වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිලා

වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිලා

ශ්‍රීනාත් මද්දුමගේ දිගු කලකට පසු

අපේ හිතාදර මිත්‍රයා ශ්‍රීනාත් මද්දුමගේ පසුගියදා හදිසියේම ලංකාවට ආවා. ඒ සුවිශේෂ කලා කටයුත්තකට දායක වෙන්න. මේ කතාබහ අතරතුරේ ඒ ගැන දැනගන්න ඔබට පුළුවන්. ශ්‍රීනාත් කවදත් ‘සරසවිය’ හා ළෙන්ගතු සහෘදයෙක් නිසාම ඔහු සියරට පැමිණි පුවත හා හා පුරා සැළ කර සිටියේ අපට.

ශ්‍රීනාත් දැන් සෑහෙන කලක ඉඳන් ඕස්ට්‍රේලියාවේ මෙල්බ(ර්)න් නුවර පදිංචිව සිටිනා වග ඔහුගේ රසික රසිකාවන්ට රහසක් නෙවෙයි. ඒත් ශ්‍රීනාත් ප්‍රේක්ෂක හදවතේ සදාතනික මතක සැමරුම් තැබූ ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියකු නිසා ඒ කාටවත් අමතක වෙලා නෑ ඔහුව.

ඇයි ශ්‍රීනාත් හදිසියේම ලංකාවට ආවේ?

‘සරසවිය’ට ගොඩ වැදුණු ඔහු හා කතාබහට මුල පුරමින් මා ඇසුවා.

විශේෂම හේතුව උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ රංගන කටයුතු සඳහා. ඒක මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. නළුවෙක් හැටියට සතුටු වෙනවා ඒ ගැන. ලංකාවේ නළුවන් ඕනෑ තරම් ඉන්දැද්දි මාව මතක් වීම හා මට ආරාධනා කිරීම ගැන උදයකාන්ත මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. බොහොම කැමැත්තෙන් මෙල්බර්න් නුවර ඉඳන් මම ආයෙත් ලංකාවට ආවා මේ චිත්‍රපටයේ රඟපාන්න.

මෙය කෙබඳු චරිතයක්ද?

මම හිතන්නේ උප ප්‍රධාන චරිතයක්. මේක හොර කල්ලියක සිටිනා නායකයෙකුගේ චරිතයක්. ඒ කියන්නේ ගැන්ග්ස්ටර් කෙනෙක්.

කොස්තාපල් පුඤ්ඤසෝමගේ ප්‍රධාන ප්‍රතිවාදියා?

ඔහුගේ විතරක් නෙවෙයි. මුළු පොලීසියෙම. මුළු චිත්‍රපටය පුරාම ගැටෙන චරිතයක් මේක. බොහොම විනෝදාත්මක චිත්‍රපටයක් බවත් කියන්න ඕනෑ. චිත්‍රපටය පුරාම හාස්‍ය රැඳී තිබෙනවා.

උදයකාන්තගෙන් ශ්‍රීනාත්ගේ රංගන දිවියට හොඳ අනුග්‍රහයක් ලැබෙන බව පේනවා?

ඔව්, ඇත්තෙන්ම මාව නළුවෙකුª කළේ උදයකාන්ත. ඒ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ චිත්‍රපටයෙන්. හැමෝම ඒ චරිතය ගැන කතා කළා. ඒක උදයකාන්තගෙත් දෙවැනි චිත්‍රපටය. හැබැයි උදය එහෙම යාළුකමට චරිත දෙන අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. උදාහරණයක් හැටියට කිව්වොත් ඔහු ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටය කරද්දී මම හිටියේ ලංකාවේ.

ඒ මීට වසර දෙකකට උඩදී. නමුත් ඔහු මට චරිතයකට කතා කළේ නැහැ. අපි දන්නවනේ ඉතින් ගොඩාක් අය යාළු මිත්‍රකම්වලට චරිත දෙනවනේ. උදය එහෙම නෑ. ඒත් වාසනාවකට වගේ ඔහුගේ චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. සමහර විට ඒ ප්‍රධාන චරිතය නොවෙන්න පුළුවන්. ඒත් උදය පුංචි චරිතයක් දුන්නත් ඒකෙත් යමක් කරන්න තියෙනවා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ‘බහු බූතයෝ’ චිත්‍රපටයේ මම රඟපෑවේ ඉතාම සුළු චරිතයක්. ඒත් හුඟ දෙනෙකුට තාමත් ඒ චරිතය මතකයි. විශේෂයෙන්ම පුංචි ළමයින්ට.

තව කොච්චර කලක් ඔබ ලංකාවේ ඉන්නවාද?

මාසයක් විතර.

වෙනත් නිර්මාණයකට දායක වෙන්නේ නැද්ද?

සනත් අබේසේකරගේ ‘සිරි දළදාගමනය’ චිත්‍රපටයටත් දායක වෙනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය මෙල්බර්න් නුවර ඉන්න අපේ හිතවතුන් පිරිසකගේ. ඒ නිසා ඒ කටයුත්තටත් සම්බන්ධ වෙනවා. නමුත් ප්‍රධාන කාර්යය තමයි ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටය.

අද බොහෝ නළු, නිළියන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ප්‍රධාන චරිත රඟපාන්න. නමුත් ඔබ සුළු චරිතවලට පවා නොපැකිලව ඉදිරිපත් වෙන නළුවෙක්. ඒ ගැන කිව්වොත්?

චරිතයක් ලොකුද, පොඩිද කියන එක මම අදාල කර ගන්නේ නෑ. පුංචි චරිතයකින් වුණත් හොඳ රඟපෑමක් කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි ‘හංස විලක්’ චිත්‍රපටයේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්මයාගේ චරිතය. ‘තමුසේ හොඳට ඇස් ඇරලා බලනවා, දේවාලේ දෙයියෝ ඉන්නවද කියලා’ ඔච්චරයි දෙබස. හැබැයි හොඳම සහය නළුවාටත් සම්මානයක් ලැබුණා. ඉතිං මාත් හිතන්නේ අන්න ඒ ආකාරයට. මුළු චිත්‍රපටය පුරාම පෙනී ඉන්න වුවමනාවක් නෑ. පුංචි වුණත් යමක් කරන්න තියෙනවා නම් ඒ හොඳටම ඇති. මට ඒ කාලේ ඉඳලම ඔය ‘මේන් රෝල්’ කරන්න ඕනෑයි කියන මාන්දම තිබුණේ නැහැ. දැන් බටහිර සිනමාවේ බැලුවත් ඉතා විශිෂ්ට මුල් පෙළේ රංගන ශිල්පීන් පවා ඇතැම් චිත්‍රපටවල රඟපාන්නේ සීන්ස් දෙක තුනයි. නමුත් ඒවා සදාකාලික මතක.

කොහොම නමුත් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබේ රංගන හැකියාවට සරිලන සාධාරණය ඉටු නොවුණා කියලයි මට හිතෙන්නේ?

අපි රංගන ක්ෂේත්‍රයට එනකොට මේ රටේ තිබුණේ එතරම් හොඳ වාතාවරණයක් නෙවෙයි. එක පැත්තකින් යුද්දේ . ඒ වගේම සිනමා කර්මාන්තය කඩා වැටිලයි තිබුණේ. නමුත් මේ රටේ හිටපු කාලය ඇතුළත මට සම්බන්ධ වෙන්න ලැබුණ වේදිකා නාට්‍යය, චිත්‍රපට හා ටෙලි නාට්‍යය ප්‍රමාණය සෑහෙනවා කියලා මට හිතෙනවා. ඒ කාලේත් මගේ මූලික යොමුව තිබුණේ වේදිකාවට. ඉතිං වේදිකාවේ බොහෝ නිර්මාණවලට මම දායක වුණා. සාපේක්ෂව මට ටෙලි නාට්‍යය, චිත්‍රපටවල චරිතත් ලැබුණා. මම නම් හිතන්නේ අසංක අපේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු මගෙන් වැඩක් ගත්තා කියලයි.

ඔබේ රංගන හැකියාව මීට වඩා වැඩි දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කියා ඔබට හිතෙන්නේ නැතිද?

එහෙම හිතෙනවා. නමුත් ඒක ගැන මම එච්චර ලොකුවට ගණන් ගන්නේ නෑ. ලැබුණු දේවල් දිහා බලද්දී ඇත්තටම මම සෑහීමකට පත් වෙනවා. දැන් චිත්‍රපට ගොඩක් හැදෙනවා. නමුත් මම ලංකාවේ හිටපු කාලේ වැඩිපුර චිත්‍රපට හැදුණේ නෑ.

මෙල්බ(ර්)න් නුවර ඔබේ කලා කටයුතු කොහොමද?

මම ‘සන්නස’ පුවත්පතේ උප සංස්කාරකවරයකු විදිහට කටයුතු කරනවා. එතකොට ‘තිසර’ ජ්. ර්. කියලා වෙබ් රේඩියෝ එකක් පවත්වාගෙන යනවා. ඒක එහෙ හරි ජනප්‍රියයි. ලංකාවෙන් එහෙට එන ගායක ගායිකාවන් සහභාගි වෙන සංගීත ප්‍රසංගවල නිවේදන කටයුතු කරනවා.

පසුගිය දිනෙක ඔබ ඕස්ටේ‍්‍රලියාවේ හිඳ මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන චරිතයක් සමඟ කළ සාකච්ඡාවක් ‘දෙරණ’ නාළිකාවෙන් අප දුටුවා. මොකක්ද ඒ් කතන්දරේ?

මම ඕස්ට්‍රේලියාවේ සිටියාට ‘දෙරණ’ රූපවාහිනිය හා ‘නෙත්’ එෆ්. එම්. නාළිකාවල මෙල්බ(ර්)න් වාර්තාකරු හැටියට කටයුතු කරනවා. ‘දෙරණ’ නාළිකාවේ මෙල්බ(ර්)න් නියෝජිතවරයකු විදිහට ක්‍රියා කරන කිත්සිරි කරුණාරත්න මට ආරාධනා කළා මේ වැඩ සටහන ඉදිරිපත් කරන්න. එවැනි වැඩ සටහනක් මෙහෙය වූ පළමු අවස්ථාව. මට ලොකුම අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගය යම් තාක් දුරට ජය ගත්තා කියලා මට හිතෙනවා. ලංකාවට ආවට පස්සේ ගොඩක් අයගෙන් ඊට ලැබුණේ සුබවාදී ප්‍රතිචාර.

ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන හොඳ වැටහීමක් තිබෙන බව ඒ වැඩ සටහන ඔස්සේ අප දුටුවා.

ඇත්තටම අසංක මෙහෙදි වගේ නෙවෙයි, අපට එහෙදි යම් නිදහසක් තියෙනවා. රස්සාවට ගිහින් ආවාට පස්සේ අපි නිදහස්. අන්තර් ජාල පහසුකම් එහෙ ඕනෑ තරම් තිබෙනවා. ලංකාවේ සියලුම පුවත්පත් හැම සතියෙම මම මිලදී ගන්නවා. (සරසවිය ඇතුළුව) ඉරිදා පත්තර සේරම සඳුදාට අපට ලැබෙනවා. ඉතින් බදාදා වෙන කොට මම ඒවා සේරම කියවලා ඉරයි. තවත් වාසියක් තියෙනවා. මම රැකියාවට යන්නේ දුම්රියෙන්. විනාඩි හතළිස් පහක විතර ගමනාන්තයක් තියෙනවා. ඒ කාලය තුළදීත් මට කියවන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හැම දෙයක් ගැනම මම ඉන්නේ අවදියෙන්.

දිගටම නිවේදන කටයුතුවල නියැළෙනවාද?

ඔව්. එහෙම අදහසක් තියෙනවා. ‘මොරටු රාත්‍රිය’ කියලා ළඟදී මෙල්බ(ර්)න් නුවර සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ ගැන සාකච්ඡා පැවැත්වෙනවා. ඒ ගැන සියලු තොරතුරු ‘සරසවිය’ට ඉදිරියේදී කියන්නම්.

එතකෙට ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් රසිකයෝ කැමැත්තෙන් ඇති. විශේෂයෙන් ඔබේ දූ සිඟිත්තිය ගැන?

මිනුරි චමත්කා දුවට දැන් අවුරුද්දයි මාස පහයි. ලොකුම ගැටලුව තමයි එයා දාලා එන එක. දුව දැනටමත් කලාවට ලැදියි වගේ කියා හිතෙනවා යම් යම් ක්‍රියාකාරකම් නිසා. ඇය බොහොම නිරෝගීව ඉන්නවා. ඒ තමයි මගේ ජීවිතය. මගේ බිරින්දෑටත් රාජකාරි නිවාඩු ගන්නට අසීරු නිසා මෙවර ලංකාවට එක්කර ගෙන ආවේ නැහැ. ඒත් එන අවුරුද්දේ එයාලත් එක්ක එනවා.

ඕස්ට්‍රේලියානුවන් අතර ශ්‍රීනාත් මද්දුමගේ කෙබඳු චරිතයක්ද?

ඔවුන් ඇතැමෙක් දන්නවා මම නළුවෙක් කියා. ඒ අය හිතන්නේ හොලිවුඩ් ගාණට. සමහරු අහනවා ඇක්ටර් කෙනෙක් වෙලත් ඇයි මෙහෙ වැඩ කරන්නේ කියලා. ඕස්ට්‍රේලියාවේ නළුවෙක් ගත්තොත් බොහොම සශ්‍රීක ජීවිතයක් ගත කරන්නේ. ඒගොල්ලො හිතා ඉන්නේ අපිත් ඒ වගේ කියලා. කොහොම වුණත් ඔවුන් කලාකරුවන්ට ඉතාමත් ගරු කරනවා.

අපේ කලාකරුවන් පවා නිතරම ඕස්ට්‍රේලියාවට යනවා. ඒ ආ විට ඔබ ඔවුන් සමඟ ඉතා සුහදව සංග්‍රහශීලීව කටයුතු කරන බව මා අසා තිබෙනවා?

ඕනෑම කලාකරුවෙක් මෙහෙට ආවාම මම ඒ අය හමු වෙන්න බැරි වුණොත් අඩු ගාණේ දුරකතන ඇමතුමක් හරි දෙනවා. ගොඩක් වෙලාවට ඒ ප්‍රසංග, උත්සවවලට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබෙනවා. නමුත් මේ ළඟදී මට බොහොම හිත රිදුන සිදුවීමකට මුහුණ දෙන්න වුණා. මගේ හිතවත්ම මිත්‍රයෝ කීප දෙනෙකුගෙන් යුත් නාට්‍යය කණ්ඩායමක් මෙහෙට ආවා. මම ඔවුන් හමු වෙන්නත් ගියා. මෙහෙ ආවාම අපේ කලාකරුවන්ට හැමදාම මොන මොනවා හරි ප්‍රෝගෑම්ස් වැටෙනවා. හැමදාම ඩිනර්ස්, නැතිනම් පාටි. මෙහෙ ඉන්න අය ආසයි නළු නිළියෝ, ගායක, ගායිකාවෝ ආවාම තමන්ගේ ගෙවල්වලට එක්කගෙන ගිහින් සංග්‍රහ කරන්න. ඒ ආදරේට හිතවත්කමට. නමුත් ඒකෙන් වෙන්නේ අර කලාකරුන්ට පුංචි නිදහසක්වත් නැති වීම. ඒ සංවිධායකයොත් ඒ ගැන හිතන්නේ නැහැ. මම ඒ පිළිබඳවත් හිතලා අන්ටන් ජූඩ්ගේ අභාවය ගැන පුංචි ලිපියක් ලිව්වා ‘සන්නස’ පත්තරේට. ඒක මම ලිව්වේ නරක හිතකින් නෙවේ. නමුත් වැරැදි විදිහට තමයි සමහරු ඒක ගත්තේ. සහෝදර නළු, නිළියන් වෙනුවෙන් කතා කරපු, අදහස් දක්වපු මට අර නාට්‍යය කණ්ඩායමේ නළුවෝ දෙන්නෙක් අම්බානට බැනලා තිබුණා. වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ වැඩක් වුණේ මට.

ශ්‍රීනාත් නැවත ලංකාවේ පදිංචියට එන්න සූදානමක් තියෙන බව වටින් පිටින් ආරංචි වුණා?

එහෙම අදහසක් තියෙනවා. මේ දවස්වල ඒ ගැනත් සැළසුම් කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි ලංකාවෙන් ගියේ කාරණා කිහිපයක් මුල් කරගෙන. මගේ බිරින්දෑට එහෙ පුරවැසිභාවය ලැබුණා. ඇයට වැඩිදුර ඉගෙන ගන්නටත් එය හොඳ අවස්ථාවක් වුණා. අනෙක් කරුණ සාර්ථක දරු උපතක් බලාපොරොත්තු වීම. මේ සේරම දැන් ඉෂ්ට වෙලා. ඒ නිසා අපි ලබන වසරේ මෙහෙ නැවත පදිංචියට එන්න හිතාගෙනයි ඉන්නේ.