වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




අද එතැන් සිට....

අද එතැන් සිට....

අලුත් අවුරුදු නිවාඩුව ගෙවී ගොස් බොහෝ දෙනා රාජකාරීවලට එන්නේ දැන්ය. අවුරුද්දට මුළු කොළඹම පාළුවට ගොස්ය. හිස්වුණු කොළඹ මංමාවත් කොලු කුරුට්ටන් විසින් පිට්ටනි බවට පත් කර ගන්නා ලද අන්දම පසුගිය දවස් කිහිපයේම ටෙලිවිෂන චැනල් මගින් පෙන්වා දුන්නේය. අප නිතර නමුත් හදිසියට කෑම ගන්නා චීන හෝටලයේ චීන කෑම සදනා අරක්කැමියා ගම බලා (මාතර) ගොසින් තවම ඇවිත් නැත. අලුත් අවුරුදු ක්‍රීඩා ද විලාසිතා ද ටෙලිවිෂනය පුරා පැතිර යයි. ඔංචිලි පදින පොඩි එවුන් දකින මගේ දියණිය ඔංචිල්ලාවක් බැඳ දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය.

මගේ ගෙදර බලවත් උදවිය වන අපේ අම්මාත්, බිරින්දෑත් දියණියගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කළහ. ඔංචිල්ලා ලණුවෙන් ගෙල සිර වී මිය ගිය දරුවෙකු පිළිබඳ ටෙලිවිෂනයේ පෙන් වූ දුක්මුසු පුවතක් ඔවුන් ආයුධයක් කොට ගෙන සිටී.

මගේ පොඩි එකීගේ ඉල්ලීමත්, මහ ඇත්තියන්ගේ ප්‍රතික්ෂේප කිරීමත් ඔංචිල්ලාව පිළිබඳ කතාබහකට යොමු වීමට හේතු විය. එයට විරෝධය පාන වැඩිහිටියෝ ද පෙර දවස ඔංචිල්ලා පැද එහි විසිතුරු බවින් මත් වූ අතීතයකට හිමිකම් කියන බව මේ කතාබහේදී අනාවරණය විය. මගේ ළමා විය කලක් ගත වූයේ පදවිය මහාසේන විදුහලේය.

එකල අපේ තාත්තා එහි විදුහල්පති විය. නිල නිවස අසල තිබූ ජෑම් ගහේ තාත්තා ඔංචිල්ලාවක් බැඳ දුන්නේය. වරක් මා සමඟ අහසට ගිය ඔංචිල්ලාව ගැළ වී බිමට ආවේය. මම අනූ නවයෙන් බේරුණෙමි.

එයින් පසු දවසක ද යළි ඔංචිල්ලාව බැඳිණි. මා හිතන හැටියට ඔංචිල්ලාවෙන් තිබෙන අනතුර එකලත් තිබෙන්නට ඇත. එහෙත් ඒ ගැන අද මෙන් ප්‍රවෘත්ති සුලබ නොවූ නිසා එකල ඒවා ඒතරම් බිහිසුනුව දැනුණේ නැත. පසුගිය දවස්වල කැළඹුණු මාතර ගඟේ කිඹුලාගේ කතාවත් එහෙමය.

පසුගිය සුනාමි අනතුර හෙළිවද්දී මේ රටේ විද්‍යුත් මාධ්‍ය එය වහා රටට දැන් වූහ. ඒ යහපත් ක්‍රියාවකි. කොළඹ කන්තෝරුවල සිට වේලාසනින් පැන යන්නට කල් මැරූ සමහර අයට පිනා චාන්ස් එකක් ලැබීම වෙනම කතාවකි.

එහෙත් ඇතැම් මාධ්‍ය මේ අවස්ථාවේ කටයුතු කළේත් ඒ ආකාරයටමය. තවත් පැයක් ගත වුණා නම් සුනාමි ගැන විකාශය වන ප්‍රවෘත්තියට වෙනම අනුග්‍රාහකයන් සොයා ගන්නවා ඇත. ඒ පිළිබඳ තරග ද පවත්වනවා ඇත.

අද එතැන් සිට ඇරැඹෙන මේ ලිපි පෙළ මතු සම්බන්ධ වනු ඇත.