වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මට එහෙම සම්බන්ධයක් නැහැ

දැන් මට එහෙම සම්බන්ධයක් නැහැ

ලයිව් @ 8 ඔස්සේ ඔබ හමුවන මම නදීක කරුණානායක. ඔහු අප ආලින්දයට ගොඩ වන්නේ එහෙම කියාගෙන.

නදීක කොහොමද ඔබ නිවේදකයකු වන්නේ?

ඕනෑම නිවේදකයකුගෙන් ඔය ප්‍රශ්නය ඇහැව්වොත් බොහෝ දෙනෙකු දෙන පිළිතුර. මං නිවේදනය පටන් ගත්තේ ගමේ තිබුණු පුංචි පුංචි උත්සවවලදී කියන එක. ඇත්තටම මමත් ඒ සාම්ප්‍රදායට අයත්. පන්නල මගේ ගමේ මං එහෙම එනවුසිං කරනවා දැකලා එවකට ගුවන් විදුලියේ සේවය කළ ඇන්ටන් ජයමහ මහත්තයා මාව කැඳවාගෙන ගියා ගුවන් විදුලියට. එය මට දැනුණේ පාපැදියක යන්න හිටපු ගමනක් එතුමා විදුලි දුම්රියක එක් කරගෙන ගියා වගේ හැඟීමක්.

එතකොට මං අ. පො. ස. උසස් පෙළ කළා පමණයි. නිවේදකයකු වන්නට පෙරුම් පිරුවත් කවදා, කොතැනින් පටන් ගන්නවාද යන හැඟීමක් මගේ සිතේ තිබුනේ නැහැ. ගුවන් විදුලියේ ‘විසිර’ සංස්කෘතික විකාශයෙත්, ‘පවන’, ‘වෙළෙඳ සේවය’, ‘ස්වදේශීය සේවයෙත්’ මං බොහෝ කාලයක් සහන නිවේදකයකු විදිහට ඉඳිමින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා.

එතකොට ඔබ රූපවාහිනී මාධ්‍යයට පිවිසෙන්නේ?

මේ කාලයේදීමයි චැනල් අයි නාලිකාවේ සිංහල ප්‍රවෘත්ති පටන් ගත්තේ. මාව ඊට සම්බන්ධ කෙරුවෙ ලාල් හේමන්ත මාවලගේ මහතා. ගුවන් විදුලියේ වගේ නෙවෙයි රූපවාහිනියේ නිවේදනය කරද්දී රූපය ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. මන්දයත් නිවේදකයකුගේ ප්‍රසන්නතාවය රූපවාහිනියේදී ඉතා වැදගත්. ඔන්න ඉතින් හා හා පුරා කියලා රූපවාහිනිය ඉදිරියේ නිවුස් කියන දවස උදා වුණා.

එදා මොකද වුණේ?

නියම වැඩක් තමා එදා සිද්ධ වුණේ. මට කලින් දවසේ කිව්වේ සජීවීව නැතිව කලින් පටිගත කරලා ප්‍රවෘත්ති වැඩ සටහන විකාශය කරනවාය කියා. ඒත් මම එතනට ගිහින් බොහෝ වෙලාවක් ගත වුණත් පටිගත කිරීම පටන් ගන්නා පාටක් නැහැ. 6.30 ට මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ. 6.15 ට විතර මෙන්න නිෂ්පාදකතුමා කියනවා සජීවීවයි මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ කියලා. මට දෙලෝ රත් වුණා. ඒත් මං ඒ බවක් නොපෙන්වා බොහොම සාර්ථකව සජීවීව ප්‍රවෘත්ති කිව්වා.

ඊට පස්සේ?

කාලයක් චැනල් අයි නාලිකාවේ හිටියා. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කිව්වා. අනතුරුව විධායක ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් සිරස නාලිකාවේ සේවය කළා. 2005 දී ස්වර්ණවාහිනියට ආවා. එදා ඉඳලා මේ දක්වා මං ස්වර්ණවාහිනියේ.

ඔබව වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගියේ ස්වර්ණවාහිනියට ආවට පස්සේ?

ඔව්. 2006 දී විතර ප්‍රවෘත්තිවලට පමණක් වෙන් වූ චරිත කිහිපයක් ස්වර්ණවාහිනිය හඳුන්වා දුන්නා. ඒ කණ්ඩායමේ මමත් හිටියා. එතෙක් පැවති ප්‍රවෘත්ති ආර අපි වෙනස් කළා. එහෙයින් ප්‍රවෘත්ති වැඩසටහන වගේම එහි නිවේදක නිවේදිකාවනුත් මිනිසුන් අතරේ ඉක්මනින් ජනප්‍රිය වුණා. මට සම්මාන හිමි වුණෙත් ස්වර්ණවාහිනියට ආවට පස්සේ.

ඔබ ලබා ගත් ඒ සම්මාන පිළිබඳ කතා කළොත්?

2006, 2011 රාජ්‍ය සම්මාන සහ 2010, 2011 සුමති සම්මාන උළෙලයන්හි හොඳම නිවේදක. 2009 ආසියානු ජනමාධ්‍ය සම්මාන උළෙලේ හොඳම නිවේදකට හිමි රන් පදක්කම.

ප්‍රවෘත්ති නිවේදනය කරද්දී බොහොම අපූරු සිදුවීම් එහෙමත් වෙන්න ඇති නේද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. සුනාමි දවසේ ප්‍රවෘත්ති කියපු හැටි මතක් වෙද්දී තවමත් ඇඟ හිරි වැටෙනවා. එදා මහත් සංවේගයක් හිතින් දරාගෙනයි කැමරාව ඉදිරියේ හිටියේ. යුද සමයේ සිදු වූ කැබතිගොල්ලෑව බෝම්බ පිපිරීම ගැන කිව්වෙත් මම. ඒ දර්ශන දකිද්දී ඇඬෙන්න තරම් හිතට දුකයි.

තව එකක්, ප්‍රභාකරන් මියගිය ප්‍රවෘත්තිය ඉස්සෙල්ලාම කිව්වෙ මමයි. එදා මගේ අතේ කිසිදු සටහනක් තිබ්බේ නැහැ. සියලුම දත්ත ගෙන මං විනාඩි 20 ක් කිසිදු කොපියක් නැතිව මං ඒ පුවත එක දිගට කිව්වා.

වෙනත් වැඩසටහනක් මෙහෙයවීමට ඔබට රුචිකත්වයක් නැති හැඩයි?

අනිවාර්යයෙන්ම මට වුවමනා වෘත්තීවය මට්ටමේ ප්‍රවෘත්ති නිවේදකයකු වන්න. ස්ථාවර නමක් හදා ගන්න.

මොනවද නදීකගේ පුද්ගලික විස්තර?

මගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මයි, බාප්පයි, අයියයි, මල්ලිලා දෙන්නයි මගේ පවුලේ ඉන්නේ. මං තාමත් පදිංචි වෙලා ඉන්නේ පන්නල.

නදීකගේ හිතට මුවා වූ ආදරවන්තියක් නැතිද තවම?

ඉස්සර එහෙම සම්බන්ධයක් තිබුණා. ඒත් දැන් නැහැ.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

පන්නල ශ්‍රී සීලානන්ද දහම් පාසලේ, මොරගොල්ලේ විජිත පොඩි හාමුදුරුවෝ ඇතුළුමට මේතාක් කල් පැමිණි ගමනට වචනයකින් හෝ උදව් පදව් කළ සැමට තුති පුදනවා.