වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ඇසුර වයස අවුරුදු 14 දී

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා - 2

මුල්ම ඇසුර වයස අවුරුදු 14 දී

ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ උපත් බර රාත්තල් 11 යි අවුන්ස 2 ක් (කි. ග්‍රෑ. 5.2) වූ නිසාම හෙදියෝ ඔහුගේ මව්පියන්ට පෙර ඔහුට නමක් යෙදූහ. ඒ ‘සැම්සන් ඇන්ඩ් ඩිලයිලා’ කතාවේ ‘සැම්සන්’ නමැති ශක්තිවන්තයා සිහි කරමිනි.

1930 මැයි 31 දා උපන් ක්ලින්ට් යොවුන් වියට එළඹෙන විටම ලිංගික තෘප්තිය ලද අයෙක් වූයේය.

ක්ලින්ට් සහ මැගී සාදයකදී

ක්ලින්ට්ගේ ජීවිත කතාව ලියූ රිචඩ් ෂික්ල් හට ක්ලින්ට් පවසා ඇත්තේ තමා පළමුවෙන්ම කාන්තාවක ලිංගිකව ඇසුරු කරන විට තමාගේ වයස අවුරුදු 14 ක් පමණක් වූ බවය. ඒ වන විට ද අඩි හයක් උස ශක්තිමත් සිරුරකට හිමිකම් කියූ ගැටවර ක්ලින්ට්ගේ රුව බොහෝ යුවතියන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ද නෙත්වලට රසඳුනක් විය.

ක්ලින්ට් ගේ මව රූත් ගැටවර වියේ පසු වූ තම පුතු ගැන පැවසුවේ මෙවැන්නකි.

‘මමවත් මගේ සැමියාවත් ලජ්ජාශීලී අය නෙවෙයි. ඒත් ක්ලින්ට් සමාජයට එක්වීමට ලජ්ජාවෙන් මෙන් හැම විටෙකම පසෙකට වී සිටියා. ඔහු හුදෙකලාව ප්‍රිය කරන බවක් ද පෙනුණා.’

එහෙත් සැබෑව එය නොවීය. අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි ක්ලින්ට්ගේ ජීවිතයේ රහස්‍ය පාර්ශ්වයක් ද වූයේය. ඔහු වියපත් කාන්තාවන් රහසේ ඇසුරු කළේය. එහෙත් එම ආශ්‍රයන් ලිංගිකත්වය මූලික කරගත් ඒවා මිස ප්‍රේමය මූලික කරගත් ඒවා යැයි පැවසීමට අසීරුය.

යෞවනයේදී ඔහු කිසිම යුවතියකට පෙම් කළේ යැයි සිතන්නට තරම් සාධක නැත. පාසල් ශිෂ්‍යයෙක් ලෙස ඔහු පැසි පන්දු, පාපන්දු, ජිම්නාස්ටික් හා පිහිනුම් යන ක්‍රීඩාවන්හි නිරත වූයේය. ඕක්ලන්ඩ් උසස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී ගුරුවරියක ඔහු පාසල් නාට්‍යයක රඟපෑමට තෝරා ගත්තාය. එහෙත් ක්ලින්ට් එම නාට්‍යයේ රඟපෑම ප්‍රතික්ෂේප කළේ තමන්ගේ සිත්හි රංගනය පිළිබඳ කිසිම ආසාවක් නැතැයි පවසමිනි.

ඔහුගේ පවුල වරින් වර විවිධ ප්‍රදේශවල පදිංචියට ගිය හෙයින් ඔහුට ද වරින් වර පදිංචිය හා පාසල් මාරු කරන්නට සිදු විය. සමහර විට ඔහුගේ ජීවිතයට යුවතියක එකල ළං කර ගන්නට නොහැකි වූයේ මේ එඩේර ජීවිතය නිසා වන්නට පුළුවන.

‘තාත්තාටත් අම්මාටත් තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා අපට වරින් වර පදිංචිය වෙනස් කරන්න සිද්ධ වුණා. තාත්තා රැකියාවක් සොය ගන්නා ප්‍රදේශවලට අපට තාත්තා එක්ක යන්න සිද්ධ වුණා. ඒ විවිධ පළාත්වලදී මාත් විවිධ රැකියාවන් කළා.’

ගණිතය විෂයයට ඉතා දුර්වල, එහෙත් ඉතිහාසය විෂයය ආසාවෙන් උගත් ක්ලින්ට් දීප්තිමත් සිසුවකු වූයේ නැත. ඔහු ජීවිතාරක්ෂකයෙක්, පුවත්පත් බෙදන්නෙක්, වෙළඳ සලක ලිපිකරුවෙක්, වනාන්තරවල ලැව් ගිනි නිවන්නෙක් ආදී වශයෙන් විවිධ රැකියාවන්හි නියැළුණේය. 1950 දී කොරියානු යුද සමයේ ඔහු අමෙරිකානු හමුදාවට බැඳී වසරක කාලයක් හමුදා සේවයේ නිරත වූයේය. 1951 වසර අගදී ඔහු ලොස් ඇන්ජලිස් හි පදිංචියට පැමිණියේය.

සුළු සුළු රැකියාවන්හි නිරත වන අතරතුර චිත්‍රාගාරයන්ට රිංගූ ඔහු චිත්‍රපට නිෂ්පාදන කටයුතු දෙස බලා සිටියේය. යම් යම් දේ උගත්තේය. නමුත් ඒ වන විටත් රඟපෑම කෙරේ ඔහුගේ සිත යොමු වී නොතිබිණි.

එසේ වුව යුවතියක පිළිබඳ සිතක් නම් ක්ලින්ට් හට ඇති වී තිබිණි. ඔහු පිහිනුමට හා රළ පදින්නට ප්‍රිය කළ නිසාම දිනපතාම පාහේ වෙරළට යාම ඔහුගේ පුරුද්දක් වුයේය. මුහුදට ඇලුම් කළ තවත් යුවතියක ද දිනපතා වෙරළට පැමිණියාය. ඒ වන විට ද ශිෂ්‍යාවක වූ ඇය ද ක්ලින්ට් මෙන්ම පිහිනුමට හා රළ පදින්නට ප්‍රිය කළාය. දෙදෙනා එක්ව පිහිනූහ. රළ පැද්දාහ. ක්‍රමයෙන් දෙදෙනා අතර දැඩි ඇසුරක් ඇති විය. ඇය මැගී ජොන්සන් වූවාය.

‘ඇත්තටම මැගී ගැන මගේ හිතේ ප්‍රේමයක් ඇති වී තිබුණත් ඒ වග ඇයට කියන්න තරම් ධෛර්යයක් මගේ හිතේ තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ තමයි මගේ හිතට ප්‍රේමය මුලින්ම ඉතා තදින්ම දැනුණ අවස්ථාව. මැගීත් මට හුඟාක් ඇලුම් කළා. අපි හන්ටින්ඩන් වෙරළේදී, සැන් ඔනොෆෙ‍්‍ර වෙරළේදී එහෙමත් නැත්නම් සැන් ක්ලෙමෙන්ටෙ වෙරළේදී නිතර හමු වුණා. රළ පැද්දා, පිහිනුවා’ ක්ලින්ට් පවසයි.

මැගී ඉගෙනුම අවසන් කර රැකියාවක් කිරීම ඇරඹුවාය. දෙදෙනාම කාර්ය බහුල වූ නිසා දෙදෙනාට පෙර මෙන් නිතර මුණ ගැසෙන්නට ද අසීරු වූයේය.

ඇය නොදැක සිටීම අසීරු වග ක්ලින්ට් හට දැනෙන්නට විය. මැගීට ද එසේම දැනෙන්නට විය.

‘විවාහය ගැන කතාවකදී මූලික වෙන්න ඕනෙ පිරිමියා වග මම දැනගෙන හිටියා. ඉතින් මම දවසක් මැගීට අපි විවාහ වෙමුයි කීවා. එයා ඒකට එකඟ වුණා’ ක්ලින්ට් පැවසුවේය.

ඒ වන විට ඔහු ඉන්ධන පිරවුම්හලක සේවය කරමින් සිටි අතර ඔක්නර්ස්ට් ඩ්‍රයිව් ප්‍රදේ්ශයේ නිවෙසක් කුලියට ගෙන සිටියේය. මැගීගේත් තමාගේත් රැකියාවන්ගෙන් ලැබෙන මුදල් යුග ජීවිතයක් පවත්වාගෙන යාමට සෑහෙන බව ක්ලින්ට් වටහා ගත්තේය. ඒ අනුව ක්ලින්ට් මැගී සමඟ 1953 දෙසැම්බර් 19 දා ගෞරවනීය ආකාරයට දේවස්ථානයකදී යුග දිවියට එළඹුණේය. ඉන් පසු ඔවුන් මධුසමය සඳහා පිටව ගියේ කාර්මෙල් ප්‍රදේශයටය.

ක්ලින්ට් – මැගීී විවාහය වසර 31 ක් තිස්සේ පැවතිණි. ඔවුන් දික්කසාද වූයේ 1984 දීය. නමුත් එම වසර 31 ඇතුළත ක්ලින්ට් මොන තරම් අනියම් සම්බන්ධතා පවත්වා ගෙන ගියේද? නීත්‍යානුකූල විවාහය හරහා පියකු වීමට පෙර ක්ලින්ට් පියකු වූයේ අනියම් සම්බන්ධතාවකින් ලද දරුවකුටය.

‘මැගීී එක අතකට පුදුම කෙනෙක්. එයා කිසිම වෙලාවක මාව පවුල් ජීවිතය ඇතුළත දම්වැල් දාලා බැඳ තබා ගන්න උත්සාහ කළේ නැහැ.’ ක්ලින්ට් පසු කලෙක පැවසුවේය.

කෙසේ වෙතත් ක්ලින්ට්ගේ ජීවිතයට බොහෝ කාන්තාවන් ළං වූයේ ඔහු නළුවකු වූ පසුවය. චක් හිල් නමැති මිතුරාගේ මාර්ගයෙන් යුනිවර්සල් චිත්‍රාගාරයට ගිය ක්ලින්ට් තිර පරීක්ෂාවකට පෙනී සිටියේය. අඩි හයයි අඟල් 4 ක් උස් වූ මෙම තරුණයා සතියකට ඩොලර් 100 ක වැටුපකට චිත්‍රාගාරයට බඳවා ගැනිණි. අතිරේක නළුවකු ලෙස කටයුතු කළ ඔහු එසේ කළේ රඟපෑමට ඇති ආසාව නිසා නොව මුදල් ඉපැයීම පිණිසය.

1954 අප්‍රේල් මාසයේ එසේ යුනිවර්සල් චිත්‍රාගාරයට ගිය ඔහු මාසයකට පසු තවත් තිර පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබිණි. ‘සික්ස් බ්‍රිජස් ටු ක්‍රොස්’ නමැති එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජෝශප් පෙව්නි, ක්ලින්ට් එළවා දැමුවේ ‘කැමරාව ඉස්සරහා හරියට හැරෙන්නවත් නොදන්න මිනිහෙක් නළුවකු වන්නේ කෙසේද?’ යි ප්‍රශ්න කරමිනි.

ලබන සතියේ

නර්තන ශිල්පිනියගේ ප්‍රේමය