වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බුරුම දේශපාලනයේ සුපිපි යකඩ ඕකිඩය

බුරුම දේශපාලනයේ සුපිපි යකඩ ඕකිඩය

අරුමැසි ප්‍රේම කතාවක යටි පෙළක් ලෙස රුදුරු දේශපාලන ගැ?ටුමක් මතු විය හැකි ද?එසේත් නැත්නම් එය උඩු යටිකුරුව පැවතිය හැකි ද?

චිත්‍රපටයක රූප රාමුවක නොදන්නා කඳුළු තිබිය හැකි ද?ඒ කඳුළු නොදැක ඔබට සිදු වූ දෙයක් මඟ හැර යා හැකිද?

'සූ' ප්‍රේමයේ සුබ පක්ෂයෙන් උපන්නියකි.දේශපාලනයේ රතු ලේ සලකුණු මතින් අඩි තබා යන්නට නොසිතූ තැනැත්තියකි.ඈ ඉරණම සමඟ නපුරු සටනක් කර බුරුමයේ පාපකාරී දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂය සොයා ගත්තියකි.

'ද ලේඩි' හුදෙක් සිනමාපටයක් පමණක් නොවී බුරුම දේශපාලනයේ හරස්කඩක් ප්‍රකට කරන්නේ එහෙයිනි.මිනිසුන්ගේ කටහඬ වෙනුවට තුවක්කු කතා කළ කාල වකවානුවක එක් ගැහැනියක් සියල්ල කණපිට හරවා දමන්නේ එහෙයිනි.

'සූ' සහ පවුල කේන්ද්‍රීය කොට ගමින් ගලා යන සිනමාපටය කියන්නේ කදිම ප්‍රේම කතාවකි.විදේශීයෙකු වූ මයිකල් හා පෙමින් බැඳී ඔහු හා විවාපත්ව පුතුන් දෙදෙනෙකු ලබා එංගලන්තයේ දිවි ගෙවන ප්‍රීතිමත් ගැහැනියක ගැන ය.එහෙත් ඇගේ මව අසණීපයෙන් පසු වීමෙන් යළිත් ඈ බුරුම දේශපාලන සිතියමට කඩා වැටෙයි.

මව බලන්නට එන ගමනේදී තම මවු රට තුළ කොපමණ කාලයක් රැදී සිටීමට බලාපොරොත්තු වන්නේදැයි ආගමන විගමන නිලධාරියා ප්‍රශ්න කිරීමත් සමඟ හුදෙක් මව බැලීමට එන ගමන දේශපාලන අත පෙවීමක් සේ වත්මන් බුරුම රජයට පෙනී යයි.

ඈ හිතුවක්කාරී ය.ඇගේ පිළිතුර කදිමය.මට ඕනෑ තරම් කාලයක් ?රැදී සිටිමියි කියූ 'සූ' බුරුමයට ඇතුළු වෙයි.

සිනමාපටය පළමුව අපව 1947 ට ගෙන යයි.'සූ' ට වයස අවුරුදු දෙකකි.ඕ පියා ගේ උකුල මත සුරතල් වෙමින් කතන්දරයක් අසයි.ඔහු කියන්නේ බුරුමයේ අතීත කතාවයි.බුරුමයේ සාඩම්බර අතීතය තමනට අහිමි වී ගිය ආකාරය ගැනයි.

ලූක් බෙසන් 'ද ලේඩි' අධ්‍යක්ෂ

ඔහු උපන්නේ 1959 මාර්තු 18 වැනිදාය.ප්‍රංශ සම්භවයක්
ඇති
අධ්‍යක්ෂවරයෙකු,
නිෂ්පාදකයෙකු සහ රචකයෙකු වන ලූක් යුරෝප් කෝපරේෂන් සිනමා සමාගමේ නිර්මාතෘවරයාය.
මේ දක්වා ඔහු විසින් සිනමාපට 50 කට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහුගේ වැඩිම බලපෑම ඇති කළ සිනමාපටය 'සූ' ගේ ජීවිත කතාව වටා ගෙතුණ 'ද ලේඩි' ය.

අවුන් සාන් බුරුමය නිදහස කරා ගෙන යාමට තැත් කළ නායකයෙකි.එහෙත් ඉතාමත් අවාසනාවන්ත ලෙස හමුදා මැදිහත් වීමෙන් ඔහු ඇතුළු සෙසු නායකයක් පිරිසක් කෲර ඝාතනයකට ලක් වෙයි.ඒ 1947 ජූලි 19 වැනිදා ය.

ඉන් පසු බුරුමයේ පාලනය මාරු වන්නේ හමුදා ආණ්ඩුවක් වෙතය.සිත් සේ මිනී මරන මේ පාලනය බුරුමය මිහිපිට අපායක් කර දමයි.ප්‍රජාතන්ත්‍රවාදයට ආසන්න බවක් හෝ නොලැබ එරට වැසියන් හමුදා ආණ්ඩුවේ අකටයුතුකම් මැද දිවි ගෙවයි.

'සූ' තම තරුණ කාලයත් රැගෙන එංගලන්තයට ගොස් ඇගේ ජිවන සහකරු වූ මයිකල් සොයා ගන්නේ ය.මේ සිනමාපටය සැබෑ පෙම් කතාවක් ලෙස පෙනෙන්නේ එහෙයිනි.

ඒ ප්‍රේමය මැදින් ප්‍රේක්ෂකයා සෝබරවත්,සංතුෂ්ටියෙනුත් ඇවිද යනු පෙනෙයි.එහෙත් ප්‍රේම කතාවට සෑම විට ම නිදහසේ ගලා යාමට නොදෙන අධ්‍යක්ෂවරයා අපේ අහැට ඇගිල්ලෙන් අනියි.දේශපාලනය යනු මග හැර යා නොහැකි ප්‍රබල සාධකයක් වඟ ඔහු කියයි

'සූ' යනු හුදෙක් ප්‍රේම කතාවක ප්‍රබල චරිතයක් නොව ඈ දේශපාලන සිතියමක මහා සලකුණක් බව ඔහු අපේ ඇහැට ඇගිල්ලෙන් ඇන පවසයි.අප අඬන්නට බලාගෙන නොසිටි හෙයින් මද වෙලාවක් වික්ෂිප්තව සිටින්නෙමු.යළිත් හදිසි තීරණයකට එළැඹ හඬන්නෙමු.

ලුක් බෙසන් අධ්‍යක්ෂණය කළ 'ද ලේඩි' නිෂ්පාදනයට වර්ජිනී බෙසන් සිලා,ඇන්ඩි හැරිස් සහ ජීන් ටොඩ් සහභාගී වී ඇත.

කතාව සහ තිර නාටකය රෙබෙකා ෆ්‍රයන් ගෙනි.2011 නොවැම්බරයේ නිකුත් වූ 'ද ලේඩි' පළමු වරට ප්‍රදර්ශනය කර ඇත්තේ 36 වැනි ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීය.

පළමුව යුරෝපය පුරා ප්‍රදර්ශනය ආරම්භ වූ 'ද ලේඩි' බුරුමයට ළඟා වූයේ හොර පිටපත් ලෙස ය.

අවුන් සාන් සුකී ලෙස මිචෙල් යියෝ ත්,මයිකල් ලෙස ඩේවිඩ් තෙව්ලිස් රංගනයෙන් දායක වූ අතර සුකී ගේ පුත්‍රයන් දෙපළ ලෙස ජොනතන් රැගට් සහ ජොනතන් වුඩ් හවුස් රංගනයෙන් එකතු විය.

බැංකොක්,තායිලන්තය,ලන්ඩනය,එංගලන්තය,ප්‍රංශය ආදී බොහෝ වූ දර්ශන තලවල රූගත කළ 'ද ලේඩි' දේශපාලන සමාජයට මහත් බලපෑමක් කළ සිනමාපටයක් වීමට සුදුසුකම් සපුරා තිබුණි.

එහෙත් බලාපොරොත්තු වූ මට්ටමේ සමාජ බලපෑමක් ඉන් ඇති විණි යැයි එකහෙලා කිව නොහැකි ය.නමුත් යම් සසල වීමක් නම් ඉන් ඇති විණි යැයි කිව හැකි ය. සිනමාපටය පුරා අවුන් සාන් සුකී ව දක්වන ආකාරය සැබැවින්ම අපූරුය.ඇගේ ජීවිතයෙන් පෙති කිහිපයක් අපට අධ්‍යක්ෂවරයා විසින් පෙන්වයි.

වරෙක ඈ රැස්වීමක කතා කිරීමට යන අතර මඟ අවුරා සිටින හමුදා භටයන් ගේ තර්ජන නොතකා වෙඩි පහරකට ළය දෙමින් තුවක්කු මෑනූ මිනිසුන් රාශියක් ඉදිරිපිටට ඇවිද යන අයුරු අපූරුය.ඒ දර්ශනය අපට පෙනෙන්නේ මල් ගැවසූ හිසක් තුවක්කු කට රාශියක් මැදින් සෙමින් ඇවිද යන ලෙසකිනි.

සිය ස්වාමියා පිළිකාවකින් පීඩා විඳීන බව ඕ දැන ගන්නේ ඔහු ගේ ලිපියකිනි.නිතර ක්‍රියා විරහිත කරන දුරකතන ඇමතුම් මඟින් 'සූ' යුවළ දුක-සැප බෙදා ගන්නා අයුරු හද කම්පා කරවන සුළු ය.

ළඟින් හිඳ ස්වාමියා සැනසිය යුතු මොහොතක ඕ බුරුමයේ අනාගතය භාර ගැනීමට තීරණය කරයි.ඔහු අන් රටක,තම ප්‍රිය බිරියගෙන් වෙන්ව මිය යයි.තම පෙම්බර සැමියා මිය ගිය බව ඈ දැන ගන්නේ රේඩියෝවෙන් විකාශනය කළ පුවත් ඇසීමෙනි.තමාට නොබෙල් සාම ත්‍යාගය ලැබුණු බව ද ඈ දැන ගන්නේ රේඩියෝවෙනි.

මුලු මහත් ජීවිතය ම දේශපාලනය කිරීම වෙනුවෙන් ඈ දඩුවම් ලබන්නේ එලෙසිනි.ප්‍රේමයේ දඩුවම එතරම්ම බරපතල බව ඈ දැන ගන්නේ ඉන් පසුව ය.

ලේ ගංගාවක ගිලී යමින් තිබූ බුරුමය ඈ ශුද්ධ පවිත්‍ර කරනාකාරය හුවා දක්වන ආකාරය කදිම ය. එහෙත් නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම ආශ්‍රිතව හුවා දක්වන සිදුවීම් සමුදාය ඕනෑම හුදෙකලා රටකට භුක්ති විඳීන්නට සිදුවන විදෙස් බලපෑම්වල තරම හුවා දක්වනවා මිසෙක ඔවුන් කරන උපකාරයක් මතුනොකරයි.

'ද ලේඩි' වඩාත් බලපෑමක් කළ යුතු සිනමාපටයක් ලෙස හුවා දැක්වීමට කැමැත්තක් පහළ විය යුත්තේ මේ සියලු දෑ එකට ගැට ගැසූ පසු ය.අප හොඳීන් දන්නා කතාවක් නරඹා වෙනස් කම්පනයක් ලැබූවායින් පසුව ය.