වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ප්ලෝටස්ගේ උත්ප්‍රාසය

ප්ලෝටස්ගේ උත්ප්‍රාසය

ඔබ මේ ලිපිය කියවන දිනය වන විට මා සිටින්නේ ප්ලෝටස් නම් නාට්‍ය රචකයාගේ මාතෘ භූමිය වූ රෝමානු රාජ්‍යයේය. එහෙත් මා මේ ලිපිය රචනා කරන්නේ ඉතාලියේ රෝම නුවර වෙත යාමට පෙර මගේ මාතෘ භූමියේ සිටයි.

අප සාකච්ඡා කරමින් සිටියේ නාට්‍යමය උත්ප්‍රාසය හෙවත්  Dramatic Irony  නම් වූ නාට්‍ය යෝගය පිළිබඳවය. ලාංකේය නාට්‍ය කලාවේ ජනකාන්ත අවධිය වන්නේ ද උත්ප්‍රාස නාටකයක් වූ සුබ සහ යස නාට්‍යය හරහාය. උත්ප්‍රාසකය යනු හාස්‍යයට වඩා උසස් වූත් කුතුහලයට වඩා ගැඹුරු වූත් දුර්ලභ අධ්‍යාත්ම විභාගයකි.

මම උත්ප්‍රාස රසය පිළිබඳ න්‍යායික අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් වුවද ඒ පිළිබඳ ප්‍රයෝගික ඔප්පු කිරීම් අත්වින්දේ ලූෂන් බුලත්සිංහලයන් යටතේය. මහාචාර්ය අනුර වික්‍රමසිංහයෝ මගේ න්‍යාය ගුරුවරයා වූහ. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේදී උගත් න්‍යාය පාඩම් සඳහා විශ්ව විද්‍යාලය තුළ පරිපූර්ණ ප්‍රයෝගික අධ්‍යාපනයක් නොතිබුණි. මංගල සේනානායක, ඊ. එම්. ඩී. උපාලි ආදී මගේ සමකාලීන ශිෂ්‍යයින් නාට්‍ය කලාව අත්හදා බැලුවේ වින්දනයට මිස අධ්‍යයනයට නොවේ.

මම විශ්ව විද්‍යාලයට යාමට පෙර 1980 දී තරුණ සේවා නාට්‍ය උළෙලක් සඳහා ඉදිරිපත් කොට සම්මාන ද දිනා තිබූ ‘ලෝදිය’ නම් ස්වතන්ත්‍ර පිටපත මම කොළඹ විශ්ව විද්‍යාලයේදී යළි නිෂ්පාදනය කෙරුවෙමි. මා ඊට පෙර මගේ පළමු වසරේදීම මංගල සේනානායකගේ ‘එහෙත්’ නම් ඒකාංග නාට්‍යයේ රඟපා සුගතපාල ද සිල්වා සහ සෝමලතා සුබසිංහ ආදීී ප්‍රවීණයින්ගෙන් විනිශ්චය වී හොඳම නළුවා ද වී සිටියෙමි.

සුගතපාල ද සිල්වා ගුවන් විදුලියේදී ලූෂන් බුලත්සිංහල හමු වී ‘කොළඹ විශ්ව විද්‍යාලයේ හොඳට රඟපාන්න, සින්දු කියන්න, නටන්න දන්න කොලු ගැටයෙක් ඉන්නවා’ යැයි දැනුම් දී තිබුණි. ඒ වන විට ලූෂන් බුලත්සිංහල තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදනය සඳහා නළු නිළියන් තෝරමින් සිටි කාලයයි. (තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ පළමු නිෂ්පාදනය අවුරුද්දක්වත් කල්ගත වන්නට පෙර කඩා වැටුණේ එහි නළු නිළියන් නිෂ්පාදකට විරුද්ධව ගැසූ කැරැල්ලක් නිසාය. එය සිංහල වේදිකාවේ සිදු වූ එකම වැඩ වර්ජනයයි).

මම විශ්ව විද්‍යාල භූමියේ ශිෂ්‍ය සභා කාර්යාලය තුළ විරෝධ පොස්ටර් අඳිමින් සිටියෙමි. (ඒ වකවානුවේ කොළඹ විශ්ව විද්‍යායේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සියලුම පෝස්ටර් අඳින්නේ මා විසින්ය). තරංග රුක්මල්වල කියා අයෙකු ලූෂන් බුලත්සිංහලගෙන් පණිවිඩයක් රැගෙන ජිම් කැන්ටිමට විත් සිටින්නේ යැයි මවෙත පණිවිඩයක් ලැබෙයි. ලූෂන් බුලත්සිංහලගේ නම ඇසූ සැණින් මම කලබල වීමි. මීට පෙර නාට්‍ය වේදිකාවෙන්, ගුවන් විදුලියෙන්, පුවත්පතින් සහ ‘වෙස් ගත්තෝ’ චිත්‍රපටයෙන් පමණක් දැනගෙන සිටි ප්‍රතිභාපූර්ණ කලාකරුවා මවෙත පණිවිඩයක් එවනු ඇතැයි මම සිතා නොසිටියෙමි.

තරංග රුක්මල්වල නම් වේශ නිරූපණ ශිල්පියාගේ දැනුම් දීමෙන් එදිනම සවස් භාගයේ මම බෞද්ධාලෝක මාවතේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශාලාවකදී ලූෂන් බුලත්සිංහලයන්ව බැහැ දැක්කෙමි. ඔවුහු තාරාවෝ ඉගිලෙති පිටපත කියවමින් (Script Reading) සිටියෝය. මගේ තතු මඳක් විමසූ බුලත්සිංහලයන් ඔවුන්ගේ කණ්ඩායමට මා එකතු කොට ගත්තේය.

මා උත්ප්‍රාසය හඳුනා ගත්තේ තාරාවෝ ඉගිලෙති පිටපත කියවද්දීමය.

ඒ නාටකය ඒ වන විට ලංකාවේ නාට්‍ය කලාවේ තාරකා ලක්ෂණය බිහිකොට ජනප්‍රිය වී තිබුණ ද මා එය නරඹා තිබුණේ නැත. නිල්පාට ෆයිල් කවරයක බහා කොළ පාට ලේස් පටියකින් ගැට ගැසූ රෝනියෝ කරන ලද තාරාවෝ ඉගිලෙති පිටපත මා එදින රාත්‍රියේ කියවා දැමුවේ රස වෑහෙන මිහිරියාවකිනි.

මේ පිටපත තුළ ඇති නාට්‍යමය උත්ප්‍රාසය මම හොඳින් හඳුනා ගත්තෙමි.

ඒ වන විට මා ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය යුගය පිළිබඳත්, රෝම හාස්‍ය නාට්‍යධර ප්ලෝටස් පිළිබඳත් විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගෙන තිබුණෙමි. එහෙත් තාරාවෝ ඉගිලෙති රෝම කතා මුලයක් ගෙන ලංකාව තුළ සිදු කළ අනුවර්ථනයක් වූ නිසා මුල් නාට්‍යය වූ Twin Menaechmi නාට්‍යයේ නොවූ බොහෝ නාට්‍ය ධර්ම සිංහල පිටපතේ තිබූ බව මට අවබෝධ විය. සංස්කෘත නාට්‍යවල තිබූ සුභවාදී සෞන්දර්ය විෂය හරහා ලූෂන් බුලත්සිංහල ප්ලෝටස්ව කියවා ඇතැයි මට ඒ දිනවලම සිතී තිබුණි.

ප්ලෝටස්ගේ නාටකයේ ඇත්තේ ග්‍රීසියේ සිට රෝම නුවරට එන නාවුකයින්ගේ කතාවකි.

ක්‍රි. පූ. 205 සිට 160 දක්වා නාට්‍ය රචනා කළ ප්ලෝටස්ගේ යුගය වනාහී ග්‍රීක අධිරාජ්‍යයේ ඉසුර දිය වී රෝමය කීර්තිමත් වූ යුගයයි.

එහෙයින් ඒ වකවානුවේ ග්‍රීකයින්ට රෝමය පරමාදර්ශී රාජ්‍යයක් බවට පත්ව තිබුණේය. ගරා වැටෙන ග්‍රීසියේ සිට නූතන රෝමය දක්වා බොහෝ වෙළෙඳ දන සංක්‍රමණය විය.

1980 වන විට ලංකාවේ අතීත ශ්‍රීී විභූතිය ගරා වැටී සිංගප්පූරුව අපේ නූතන පරමාදර්ශය බවට පත් වී තිබුණේය. 1965 දී ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාවක් බවට පත් කරන බව කීව ද 1977 දී ජේ. ආර්. ජයවර්ධන ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන්නේ යැයි පිළිණ දුන්නේය.

ලංකාව සිංගප්පූරු සිහිනයෙන් තුෂ්නිම්භූත වී ගියේය.

සමකාලීන සමාජ සංවේදීතාව තම නිර්මාණාවේෂය බවට පත් කර ගත් ලූෂන් බුලත්සිංහල ප්ලෝටස්ගේ රෝමානු තේමාව ලංකාවට ගැළප්පුවේ උත්ප්‍රාසාකර විලසටයි. ග්‍රීක නිවුන් සහෝදරයා දියුණු රෝමයේදී ඇස් නිලංකාර කර ගත්තා සේ ලංකාවේ නිවුන් සොහොයුරා සිංගප්පූරුවේදී තුෂ්නිම්භූතව මෙසේ ගැයුවේය.

සෝබාව දේ මෙපුර

විරි විසිතුරු බලනු මිතුරු

මග පියකරු වූ

සුසුදු වළා කැරැළි පළසකි මේ

මහ දිග ඇතිරූ

අහස සූරන මැදුරු

දැන් මේ ලිපිය අවසන් කොට ගුවන් තොටුපළ දක්වා ගමන් කළ යුතුය. හෙට දිනයේ මා ප්ලෝටස්ගේ

Twin Menaechmi නාට්‍ය රඟ දැක් වූ ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ පොම්පෙයි ඇරීනා තියටරය වෙත සංචාරය කිරීමට නියමිතය.

එහෙයින් එන්න,

පොම්පෙ ඇරීනාවේ දිග පළල දැක ගැන්මට

මේ වේදිකාව හොඳයි