වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පොතේ ගමන එළි දුටු දා

පොතේ ගමන එළි දුටු දා

නවනැලියේ විජේතුංග ලියූ ‘පොතේ ගමන’ නම් දෙසීය වැනි ග්‍රන්ථය පසුගියදා දොරට වැඩුණා. වසර තිස් දෙකක් වන ඔහුගේ ලේඛක දිවියේ ග්‍රන්ථ දෙසියයක් රචනා කිරීමට ලැබීම ඔහු සලකන්නේ මහත් භාග්‍යයක් ලෙසයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘පොතේ ගමන’ ග්‍රන්ථයෙහි මුල් පිටපත අගමැති නිල නිවසේදී කර්තෘවරයා විසින් අගමැති දි. මු. ජයරත්න මහතාට පිළිගන්වන අයුරුයි.


මතු දවස දොරට වඩී

සෝමවීර සේනානායක ලියූ ‘මතු දවස’ නවකතාවේ නවතම මුද්‍රණය මෙම මස 29 වැනිදා අඟහරුවාදා මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


සතිෂ්ගේ ජන්ම දිනයට පින්කම් රැසක්

අප අතරින් වියෝ වූ ගායක සතිෂ් පෙරේරාගේ ජන්ම දිනය සිහි කරමින් පින්කම් මාලාවක් පැවැත්වේ.

ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි සැටන් අයිලන්ඩ් විහාරස්ථානයේදී මෙම මස 28 වැනිදා ධර්ම දේශනාවකි. 29 වැනිදා සංඝගත දක්ෂිණාවකි.

එදිනම මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේදී සවස 7.00 ට ධර්ම දේශනාව පවත් වන්නේ දෙමලුස්සේ මේධංකර හිමිපාණන්ය.

මෙම පිංකම සඳහා සහභාගි වන්න යැයි කලාකරුවන් ඇතුළු ඔබ සැමට ආරාධනා කරන්නේ නිළි කුසුම් පෙරේරා හා අනූපමා පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් විසිනි.


ආදරේ වේදනා එළි දකී

යොවුන් ගායන ශිල්පී අරවින්ද ජීවන් ලාල්ගේ සංගීත දිවියට දස වසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ නව නිර්මාණ දහසයක් ඇතුළත් ‘ආදරේ වේදනා’ සංයුක්ත තැටිය මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා සවස වැලිවේරිය නව නුවර පාරේ අංක 114 දරන විල්ල ගඟ රංග ශාලාවේදී දොරට වඩියි.

මෙයට අමතරව වසන්ත රෝහණ, රංජිත් ඩයස් යන ප්‍රවීණ ශිල්පීන්ගේ නව නිර්මාණයන් අඩංගු විචිත්‍රවත් සංගීත සැඳෑවක් ද එදින එම ස්ථානයේදීම පැවැත්වේ.


තුන්කල් දැක්ම හොරණට

හිත මිතුරෝ පදනම මගින් සංවිධානය කරන ‘තුන්කල් දැක්ම’ සුමියුරු සංගීත ප්‍රසංගය මෙම මස විසි හය වැනිදා එනම් එන ඉරිදා සවස හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී පැවැත්වේ.

ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, ශෂිකා නිසංසලා, සමන්ත පෙරේරා, අසිත් චනුෂ්ක අතපත්තු ඇතුළු ශිල්ප ශිල්පීන් රැසක මෙදින ප්‍රසංගය ගායනයෙන් රසවත් කරනු ඇත. මෙය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති තරංග සමරවික්‍රමගේ නිර්මාණයකි.


සංගීතාංජලී මාතලේ

ගුවන් විදුලි ගායන ශිල්පිණී ගීතානි චම්පිකා යටිවැල්ලගේ ගායන දිවියට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් ඇයගේ ‘සංගීතාංජලී’ ඒක පුද්ගල ගී සරණියේ විශේෂ දර්ශනයක් මැයි 27 වැනි ඉරිදා සවස මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී ගායන ශිල්පිනී නාලිනී රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

විශාරද බණ්ඩාර ආතාවුද, නාලිනී රණසිංහ, පාලිත මොහොට්ටි සහ සඳුනි මල්ලිකාරච්චි යුග ගායනයෙන් සහය වන සංගීතාංජලී ගී සරණියේ සංගීතය සනත් මල්ලිකාරච්චි ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලයෙනි. රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, වසන්ත කුමාර කොබවක, බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර ඇහැලියගොඩ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, රංජිත් රූපසිංහ, නාලිනී තෙන්නකෝන්, පූර්ණ සම්පත් සහ ගාමිණී නිශාන්ත කරුණාරත්න ගී පද රචනා කළ මේ සඳහා ගී තනු නිර්මාණයන් රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, තිස්සසිරි පෙරේරා, සනත් මල්ලිකාරච්චි, සරත් බාලසූරිය, නාලිනී රණසිංහ, රංජිත් බාලසූරිය සමඟ ගාමිණී ගුණසේකර දායක වෙති. කථනය ගුවන්විදුලි නිවේදක සිසිල් ජිනදාසගෙනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිනියක, නාට්‍ය ශිල්පිනියක, නිවේදිකාවක සහ හඬ කැවීම් ශිල්පිනියක වන ගීතානි ගායන ලොවට පිවිසියේ 1982 වර්ෂයේ ළමා සංගීත මණ්ඩපයේ ළමා ගායිකාවක වශයෙනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී උපාධිධාරිණියක වන ඇය දැනට මාතලේ උකුවෙල ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීතාචාරිණිය ලෙස සේවය කරයි.