වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සියවසක් ඇවෑමෙන් රිදී තිරයේ යළි ගිලෙන TITANIC

සියවසක් ඇවෑමෙන් රිදී තිරයේ යළි ගිලෙන TITANIC

ත්‍රිමාන චිත්‍රපටයටත් උණුසුම්/ ප්‍රතිචාර කේට් – කැමරන් ප්‍රධාන අමුත්තන්

එය සැබවින්ම උන්මාදනීයය. උත්තරීතර ප්‍රේමයක දිග පළල නොදත් ඔවුහු ජැක් හා රෝස් නම් විය. ප්‍රේමය මෙන්ම රතිය ද එක ලෙස විඳ ගන්නා ජැක් හා රෝස් තමන් පය ගසාගෙන සිටි නෞකාව අයිස් පර්වතයක වැදී මුහුදුබත් වන තෙක්ම ප්‍රේමය දෙව් සක්වලක් ලෙස සැලකූහ. ගත වූයේ නිමේෂයකි.

නැව් බඳ දෙකට වෙන්වුණි. පෙම්වතුන් වූ ජැක් හා රෝස් නිල නොවන අඹු සැමියන් වූහ. ජැක් ජීවිතයෙන් සමු ගත්තේය. ඉඳීන් ඒ නෞකාව ‘ටයිටැනික්’ නම් විය.

ඒ අප කලකට ඉහතදී ප්‍රේමයේ නාමයෙන් විඳගත් ටයිටැනික් චිත්‍රපටයයි.1997 දී තිරයට පෑයූ ඒ චිත්‍රපටය ඒ වකවානුවේ වැඩිම මුදලක් වැය කළ චිත්‍රපටය මෙන්ම වැඩිම ආදායමක් ලැබූ අප කවුරුත් දත් චිත්‍රපටයයි. එහෙයින් ඉන් ගම්‍ය වන්නේ ටයිටැනික් පාදක කරගත් රසිකයන් එතරම් නොදත් එමෙන්ම එතරම් පතල නොවූ චිත්‍රපට ද පවතින බවයි.

සැබවින්ම අප ඒ අත්දැකි චිත්‍රපටය ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් ප්‍රබන්ධයයි.

නෞකා මහ සයුරේ සැතපීම පිළිබඳ කොතරම් ලෝකයෙන් සිද්ධි වාර්තා වුවද බොහෝ විට චිත්‍රපටවලට නැඟුණේ එයින් ඉතා කිහිප සිද්ධි ප්‍රමාණයක් පමණි. ඒ අනුව ලෝක සිනමාවේදී ටයිටැනික් වෙත ලැබුණේ ඉතා වටිනා වූ වැදගත්කමකි.

නෞකාව දියත් වීමට මත්තතෙන් සැදැම්ටන් වරායෙදී

ටයිටැනික් වෙත එසේ ප්‍රබල අවධානයක් යොමු වීමට බලපෑ හේතු බැලූ බැල්මටම දෘශ්‍යමාන වේ. ඒ අවධිය 20 වන සියවස ආරම්භයයි. නෞකා හා සාගර ක්ෂේත්‍රයේ පුළුල් විහිදීමක් සහිතව යුරෝපය ඒ සඳහා ඉටු කළේ ප්‍රබල කර්තව්‍යයකි.

‘ටයිටැනික්’ නම් නවීන එමෙන්ම අධි සුඛෝපොභෝගී නෞකාව බිහි වනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. එංගලන්තය අතුළු නැඟී ආ ධනපති පන්තියට එවන් නෞකාවක් අතිශය සම්පතක් වීම මෙන්ම නෞකාව මංගල ගමන ඇරැඹි දින කිහිපයක් තුළ ඒ ධනපතීන් සමඟම මුහුදු බත් වීම එක් අතකින් නිර්මාණකරුවන්ට රස මසවුළු ලැබුණාක් හා සමාන වන්නට ඇත.

1912 වර්ෂයේදී එවන් ඛේදවාචකයක් සිදු වුව ද ටයිටැනික් චිත්‍රපටයකට ගොඩ නැඟුණේ ඉන් වසර සෑහෙන ගණනකට පසුවය. එය 1943 වර්ෂයයි. ටයිටැනික් හා බැඳුණු ධනපතිත්වය භාවිත කරමින් මේ චිත්‍රපටය නිපදවන ලද්දේ ජර්මනියේ හර්බට් සෙල්ෆින් විසිනි. එකී චිත්‍රපටය දෙවන ලෝක යුද සමයේ හුදෙක් නාසි ප්‍රචාරණ යාන්ත්‍රණය ශක්තිමත් කිිරීම සඳහා ජෝසෆ් ගොබෙල්ස් ගේ අණ පරිදි නිපදවූවකි.

එය ටයිටැනික් වෙනුවෙන් නිපද වූ පළමුවැනි සංවිධානාත්මක රූප පෙළයි. සංවිධානාත්මක නොවුණ ද පළමුවරට ටයිටැනික් පිළිබඳ ප්‍රකාශනයක් පැමිණියේ නෞකාව ගිලී සති 4 කට පසුවය. ඒ නෞකාව ගිලී යන විට ඉන් දිවි බේරා ගත් ‘ඩොරති ගිබ්සන්’ නම් ඉංග්‍රීසි නිළියගේ අත්දැකීමක් ඇසුරිනි.

ඉහත ප්‍රකාශන දෙකෙහි කාලය තරමක් දිගු වුව ද 1950 දශකයෙහි සිට නැවතත් ‘ටයිටැනික්’ නිර්මාණකරුවන්ගේ ඇස ගැටිණි. 1979 දී චාල්ස් වෝල්ටර්ස් නිපදවන ලද ‘ද අන්සින්කබල් මොලි බ්‍රවුන්’ චිත්‍රපටයත්, 1979 දීම බිලි හේල් නිපදවන ලද ‘එස්. ඕ. එස්. ටයිටැනික්’ චිත්‍රපටයත්, 1980 දී ජෙරි ජෙම්සන් නිපදවන ලද ‘රෙයිස් ද ටයිටැනික්’ නම් චිත්‍රපටයත් ටයිටැනික් පාදක චිත්‍රපට මාලවේ යම් ප්‍රබන්ධනාත්මක කාර්්‍යයක් ඉටු කළහ. නමුත් ඒ චිත්‍රපට පතල නොවුණා මෙන්ම සිනමා භාෂාව හැසිරවීම පිළිබඳ එතරම් පරිණත බවක් නොඉසිලූහ.

එනමුත් 50 දශකයෙන් පසු ඉදිරියට ගිය ටයිටැනික් සංකල්පය තුළින් බිහි වූ චිත්‍රපට අතරින් චිත්‍රපට ත්‍රිත්වයක් අදටත් ප්‍රබන්ධනාත්මක වශයෙන් බොහෝ කතාබහ වෙන සුළුය. ඉන් එකක් වනුයේ 1953 දී ජෝන් නෙගුලෙස්කෝ අධ්‍යක්ෂණය කරන ලද ‘ටයිටැනික්’ චිත්‍රපටයයි.

අඹු සැමි යුවලක් ප්‍රධාන චරිතයක් කොට ගෙන බිහි වූ චිත්‍රපටය හුදෙක්ම වාර්තා චිත්‍රපට ශෛලිය ආරෝපණය කරන ලද්දක් වූ බව විචාරක මතයයි.

අධ්‍යක්ෂ කැමරන් - කේට් ලන්ඩනයේදී

ධනපතින්ම පමණක් නිරූපණය වූ එම චිත්‍රපටය අයිස් පර්වතයේ ගැටීම හා නෞකාව ගිලෙන්නට යන මොහොතේ පිරිස පණ බේරා ගැනීමට තැත් කිරීම චිත්‍රපටයේ ප්‍රධානම රූප පෙළ වූ නිසා එය වාර්තා චිත්‍රපට ශෛලිය රැගත් කතාවක් වූ බවට තිබූ මතය සපථ කළේය.

ඒ කෙසේ වෙතත් 1958 දී බ්‍රිතාන්‍යයේ රෝයි බේකර් නිපද වූ ‘අ නයිට් ටු රිමෙම්බර්’ චිත්‍රපටය ඉන් තරමක් එහා ගිය චිත්‍රපටයක් ලෙස විචාරක අවධානයට යොමු වී තිබේ.

මන්ද සම්පූර්ණයෙන්ම වාර්තා චිත්‍රපට ආරෙන් බැහැර වූ මෙය ආදරය මෙන්ම වර්ණවත් පසුතලවලින් අලංකාරවත් කරන ලද අතර එහි අවසානය සුඛාන්තයක් ද වීම එහි ආකර්ෂණය වැඩි කරන ලද්දක් විය.

එනමුත් පසු කලකදී නෞකා කර්්‍යය මණ්ඩලය ජීවිතාරක්ෂක බෝට්ටුවලට යන මගීන්ට බාධා කරන දර්ශනය වඩාත් අර්බුදකාරී වූ බව සඳහන් වේ.

ඒ ත්‍රිත්වයේ අවසාන පුරුක වනුයේ අපේ කාලයේ උන්මාදනීය චිත්‍රපටය වූ ජේම්ස් කැමරන්ගේ ‘ටයිටැනික්’ චිත්‍රපටයයි. ලියනාඩෝ ඩි කැප්‍රියෝ හා කේට් වින්ස්ලට් ‘ජැක් සහ ‘රෝස්’ ලෙස රඟපෑ මේ චිත්‍රපටය ජේම්ස් කැමරන් ද නිර්මාණය කරන්නට පෙළඹුණේ ඉහත චිත්‍රපටය වූ ‘අ නයිට් ටු රිමෙම්බර්’ චිත්‍රපටය නැරැඹීමෙන් අනතුරුවය.

රෝස් - කේට් වින්සලට්

ජැක් හා රෝස්ගේ ප්‍රේම වෘත්තාන්තය වඩාත් රොමාන්තික ආකාරයෙනුත්, නෞකා බඳ 2 කට කැඩී ගිලී යන ආකාරය වඩා ත්‍රාසජනක අයුරිනුත් නිර්මාණය වූ චිත්‍රපටයේ ‘එව්රි නයිට් ඉන් මයි ඩ්‍රීම්ස්’ ගීතය ද ලෝ පුරා ගීත රසික ප්‍රජාවගේ අදටත් සිත් බැඳී ගීයකි.

ඒ කෙසේ වෙතත් ටයිටැනික් නෞකාව සිය අවාසනාවන්ත මංගල ගමන ගොස් පසුගිය අප්‍රේල් 15 වැනිදාට සියවසකි.

එය නැවත රිදී තිරයෙන් ගිලෙන්නේත් මේ වසරේදීය. එනම් ජේම්ස් කැමරන්ගේ ‘ටයිටැනික්’ මේ වන විටත් ත්‍රිමාන සිනමා පටයක් ලෙස සැකසී හමාරය. අප්‍රේල් 4 වැනිදා සිට එහි ත්‍රිමාන සිනමාපටය නැවත ලෝපුරා සීමිත තිරගත කිරීමක් අරඹා තිබේ.

ඒ අනුව ලොව පුරා සිනමාහල් 2674 ක තිරගත කිරීම ඇරැඹෙන ටයිටැනික් මේ වන විටත් අති සාර්ථක ගමනක් යමින් පවතී.

ටයිටැනික් නිෂ්පාදකවරු චිත්‍රපට ත්‍රිමාන තත්ත්වයට ගෙන ඒමට අධි තාක්ෂණික ක්‍රමවේද භාවිත කර ඇති අතර ඒ සඳහා සති 60 කුත් ඩොලර් මිලියන 18 ක මුදලකුත් වැය කර ඇති බව වාර්තා වේ.

මාර්තු 27 වැනිදා මෙහි මංගල දර්ශනය ලන්ඩන් නුවර ‘රෝයල් ඇල්බට් හෝල්’ හි පැවැති අතර එයට රෝස් ලෙස රඟපෑ කේට් වින්ස්ලට් හා අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වී ඇත.

ඒ කෙසේ වෙතත් අප්‍රේල් 4 වැනිදා සිට තිරගත කිරීම ලෝක මට්ටමින් ඇරැඹි මේ ප්‍රතිනිර්මාණිත චිත්‍රපටය පළමු සති අන්තය තුළ පමණක් ඩොලර් මිලියන 17 ක් උපයා මේ මොහොත වන විට ඩොලර් මිලියන 630 කටත් වඩා මුළු ඉපයීම් වාර්තා කර හමාරය.

නමුත් සති අන්ත හොලිවුඩ් ආදායම් වාර්තා අනුව ටයිටැනික් තිබෙන්නේ ‘ද හන්ගර් ගේම්ස්’ හා ‘ඇමරිකන් රියුනියන්’ චිත්‍රපට 2 කට පමණක් පසුපසිනි. නමුත් ලොව පුරා ආදායම් වාර්තා පිරික්සූ කළ ටයිටැනික් පළමු දින පමණක් ඩොලර් මිලියන 89 ක ආදායමක් උපයා බොක්ස් ඔෆිස් වාර්තා තබා ඇත.

සීමිත ප්‍රදර්ශනයක් වන මුත් වැඩි දිනක් යන්නට මත්තෙන් ලොව ජනප්‍රියම සිනමා කෘතිය මෙය වන බවට ඉහත ආදායම් වාර්තා සහතික කරයි.

චිත්‍රපටයේ එක් තැනක පමණක් සුළු වෙනස්කමක් සහිතව තිරගත වන ප්‍රති නිර්මිතය එදා ධනපතින් සමඟම ගිලෙන්නට ඇත්තේ පරම්පරා ගණනකගේ උන්මාදය වෙනුවෙන්දැයි නෞකාවේ සියවස සමරන මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වේ.