වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබට කවදාවත් එහෙම වෙන එකක් නැහැ

ඔබට කවදාවත් එහෙම වෙන එකක් නැහැ

‘ආදරණීය උපේක්ෂා’ට කියන්න ඔබට බොහෝ දෙවල් ඇති. ඒවා සංෂිප්ත කර සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවන්න. සිතෙහි පිළිලයක්ව උපදින ගැටලු උපේක්ෂාට යොමු කරන්න. ඇය ඊට කදිමව පිළිතුරු සපයා ඔබට පුංචි හෝ සැනසීමක් ගෙනෙන්වි.

අක්කේ මම අවුරුදු විසි එකක තරුණයෙක්. මගේ ප්‍රියතම නිළිය ඔබයි. ඒ හින්ද අක්කගේ ෆොටෝස් බොහොමයක් අපේ ගෙදර තියනවා. ඒවයින් කිහිපයක් බිත්තිවල එල්ලා තියනවා. දකින අය නම් කියන්නේ ඒවා ඉවත් කරන්න කියලා. මං කරලා තියෙන්නෙ වැරැදි දෙයක් නෙවෙයි නේද අක්කේ?

ඩබ්ලිව්. ඒ. චන්දන

පිළියන්දල.

ඔබ කරන්නේ වැරැදි දෙයක් නෙවෙයි දරුවෝ. කලාකරුවෝ විදිහට අපි ජනප්‍රියත්වයක් ලබන්නේ ඔබ වැනි රසික රසිකාවියෝ නිසා. ඔවැනි දේවල් ඔවුන් කිරීම සාමාන්‍ය දෙයක් හැටියටයි මං දකින්නේ. හැබැයි චන්දන ඔබේ පෙම්වතිය මැසිවිලි නගනවා නම් මගේ පින්තූර තියාගෙන ඉන්නවාට, ඔබ දෙපාරක් කල්පනා කර බලන්න.


අපි විවාහ වෙලා අවුරුදු දෙකක් විතර සන්තෝසෙන් හිටියා. ඒත් දැන් මාව ඇයට එපා වෙලා. ඇයත් මාත් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. මං හරිම වේදනාවකින් පසු වන්නේ. මා හරිම අවිහිංසක, පාඩුවේ ඉන්න කෙනෙක්. මම කොච්චර ආදරයකින් හිටියත් ඇය මට ඒතරම් ආදරේ නැහැ.

තල්පිටි පාර මාම්පූරියේ

ගුණතිලක

ගුණතිලක, මේ ගැටලුව ගැන හොයලා බලද්දී මට දැණෙන එක දෙයක් තියෙනවා. ඒ ඔබෙන් ඇය එක සැරයටම ඈත්වීමේ හේතුව. ඕනෑම දෙයක් වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔබ ඇයත් සමඟ සුහදශීලී වෙලා ඇයගේ වෙනසට හේතුව දැනගන්න.

සෘජුවම හඟවන්න ඇය නිසා ඔබ ඉතාම දුකින් පසුවන බව.

ඇගේ හේතුව විමසා බලා ඔබ ඊට පිළියමක් යොදන්න. පුළුවන් නම් ඒ හේතුව මට කියන්න. මං එවිට මීටත් වඩා ඔබට දැණෙන පිළිතුරක් ලබා දෙන්නම්.


මා ඔබට යොමු කරන්නේ පොදු පැනයක්. නිතර දෙවේලේ අනුන්ගේ වැරැදි ගැන කතා කරන්නේ නිවසට වෙලා සිටින කාන්තාවන් ද, රැකියාවල යෙදෙන කාන්තාවන්ද?

දොම්පෙ

සරත් රණසිංහ

ම්ම්ම් . . . මට එහෙම එක් පාර්ශවයක් නම් කරන්න අමාරුයි. මන්ද යත් මගේ අත්දැකීම් අනුව ඔය පාර්ශවයන් දෙකම එක වගේම වැරැදි හොයනවා.

මට ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරකුත් දෙන්න හැකියි. අනුන්ගේ වැරැදි හොයන්නේ තමන්ගේ වැරැදි තියෙන අය.

ඒගොල්ලෝ ඔවුන්ගේ වැරැදි වහගන්නයි අනුන්ගේ වැරැදි හොයන්නේ.


අක්කේ , මම වෛද්‍යවරයකු වන්නට ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මෑතකදී සිට මට නාඳුනන පුද්ගලයකුගෙන් දුරකතන ඇමතුම් එනවා. ඔහු මට තර්ජනය කරනවා. මට හිතෙනවා ඒක මට එන දුරකතන ඇමතුමක් නොවේ, අංකයක දේශයකින් මට එන එකක් කියලා. ඔහු කියන සමහර දේවල් ගැන මං දන්නෙවත් නැහැ. මං කොච්චර පැහැදිලි කෙරුවත් ඔහු එය තේරුම් ගන්නේ නැතිව දිගින් දිගටම මට තර්ජනය කරනවා.

නාමල් කුලසේකර

කුරුණෑගල

නාමල්, මටත් ඔවැනි අත්දැකීමක් තිබුණා. මං කළේ අඩු මුදලකට චයිනීස් දුරකතනයක් අරගෙන ඒ ඇමතුම ඔහුටත් නොදැනෙන්න පටිගත කරලා පොලීසියට භාර දුන්න එක. ඔබටත් ගන්න තියෙන්නේ ඒ පියවරම තමයි. ඔබ ඒ කාර්යය ඔහුට නොදැනෙන්න කරන්න සූක්ෂම වන්න. ඔහුට හඟවන්න එපා ඔබ ඔහුගේ ඇමතුම පටිගත කරනවා කියලා.


උපේක්ෂා අක්කේ ,මගේ වයස අවුරුදු විසි එකයි. මං රඟපාන්න ගොඩක් ආසයි. ඒත් සමහර පුද්ගලයින් කියනවා රඟපෑමට පිවිසියොත් නොමඟ යෑමට ඇති ඉඩකඩ වැඩියිලු. රඟපාන අයගේ ජීවිත අසාර්ථකයි කියලත් කියනවා. මේ නිසා මට බයයි අක්කේ රඟපාන්න යොමු වන්න.

චම්පිකා සූරියආරච්චි

දඹදෙණිය

රඟපාන්න ගියයි කියලා ජීවිත අසාර්ථක වෙන්නේ නෑ දරුවෝ. රංගන ක්ෂේත්‍රයේ හොඳින් පවුල් ජීවිත ගෙනියන අය ඕනෑ තරම් ඉන්නවා. රෝයි - සුමනා යුවල ඊට උදාහරණයක්.

අප සමාජයේ නරක අය හැම ක්ෂේත්‍රයකම ඉන්නවා.

උසාවියක දික්කසාද නඩු විභාග වෙන්නේ ජනප්‍රිය අයගේ විතරක් නෙවෙයිනේ. රංගනය කෙරිය යුත්තේ බොහොම පරිස්සමින්. ඔයා ගැහැනු ළමයකු හින්දා නම කැත කර ගන්නේ නැතිව ඔයාගේ ගමන යන්න. ජනප්‍රිය වුණාට පස්සේ කට කතා හැදෙනවා වැඩියි කියලත් මතකයේ තබා ගන්න.


මම සිංහල විෂය උගන්වන උපකාරක පංති පවත්වන ගුරුවරයෙක්. මගේ පංතියට පැමිණි ගැහැනු දරුවෙක් මට ආදරය කරන්න පටන්ගෙන. ඇය මට දිනක් ඒ බව කීවා. මම ඇයට පැහැදිලි කර දුන්නා ඉගෙන ගන්න කාලයේ අනවශ්‍ය දේවලට යොමු නොවී ඉන්න කියලා. එත් ඒ වගක් නොතකාම දිනක් ඇය මව සමඟ පැමිණියා. මවට කියා තිබෙන්නේ මම ද ඇයට කැමැත්තකින් පසුවන වගලු.

සුදත් කෙහෙල්ගමුව

කුලියාපිටිය.

ඔබ දැන් තීරණ ගත යුත්තේ වැඩිහිටියකුගේ තැන සිට.

මුලින්ම ඔබ ඇගේ මවුපියන්ට පැහැදිලි කරන්න ඇය පැවසුවේ බොරුවක් වග. ඊළඟට පියවරෙන් පියවර ඇයට ඔබව එපා වන්නට කටයුතු කරන්න.

නමුත් කායික වශයෙන් ඇයව රිද්දන්න එපා. ඇයත් සමඟ සුහදශීලී වෙන්නත් එපා. ආදරයෙන් සිනහ වෙන්නත් එපා. එහෙම වුණොත් ඇය පුංචි හෝ බලාපොරොත්තුවක් ඇති කර ගනීවි. පුළුවන් තරම් ඇයට ඔබව එපා වන්නට යම් යම් දේවල් ව්‍යංගාර්ථයෙන් සිදු කරන්න.


අක්කේ, මම පුංචි කාලයේ ඉඳලා ගයන්නට ආසයි. ගෙදර ඉන්න විට හයියෙන් කෑ ගගහා මං සිංදු කියනවා.

එත් මට වේදිකාව මත ගයන්නට ලැබුණු අවස්ථාවන්වලදී මං මහත් චකිතයකට පත් වුණා. මගේ හැකියාවන් නියමාකාරයෙන් එළියට ආවේ නැහ. මගේ හිත මිතුරන් පවා පත් වූයේ මහත් අපහසුතාවයකට. මට ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඕනේ.

වින්ද්‍යා මධුමාලි

නාරාහේන්පිට

නංගෝ ඔබ සිතේ ඔය තියෙන චකිතයම මටත් කාලයක් තිබුණා.

මමත් ගයන්නට හදපු මුල් දිනවල පත් වූයේ මහත් අපහසුතාවයකට. ඔයාට ආයේ ගයන්නට ආරාධනාවක් ලැබුණොත් වැඩිය හිතන්න එපා.

ඉදිරියේ ඉන්න අය ගැන තැකිමක් නොකර ඔබේ කාර්යය කරන්න. වරක් දෙවරක් වැඩිම වුණොත් තෙවරක් අසාර්ථක වේවි. ඉන් පසුව ඔබට කවදාවත් එහෙම වෙන එකක් නැහැ.