වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ට අමෙරිකාවේ අරියාදු

ෂාරුක්ට අමෙරිකාවේ අරියාදු

ලොවම අතවැසි කරන්නට තරම් බලයක් ඇත්තේ විශිෂ්ට කලාකරුවකුටය. ඒ බලය දේශපාලනඥයකුට සිතීමටවත් නොහැක්කේ ඔහුගේ හිස ද කලාකරුවා වෙත නිරායාසයෙන්ම නැවෙන බැවිනි. එසේ නොවූ විට එය භූමිකම්පාවක් මෙන් මිහිතලයටම දැනෙයි.

ෂාරුක් ඛාන් නම් බොලිවුඩයේ සුපිරි තරුව ගැන නොදන්නේ නම් ඒ හයක් හතරක් නොතේරෙන සිඟිත්තකු පමණි. එහෙත් ලොවම දන්නා ඔහු නොහඳුනන දේශයක් තිබේ. ඒ අමෙරිකා එක්සත් ජනපදයයි.

බොලිවුඩ් පුරයේ රජු ෂාරුක් සැක කටයුතු පුද්ගලයකු ලෙස සලකා අමෙරිකානු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම අද ලොව පුරා විසිර සිටින ෂාරුක් ලෝලීන්ගේ බලවත් අප්‍රසාදයට හේතු වී තිබේ. මේ ඔහු අමෙරිකානු ගුවන් තොටුපොළේදී ප්‍රශ්න කෙරුණු දෙවැනි වතාවයි.

යේල් සරසවියේ ප. ව. 4.00 ට පැවැත්වීමට නියමිත දේශනයකට සහභාගිවීමට ෂාරුක් පසුගියදා අමෙරිකාව බලා ගියේය. එහෙත් ඔහු මෙසේ අනවශ්‍ය ලෙස රඳවා ගැනීම නිසා දේශනයට සහභාගි වූයේ පැය දෙකක් පමාවීලයි.

‘මට වැඩකට පමා වෙලා යන්න ඕන නම් මං එන්නෙ අමෙරිකාවට.

නිලධාරීන් ඊළඟ පාර මගේ පාට ගැන ඇහුවොත් කියන්නේ සුදුයි කියලා.’ ෂාරුක් යේල් දෙසුම අරඹමින් මේ නිර්ධය ක්‍රියාව සමච්චලයට ලක්කර තිබේ.


දිව්‍ය භාරතී යළි උපදී

දිව්‍යමය රුවකට හිමිකම් කී ඇය දෙව් ළියක් සේ අතුරුදන් වූවාය. තවමත් බොලිවුඩයේ රසික රසිකාවන්ට එය අදහාගත නොහැකිය.

එහෙත් කණගාටුවෙන් වුවත් ඇය ජීවතුන් අතර නැති බව පිළිගැනීමට සිදු වී තිබේ.දිව්‍ය භාරතී නොසිතූ මොහොතක හරියටම මීට වසර දහනවයකට පෙරදී ජීවිතයෙන් සමු ගත්තේ බොලිවුඩයේ තවත් එක් අබිරහස් මරණයක් සනිටුහන් කරමිනි. අනූවේ දශකයේදී මිලියන ගණනින් ජන හදවත් සොරා ගත් ඈ ‘පුංචි ශ්‍රී දේවි’ ලෙසින් ද ප්‍රකට වූවාය.

‘බෝබිලි රාජා’ නම් තෙලිඟු සිනමා පටයෙන් සිනමා ජීවිතය ඇරැඹූ ඇය ‘විශ්වාත්මා’, ‘ෂෝලා ඕර් ෂබ්නම්’, ‘දීවානා’ වැනි සිනමා පටවලින් අතිශය ජනාදරයට පත් වූවාය.

දිලිඳු සුරූපිනියක ලෙස සිනමාවට අවතීර්ණ වී පසුව මුදල් උපයන යන්ත්‍රයක් බවට පත් වූ දිව්‍යාගේ සංකීර්ණ ජීවිත කතාව තිරයට ගෙන ඒමට වික්‍රම සන්දු සූදානම් වෙයි. තිර රචනය අවසන් කළ ඔහු දැන් දිව්‍යාට සමාන මුහුණක් සොයමින් සිටියි.

මිය යන විට දිව්‍යා විවාහ වී සිටියේ චිත්‍රපට නිෂ්පාදක සජීඩ් නදියද්වාලා සමඟයි. සිනමා පටය ජූලි මාසයේදී ඉන්දියාවේදී සහ ඩුබායිහි දී රූගත වීමට නියමිතය.


සුබ අලුත් අවුරුද්දක්

සැබෑ ජීවිතේදී තිරසාර ආදරවන්තයන් වීමටත් වඩා තිරයේ ආදරවන්තයන් වීම බොලිවුඩයේ තරු යුවළකට අසීරු කාරණයක්. ඒ ඔවුන් තිරයේ ස්ථාවර පෙම්වතුන් ලෙස රජ කරවන්නේ රසිකයන් නිසයි.

මෑතකදී ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත් දිනාගත් තරු යුවළ වූයේ ෂාරුක් සහ කාජල්ය. දෙදෙනා අවසන් වරට රසිකයන් සොඳුරු ලොවකට රැගෙන ගියේ 2010 පෙබරවාරියේදීයි. ‘මයි නේම් ඉස් ඛාන්’ සිනමා පටයේ ප්‍රධාන තරු යුවළ වූයේ මේ දෙදෙනාය.

යළිත් ඔවුන් තිරයට ගෙන ඒමේ සුබ ආරංචිය ගෙන එන අධ්‍යක්ෂවරයා, අන් කවරකු හෝ නොව කරන් ජොහාර්ය. ඔහු නැවත නැවතත් තම නිර්මාණවලට ෂාරුක් ඛාන් සහ කාජල් සම්බන්ධ කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ එය සිනමා පටයේ සාර්ථකත්වයේ ප්‍රධාන රස රහසක් වන බව හොඳින්ම දන්නා නිසයි.

‘හැපි නිව් ඉයර්’ දෙදෙනා රඟපෑමට නියමිත නවතම සිනමා නිර්මාණයයි. සුග් පුතු ඉපදුණු පසු කාජල් කිසිදු සිනමා පටයකට අත්සන් කළේ නැත. මේ ඇය 2010 සැප්තැම්බරයෙන් පසු සිනමා පටයකට එක් වන ප්‍රථම අවස්ථාවයි.

අගෝස්තු මාසයේදී ‘හැපි නිව් ඉයර්’ රූගත කිරීම ඇරැඹීමට නියමිතය. ‘දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ’, ‘කුච් කුච් හෝතා හේ, ‘කබි කුෂි කබි ගම්’, ‘මයි නේම් ඊස් ඛාන්’ මෙන්ම ‘හැපි නිව් ඉයර්’ ද රසිකයන්ට අමරණීය ආදරණීය ආස්වාදයක් ලබා දෙනු නම් නිසැකය. තිස් හත් හැවිරිදි දෙදරු මවක වුවත්, ෂාරුක්ට, කාජල් තරමට ගැළපෙන වෙනත් තාරකාවක් තවමත් නැත.


තුන් ඈවරයි, කරිෂ්මා දික්කසාද වෙයි

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, දැන් නම් මේ කසාදයේ අවසානය තීන්දු වී ඇති පාටය. කරිෂ්මා කපූර්, සංජේ කපූර් විවාහය කවදත් පැවැතුණේ කොට උඩය.

වරින් වර දෙදෙනා දික්කසාද වීමේ පුවතට මාධ්‍යවල විශේෂ ඉඩක් වෙන් විය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම කරිෂ්මා කපූර් කියා සිටියේ දෙදෙනා අතර කිසිදු නොහොඳ නෝක්කාඩුවක් නොපවතින බවයි.

මෑතකදී වැඩි දෙනෙක් කතා කළේ කරිෂ්මාගේ අර්බුදකාරී විවාහ ජීවිතය ගැන නොව, විවාහයෙන් පසු ඇය මුල් වරට රඟන ‘ඩේන්ජරස් ඉෂ්ක්’ සිනමා පටය ගැනයි. කපූර් පරපුරේ දියණියන්ගේ රඟපෑමට තිබූ පවුලේ තහංචිය මුලින්ම බිඳ දැමුවේ ද කරිෂ්මාය.

2003 වසරෙන් පසු එනම් ඇය සංජේගේ අතගත් පසු සිනමාවෙන් දුරස් වූවාය. තිස් හත් හැවිරිදි කරිෂ්මා දැන් දියණියකගේ සහ පුතකුගේ මවකි.

කුඩා වියේ සිට දන්නා හඳුනන සංජේ කපූර් සමඟ කරිෂ්මා අතිනත ගත්තේ, අභිෂේක් බච්චන් සමඟ තිබුණු සබඳතාව බිඳ වැටුණු පසුවයි.

කාන්තාවන් සමඟ සංජේ පවත්වන සබඳතාවන් දෙදෙනාගේ විවාහය බිඳ වැටීමට ප්‍රධාන හේතුවයි. බොලිවුඩයේ ජයට මංගල්‍යය පැවැත් වූ යුවළකගේ විවාහය මෙසේ බිඳ වැටීම සැබැවින්ම ඛේදවාචකයකි.