වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පෙමක පැටලී මේනක දික්කසාදයි

සඳලි ප්‍රවීණ් විවාහ වෙයි....!!!

සඳලි සුලක්නා සහ ප්‍රවීණ් ජයරත්න නොබෝදා විවාහ දිවියට ඇතුළු උනා.

පවුල් දෙකේ පිරිස එකතු වෙලා බොහෝ චාමෙට මෙම විවාහය කළ බව තමා ආරංචිය. මෙම දෙදෙනා අතර වසරක පමණ පෙම් සබඳතාවයක් තිබිලා.

ප්‍රවීණ් කියන්නේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්.

ප්‍රවීණ්ගේ තුම්මුල්ලේ ගෙදර දෙදෙනාම අළුත් ජීවිතය ගෙවන බවත් තව නොබෝ දිනකින් මෙම දෙදෙනාගේ මිතුරන්ට පොඩි පාටියක් දෙන්න ලෑස්තියක් තියෙන බවත් ආරංචියි.

සඳලි ප්‍රවීණ් ට සුබ මංගලම්...!!!!!



පෙමක පැටලී මේනක දික්කසාදයි

එක්වීමක් ඇති වුණහොත් වෙන්වීමක් තියෙනවා කියා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. මේ කියමන අද අදාළ වෙන්නේ ජනප්‍රිය නළු මේනක රාජපක්ෂටයි.

ඒ ඔහුගේ විවාහ දිවිය දෙදරා යෑම නිසයි. ඊයේ දිනයේදී මේනක තම බිරියගෙන් නීත්‍යානුකූලව වෙන් වුණා කියලා ආරංචියි.

මේනකගේ සුරතල් දියණියගේ භාරකාරත්වය නම් බිරිඳට පැවැරුණා. එහෙත් දියණියට නඩත්තු ගෙවීමට මේනකට සිදු වෙනවා. මේ දික්කසාදයට හේතුව නම් ප්‍රසිද්ධ රහසක් වන ක්ෂේත්‍රයේම පෙම් පළහිලව්වක් බවයි ආරංචි.

කොහොම වුණත් මේ නිළිය නිසාම මේනක පිස්සුවෙන් සිටිනවා කියලත් ආරංචියි.


ඇතුගලගේ මහ සමයම එළි දකී

මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්යකට මුල පුරලා. ඒකේ නම මහ සමයම. ජන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් නිර්මාණය වූ මහ සමයම දැවැන්ත වේදිකා නාට්‍යයක්. නෙළුම් පොකුණේ පැවති චාම් උත්සවයකදී මූලික වැඩ කටයුතු ඇරැඹුණ මහ සමයම සඳහා ප්‍රවීණ මෙන්ම නව පරපුරේ දක්ෂ නළු නිළියන් කැලක් සම්බන්ධවයි.

ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද ඒ අතර ඉන්නවා.

සංගීතය මෙහෙයවීම කෝලිත භානු දිසානායකගෙන්. රංග වින්‍යාසය රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගෙන්. රචනය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ වන මහ සමයමහි පුහුණුවීම් නොබෝ දිනකින් ඇරැඹේ.


ටෙලි තැනේ අනර්කලී හැලේ

ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ෂාව ක්‍රමයෙන් ටෙලි නාට්‍යවලින් හැලීමේ රහස් කටයුත්තක් ක්‍රියාත්මක වන බව සැලයි. ටෙලි ක්ෂේත්‍රයේ මේ දිනවල සිටින මෙගා ශිල්පීන් කිහිප පොළක්ම එකට එක් වී මේ කටයුත්ත සිදු කරයි. ඔවුන් චෝදනා කරන්නේ පාලනයක් නැති මුකරි කට හා අනර්කලීගේ ආඩම්බරකාර ගති පැවතුම් නිසා මේ දේ සිදුවන බවයි. මේ සියල්ල අතරතුර අනර්කලී ටික දිනකට විදේශ ගතවීමට ද යන බව ආරංචි වේ.


මර්සිට සැත්කමක්

රටම හිනැස්සූ මර්සි එදිරිසිංහගේ මේ තොරතුරු ඇසුවොත් ඔබේ නෙතට කඳුලක් නැගේවි. මේ ඇය පිළිබඳ දුක්මුසු ආරංචියක්.

මට කාලයක් තිස්සේ දකුණු කකුලේ පොඩි රිදීමක් තිබුණා. මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කාලෙකට පස්සේ කකුල ඉදිමුණා. ඊට හේතුව හොයා ගත්තු වෛද්‍යවරයා කිව්වේ ගර්භාෂයේ ඇති ගෙඩියක් නිසා වේදනාව හටගත් බව. ඉක්මනින් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන්නත් ඕනෑ බව ඔහු පැවසුවා.

ඒ නිසා පසුගිය 11 වැනිදා මුළු ඇඟම සිහි නැති කරලා ඒ ඔපරේෂන් එක කළා. දැන් නම් ටිකක් සනීපයි. වෛද්‍යවරු කියනවා දිගටම රෙස්ට් කරන්නලු. එත් මට එක තැනකට වෙලා ඉන්න බැහැ. මං බොහොම කඩිසරව ඉන්න කෙනෙක්. කෙසේ නමුත් මේ වෙනකම්ම මගේ රාජකාරි සහ කලා කටයුතුවලින් බැහැරව කාලය ගත කලේ. හැකි ඉක්මනින් මගේ පුරුදු දිවිය අරඹනවා.

එයට පෙර පසුගියදා මර්සි එදිරිසිංහගේ දයාබර මෑණියන්ගේ අවසන් කටයුතු සඳහා මහන්සි වුණු ඇයත් සමඟ දුක බෙදා ගත් වරකාපොල අමේපුස්ස ගම්වාසීන්ට, ඊට සහභාගි වූ කලාකරුවන්ට, මිත්‍රයන්ට, නැදෑ හිතවතුන්ට, පවුලේ පිරිසට, ගම්පහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කන්‍යා සොහොයුරියන්ට, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කතානායක චමල් රාජපක්ෂ, රඹුක්කන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස, කරු ජයසූරිය, කබීර් හෂීම් යන මහත්වරුන්ට ස්තුති කරන්නත් ඇය අමතක කෙරුවෙ නැහැ.


උදාරිට දියණියක්

පුවත් මවන්නියක වූ උදාරි වර්ණකුලසූරිය විදෙස් ගත වුණේ ඇගේ කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වන්නටයි. ඉහිලුම් නැති සතුටින් සිංගග්පූරුවේ දිවි ගෙවන උදාරිට ලැබෙන්නේ ඉන්නේ ගැහැනු දරුවෙක්ලු. ඒ දූ සිඟිත්තිය උදාරි වගේම රුවැත්තියක් වනු ඇතැයි මේ ආරංචිය දැනගත් බොහෝ දෙනෙකුගේ මතයයි.

මේ වසර අගදී උදාරි සිය දියණියව රැගෙන ලංකාවට පැමිණීමට නියමිතයි. අනතුරුව ඇගේ රංගන කටයුතු පෙර සේම ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.


මස්ඉඹුලගේ ‘බිත්තියේ සිත්තම’ ට වියට්නාමයෙන් ඇගයුම්

සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙක්, සහය අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ජනප්‍රිය කවියෙකු ද වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පසුගිය දවසක වියට්නාමයට ගියා. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි.

පළමුවරට පැවති ආසියා පැසිපික් කවි සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කවිය නියෝජනය කරන්න. ඔහුත් සමඟම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍යයට සම්මාන හිමි කර ගත් කන්දයියා ගනේශමූර්තිත් මේ ගමනට එක් වුණා.

ලෝකයේ රටවල් 27 කින් කවි කිවිඳියන් 80 ක් පමණ සහභාගි වූ මේ සමුළුව බොහොම හරවත් එකක් වූ බවයි ආරංචිය. විශේෂත්වය නම් මහින්ද මස්ඉඹුල ඉදිරිපත් කළ ‘බිත්තියේ සිත්තම’ නම් කාව්‍යය සමුළුවේ බෙහෙවින් කතා බවට ලක්වීමයි.

මස්ඉඹුලගේ මේ කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනයට ලක් කරලයි තිබුණේ. ඒ ‘Painting on the Wall’  නමින්. ඔහුගේ කාව්‍යයට පිළිගැනීමක් ලැබුණා විතරක් නෙවෙයි එය රටවල් 14 ක භාෂාවන්ට පරිවර්තනය වීමත් කැපී පෙනුණා.

එක් අතකින් ඒක ලංකාව ලබපු ජයග්‍රහණයක්. මොකද කාව්‍ය නියෝජනය කරමින් රුසියාව, එංගලන්තය, සිගප්පූරුව, ඊශ්‍රායලය, චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව නියෝජනය කරමින් පරසිඳු කවියෝ වියට්නාමයට ආ නිසා.