වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




‘එදා වේල ටුවර්ස්’ මගේ ළඟ නැහැ

සඳට අහස ආදරෙයි ගැන කතාබහක්

‘එදා වේල ටුවර්ස්’ මගේ ළඟ නැහැ

අනුර මාධව ජයසේකර

ඔහු අමුතු මිනිසෙකි. වෙනස්ම ආකාරයේ නිර්මාණ කරුවෙකි. තවත් විටෙක අතුරුදන් වන ඔහු කලකට පසු වෙනස්ම නිර්මාණයක් හරහා අප හමුවෙයි. මේ කතාවට නිමිත්ත සපයන්නේ ද එබන්දකි.

මෙවර ඔහු මුල පුරන්නේ තරුණ ආදර කතන්දරයකටය. එය වෙනස්ම මාතෘකාවකි. අනුර මාධව ජයසේකර. මෙ කෙටි කතාබහ ඔහුගේ නව නිර්මාණය පිළිබඳය.

* අනුර ඉතිං කාලෙකට පස්සෙ . . .

ඔව්, කාලෙක නිහඬතාවයකට පස්සේ අලුත් නිර්මාණයක් කරන්නට යෙදුණා. ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින පහේ රාත්‍රී නවයට ජාතික රූපවාහිනියේ නිර්මාණය විකාශය වෙනවා. නිර්මාණයේ නම ‘සඳට අහස ආදරෙයි’.

* මේ ටෙලි නාට්‍ය ආදර කතාවක්?

ඔව්, තුන් කොන් ආදර කතාවක්. ඉතාමත් රමණීය දර්ශනතලවල කැපවීමෙන් රූගත කළ ආදර කතාවක්.

* ඒ කියන්නේ මුලක් මැදක් අගක් තියන කතාවක්ද?

ඔව් . . . මේ ටෙලි නාට්‍යයේ පිටපත ලියුවේ ලක්ෂ්මන් පුෂ්පකුමාර. මුලක්, මැදක්, අගක් වගේම හරයකුත් මේ කතාවේ තිබෙනවා.

* ඉතිහාස කතා දෙස ඉතාමත්ම අලංකාරව බලා ඒවා ප්‍රේක්ෂකයාට ළෙන්ගතුව සමීප කළ ඔබ ආදර කතාවලට යොමු වුණේ දැන් රැල්ල ආදර කතා නිසා නේද?

නැහැ . . . මම ඉතිහාස කතා කිහිපයක්ම නිර්මාණය කළා. එවා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තා. නමුත් මම තරුණ තරුණියන් සෘජුවම ආමන්ත්‍රණය කරලා තිබුණේ නැහැ. මෙවර උත්සාහය තරුණ තරුණියන්ට සමීප වීම.

* මේ කතාවත් හැලහැප්පීම් විතරක් තියෙන මෙගා එකක්ද?

ඔව් ඇත්තටම මේක නියම මෙගා එකක්. මුලින්ම මෙගා පටන් ගත්තේ මම. චක්‍රායුධවලින් තමයි මේ නැම්ම ඇති වුණේ. මට මෙගා කියලා අවශ්‍ය දිග කතා කලාව නොවෙයි. හරවත්, අර්ථවත්, ගුණවත් දැවැන්ත නිර්මාණයක් බිහි කිරීමයි.

* මේ කතාව දැනට කොටස් 100 යි, වෙළෙඳ දැන්වීම් වැඩි වෙලා ජනප්‍රිය වෙද්දී, මුදල් අතට එද්දී කතාව රබර් වගෙ ඇදෙයිද?

නැහැ. ඒක වෙන්නේ නැහැ. මම වැඩ කරන්නේ සැලසුමක් ඇතිවයි. මගේ නිර්මාණවලට ප්‍රේක්ෂකයාට මං වග කියනවා.

* ඉතිහාස කතා කලාවට සමු දුන්න ද ඔබ?

නෑ . . . ඉදිරියේදී ඉතිහාස කතාවකට මුල පුරන්නයි ඉන්නේ. නමුත් මට ඊට පෙර ආදර කතාවක් කරන්න උවමනා වෙලා තිබුණා.

* මේ කතාවේ දර්ශන තල සියල්ල කොළඹ අවට ඒවාද?

නැහැ. ඔබ ඔය අහන්නේ දැන් නිපදවෙන බොහෝ නාට්‍ය රාමුවට අදාල ප්‍රශ්නයක්. මේ ටෙලි නාට්‍ය එහෙම රාමුවේ එකක් නෙවෙයි. ඒ නිසා අපි හන්තාන වගේ ලස්සන දර්ශන තල මේ සඳහා යොදා ගත්තා. මගේ ටෙලි නාට්‍ය එදා වේල ටුවර්ස් නෙවෙයි.