වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සෙත්ති සමඟ කතාබහක්

සෙත්ති සමඟ කතාබහක්

මගේ රංග දක්ෂතා පෙන්වීමට

මමම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා

වේදිකාව, පුංචි තිරය, සිනමාව එක සේ හුරු සජීව මල්මාල ආරච්චි කියයි

සෙත්ති සිහින බේබිට ගොඩක් ආදරෙයි. ඒ ආදරය නිසාම සෙත්ති සිහින බේබිගෙන් බැණුම් අහන වාර ගණන කොයි තරම් ද කියලා ඔහුම දන්නේ නෑ.

‘ඉතිං සෙත්ති’

මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘රන් සමනලයෝ’ ටෙලි නාට්‍යයේ සෙත්තිත් සමඟ අප කතාබහ ආරම්භ කළා. ඒ දෙමළ ජාතිකයෙක් කැඩිච්ච සිංහලෙන් කතා කරයි කියන සිතිවිල්ලත් පෙරදැරිවයි. මෙන්න සෙත්ති හොඳට සිංහල කතා කරනවා.

‘මම මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත වෙන්නේ විසි අට වැනි අවුරුද්ද. ඒ කාලය ඇතුළත මට පුංචි තිරයේදී වැඩිපුරම රඟපාන්න ලැබුණේ දෙමළ සහ මුස්ලිම් චරිතයි. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට මා එන්නේ මේ චරිත ඔස්සේ නිසා ඔවුන් සිතාගෙන ඉන්නේ මම දමිළ ජාතිකයෙක් කියලා. සමහර වෙලාවට මා මුණ ගැසුණොත් ඔවුන් කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. මම වචනයක් දෙකක් කතාබහ කළාට පස්සේ තමයි ඔවුන් ඇත්ත දැන ගන්නේ. මගේ ජීවිතයේදී ඒ වගේ අකරතැබ්බයන්ට මුහුණ දුන් අවස්ථාවන් නම් අතේ ඇඟිලි ගණනටත් වැඩියි.’

සෙත්ති හෙවත් සජීව මල්මාල ආරච්චි කිව්වා.

‘ඒ විතරක් නෙමෙයි, දෙමළ චරිතවලට යම් සාධාරණයක් ඉෂ්ට කරන්නටත් මට පුළුවන් වුණු හේතුවක් තිබෙනවා. පුංචි කාලයේ ඉඳලා මට ඇසුරු කරන්නට ලැබුණේ දෙමළ ජාතික ළමයින්. දෙහිවල ප්‍රදේශයේ ඉපදිලා හැදුණු වැඩුණු මම පාසල් ගියේ දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයටයි. මේ අතර කාලයකදී මට යාපනයට යන්න සිදු වුණ නිසා මගේ ඇසුරට වැටුණේ දෙමළ ළමයින්. ඕලෙවල් කාලයේදී මගේ හොඳම යහළුවා වුණේ පිල්ලේ. මේ නිසා දමිළ භාෂාව මට නුපුරුදු භාෂාවක් නම් නොවෙයි. කුඩා කාලයේ පටන්ම රගංනයට ආරාධනා කළ නිසාම සිනමාව, වේදිකාව, පුංචි තිරයට මම බොහොම ආදරය කළා. මේ වෙනකොට චිත්‍රපට විස්සක පමණ රඟපාලා තිබෙනවා. එක් කාලයකදී වේදිකාව කියන්නේ මගේ ජීවිතය වගේ වුණු මාධ්‍යයක්. ඒනිසාමදෝ 1996 වසරේදී මා අධ්‍යක්ෂණය කළ ‘මායා දොරටුව’ වේදිකා නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය, හොඳම පිටපත් රචනය - දෙවන ඇතුළු ජූරියේ කුසලතා සම්මාන පහක් දිනා ගැනීමට හැකි වුණා.’

සජීව මල්මාල ආරච්චිට වේදිකාව කොයි තරම් අමතක කළ නොහැකි ද කිව්වොත් පුංචි තිරයේ රඟපෑම අතරතුරදීම අලුත් වේදිකා නාට්‍යයක් කරළියට රැගෙන එන්නට මේ දවස්වල සූදානම් වෙනවා.

‘රොම්බ තෑන්ක්ස්’ නමින් යුත් මේ වේදිකා නාට්‍යයේ රොඩ්නි, අදීෂ, නිලංගනී ආදී නළු නිළියන් රැසක් රඟපෑමට නියමිතයි. මේ වෙනකොට සංගීතය, පසුතල ආදී සියලු කටයුතු සම්පූර්ණ කිරීම කරගෙන යනවා. ඊට පසුවයි පුහුණුවීම ආරම්භ කරන්නේ.’

2000 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ රතු රුවල් නම් පරිවර්තන වේදිකා නාට්‍යයේ රඟපෑ වෙහිබ් නම් අබ්බගාත චරිතය සඳහා ඔහුට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. එහෙත් තවමත් තම දක්ෂතා ඉදිරිපත් කිරීමට සුදුසු චරිතයක් ඇති නිර්මාණයක් නොලැබුණු බවයි ඔහු තවදුරටත් පැවසුවේ. මේ නිසා අපූරු සිහිනයක් ඔහුගේ සිත පතුළේ සැඟවිලා.

‘මොකක්ද මේ සිහිනය?’

‘මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිතයක් රැගත් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අධ්‍යක්ෂණයට තිබෙන්නා වූ ආශාව නිසා නම් නෙමෙයි. රඟපෑමට වගේම මගේ රංගන දක්ෂතාව පෙන්වීමට ඇති ආශාව නිසයි.’

සහය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාවන් අතර සැරිසැරූ සජීවගේ හද රැඳුණු අලුත්ම සිහිනය මල්ඵල ගැන්වීමට කාලය ඉක්මනින් උදාවේවා.

සරසවියේ අපි ඔහුට සුබ පැතුවා.