වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටි නාට්‍ය දෙකක්

කෙටි නාට්‍ය දෙකක්

ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශ ප්‍රධානි වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වැඩසටහන්වරයා විදියට හිටිය තිලක් ගුණවර්ධනගේ පාඨමාලාවේ ශිෂ්‍යයෝ අලුත් වැඩක් කරලා.

ඒ නර්තන නිර්මාණ සංකලනයක් සමඟ කෙටි නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කිරීමයි. චම්මි අසංකාගේ නර්තන නිර්මාණ සංකලනයෙන් වේදිකා ගත වෙන්නේ දිලුක්ෂ මනෝජ්ගේ ‘ඔන්න හොරෝ කවි’ හා ධනුෂ්ක අනුරාධගේ ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යය ද්විත්වයයි. ‘

ඔන්න හොරෝ කවි’ කෙටි නාට්‍යයේ ෂර්මිලා, දිලුක්ෂ, බන්දු යන අය වගේම ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යයේ ක්‍රිෂාණි, විරාජ්, ජාලිය, දුමිඳු, පවිත්‍රා, මල්ක කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රඟපානවා. ඊට අමතරව ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයයේ ජවනිකාවක් ද එදාට වේදිකා ගත වෙනවා.

ඒ මේ මාසයේ 22 වැනිදා ඉරිදා පෙරවරු 10.30 ට හැව්ලොක් ටවුන්වල ලුම්බිණි රඟහලේ. එදාට මේ දරු දැරියන්ගේ දස්කම් බලන්න සම්මානනීය ලේඛක සෝමවීර සේනානායකත් එතැනට එන බව ආරංචි වුණා.

ඔහුගේ ප්‍රධානත්වයෙන් විශාරද ජයන්ත අරවින්ද, ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරු කේ. එන්. ගුණවර්ධන, සුමින්ද සිරිසේන, ලියෝනි කොතලාවල, එස්. විශ්වනාදන්, දයාරත්න රටගෙදර, එස්. පී. ජයසුන්දර යන විශේෂ ආරාධිත ශිල්පීන් එදාට පැමිණීමට නියමිතයි. බක්මහේදී නොමිලේ පැවැත්වෙන මේ කටයුත්ත බලන්න ඔබටත් ඔවුන් ආරාධනා කරනවා.


ශ්‍යාමා විතානගේ නිර්මාණ එළි දුටු දා

ඡායාරූප ශිල්පිනියක හා ලේඛිකාවක වන ශ්‍යාමා විතාන ගේ ‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සහ චිත්‍ර ප්‍රදර්ශනයත් ‘සෙව්වන්දියක්’ නම් නවකතාව සහ ‘පොරොන්දු දේශය’ චිත්‍ර කතාව දොරට වැඩීමේ උත්සවය පසුගියදා ජාඇල සමීර උත්සව ශාලාවේදී පැවැත්විණ.

‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශා්‍යාමාගේ විසිපස් වසරක් කලා දිවියේ තෙවැනි ඇසින් දුටු රස මුසු තැන් එළි දැක්වීම විශේෂත්වයකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලේඛිකාව සිය කෘති එම උත්සව අවස්ථාවට සහභාගි වූ ‘ආරෝග්‍යා’ පුවත්පතෙහි කර්තෘ දීප්ති ෆොන්සේකාට පිළිගන්වන අයුරුයි.


ශාස්ත්‍රා භූමි

අප කවුරුත් දන්න හඳුනන ප්‍රවීණ ගායක ශිල්පී අමරසිරි පීරිස්ගේ අනුමැතිය ඇතිව කෙරෙනා ‘ශාස්ත්‍රා භූමි’ කලායතනයේ ශිෂ්‍යාවන් බක් මහේ 25 වැනිදා සවස 6.30 ට හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ නර්තන ප්‍රසංගයක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ.

ශාස්ත්‍රා’ කියන මේ නර්තන ප්‍රසංගය පැවැත්වෙන්නේ අමාලි දීපිකා දහනායකගේ ඉදිරිපත් කිරීමක් ලෙසින්.


නිරෝජිත්ගෙන් ‘සුන්දරයි ජීවිතේ’

නිරෝජිත් මනෝරත්නගේ කුළුඳුල් ගී කළඹ ‘සුන්දරයි ජීවිතේ’ නම් සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.

මෙහි ගීතවල පද රචනා හා තනු නිර්මාණයන් බන්ධුල කේ. ජාගොඩ, ජයන්ත ගමගේ යන ශිල්පීන්ගේයි. සංගීත සංයෝජනය ජයන්ත ගමගේ සිදු කර ඇත. රංජිත් මනෝරත්නගේ නිෂ්පාදනයකි.


‘ඕලු’ නැවතත්

‘ඕලු ටෙලි නාට්‍ය පාඨක මෙන්ම පේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට පාත්‍ර වුණු කුමාර කරුණාරත්නගේ ‘ඕලු’ නවකතාවේ කාණ්ඩ පහ නැවතත් ඔබ අතට රැගෙන එන්නට මේ දිනවල සූදානම්.

ඒ මේ අවුරුදු මාසයේ 24 වැනිදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී.


දෙයියොත් දන්නෙ නෑ

අප්‍රේල් 21 සහ 22 වැනිදා බක් මහේ නැඟෙන අසිරියත් අරගෙන සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය තැන් දෙකක වේදිකා ගත කරන්නයි ඔහු සූදානම් වෙන්නේ.

ඒ 21 වැනිදා මීගමුව නගර ශාලාවේත්, 22 වැනිදා මරදාන ටවර් රඟහලේත්.