප්‍රායෝගික කලා සම්ප්‍රදාය අරභයා මා දරා සිටින මතවාද ප්‍රකාශයක පෙර වදනයි. සංස්කෘත රස සිද්ධාන්ත අරභයා වේවා, ඇරිස්ටෝටලියානු මතවාද අරභයා වේවා, වර්තමාන ශ්‍රී ලාංකීය කලාකරුවකු සිටගත යුතු තැන පිළිබඳ නිගමනයකට එන්නට නම් අප උපයුක්ත මාතෘකාවක් ප්‍රායෝගිකව හා යාවත්කාලීනව අධ්‍යයනය කළ යුතු වේ.

වර්තමාන විශ්ව විද්‍යාලයක විශේෂවේදී උපාධි ශිෂ්‍යයකුගේ විභාගාපේක්ෂක අධ්‍යයනයකට වඩා ප්‍රයෝගිකකරණය වූ සිද්ධාන්ත පරිශීලනයක් වර්තමාන කලා ක්ෂේත්‍රගත හුදෙකලා ශිල්පී තරුණයාට ලබා හැකි නම් එය හෙට දවසේ ශ්‍රී ලාංකීය රසවාදයට මහගු බිහි දොරක් වනු ඇත. සරසවිය කර්තෘතුමන් මට කළ සරල ආරාධනයේ ඒ සා බරසාර සංකීර්ණයක් ඇතැයි මට පෙනේ. එහෙයින් මම එතුමන්ට යළිත් වරක් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

මේ ලිපි සරණිය ආරම්භ වී සති කිහිපයක් ගිය සැණින් මා ආමන්ත්‍රණය කළ ලේක්හවුස් ගරු සභාපති තැන්පත් බන්දුල පද්මකුමාරයන් මෙහි ඇති ශාස්ත්‍රීය වටිනාකම ඉව කොට බලා ඉතා ඉක්මනින් මේ ලිපි මාලාව පොතක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරන ලදී. එය ඉතා නුදුරු දිනෙකදී සිදු වනු ඇතැයි මම ඔබට ප්‍රතිඥා දෙමි.

ලිපි මාලාව මගේ පෑන් තුඩේ සිට සරසවිය කර්තෘතුමාගේ ඊ තැපෑල දක්වා ගෙන යාමට අතරමැදි වූයේ හෙළන්කා ආයතනනයයි. දැනට වසර 12 ක් පුරා මා කළ සියලු අධ්‍යයන කටයුතුවලදී මගේ පර්යේෂණ සහායිකාව වූ දිනූෂා රාජපතිරණට ද, ඇයට සහාය වූ කෝසලාට සහ දේවාට ද ස්තුති කරමි.

ඉතින්,

යළිත් දවසක හමුවන තුරු ඔබව මේ උස් බිමේ තියා මම, ගිහින් එන්නම්.

ජැක්සන් ඇන්තනී

ජැක්සන් ඇන්තනී

මේ උස් බිම අදින් පසු අපේ සංවාද මණ්ඩපයයි. මේ සංවාද මණ්ඩපය සැම විටම විවෘත එකකි. නැවුම් වූ අදහස් පිරි තෝතැන්නක් කරන්නට ඔබට ආරාධනා කරමි. වසරක් පුරා අප නැණැස පාදන්නට ඔබ කළ මෙහෙයට තුති පුදමි.

සරසවිය කර්තෘ