වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු ටී. වී මැයි පායයි

හිරු ටී. වී මැයි පායයි

මුලින්ම ‘එක්ටැම් ගේ’

එළඹෙන වෙසක් මහේ පුංචි තිරයට අලුත් ඉරක් පායනවා. මැයි 03 වනදා පායන මේ ඉර ‘හිරු ටී. වී’ නාලිකාවයි. හිරු ටී. වී. එන්නේ හිස් අතින් නම් නෙවෙයි. මැයි 3 වනදා සිට හිරු ටී. වී. ඔස්සේ ‘එක්ටැම් ගේ’ ටෙලි නාට්‍යය සතියේ දින පහේම විකාශය වෙනවා.

‘හංස ගීතය’ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ දෙවන ටෙලි අධ්‍යක්ෂණය තමයි ‘එක්ටැම් ගේ’ නමින් හිරු ටී. වී. ඔස්සේ දිග හැරෙන්නේ.

රොජර් සෙනෙවිරත්න, අජිත් ලොකුගේ, අමිල අබේසේකර, පියුමි බොතේජු, භද්‍රා නන්දනී, නිරෝෂන් ඉලේපෙරුම, බුද්ධික ලොකුකැටිය ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙන ‘එක්ටැම් ගේ’ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතකි.

දනිත සඳමාල් සහාය අධ්‍යක්ෂණයෙන්, දිනේෂ් කලා අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි වේශ නිරූපණයෙන් නාරද තොටගමුව, සංස්කරණයෙන් ඉමාල් ධර්මරත්න, සංගීතයෙන් ශාන්ත ජයලත් තිසේරා, සහ නිෂ්පාදන කළමනාකරණයෙන් සුලෝචන අකලංක දායක වෙනවා.

රසික සිත් වශී වූ ‘උන්මාද සිතුවම්’ ගීතය මෙන්ම ශාන්ත ජයලත් සංගීතවත් කරන අමල් පෙරේරා සමඟ කුෂානි සඳරේකාගේ හඬින් ගැයෙන අලුත් ගීතයකුත් ‘එක්ටැම් ගේ’ ටෙලි සිතුවම වෙනුවෙන්ම නිර්මාණය කරලා. ‘එක්ටැම් ගේ’ නිෂ්පාදය කරන්නේ සෙනුර ගෝල්ඩින් වෙනුවෙන් ජයලත් පීරිස්.


දෙමිතුරෝ චිත්‍රපටයකට සැරසෙති . . .

නිලේන්ද්‍ර දේශප්‍රියගේ සිනමාගමනයට

සුනිල් ටී. ගේ අර්ථපතීත්වය

පෞද්ගලික ජීවිතයේ කලණ මිතුරන් දෙදෙනකු එකට එක් වී චිත්‍රපටයක් තනන්නට සූදානම් වෙයි.

මේ ගජයන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ ලංකවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ සුනිල් ටී. ප්‍රනාන්දුය.

ඔහු මේ චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයාය. එය අධ්‍යක්ෂණය කරන අනෙක් තැනැත්තා මෙරට විශිෂ්ටතම සහාය අධ්‍යක්ෂවරයකු, නිර්මාණශීලී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු ලෙස පතල නිලේන්ද්‍ර දේශප්‍රියයි. ගාමිණී ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ, වසන්ත ඔබේසේකර ඇතුළු විශිෂ්ට සිනමාවේදීන්ගේ කලක් සහය අධ්‍යක්ෂවරයා වූ නිලේන්ද්‍ර රූපවාහිනී රියැලිටි වැඩසටහන් හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ද වේ.

ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන්නේ මෙයයි. තවමත් නමක් තබා නොමැති චිත්‍රපටය අනුරාධපුරය, කිලිනොච්චිය ආදී ප්‍රදේශයන්හි රූගත කිරීමට නියමිතයි. එළඹෙන මැයි මාසයේදී මූලික වැඩ කටයුතු අරඹන මෙහි සහය අධ්‍යක්ෂණයෙන් දායක වනුයේ විමල් දේශප්‍රියයි. සුනිල් ටී. ගේ සහ නිලේන්ද්‍රගේ මිත්‍රත්වය ඔවුන්ගේ පාසල් සමය තෙක් දිව යන පැරැණි එකකි. විද්‍යාලයේ එක පන්තියේ ඉගෙනුම ලැබූ සුනිල් ටී, නිලේන්ද්‍ර පංති වේලාවන් තුළදී පවා ඒවා මඟහැර ගැලරියේ චිත්‍රපට නැරැඹීමට ගොස් තිබෙන්නේද එකට වග මේ වන විට ප්‍රසිද්ධ රහසකි.


තිස්ස වියෝ වී තෙවසරයි

විශිෂ්ට සිනමාවේදියකු, තිරකතා රචකයකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු චිත්‍රපට සංස්ථා සභාපතිවරයකු ද වන තිස්ස අබේසේකරයන් වියෝ වී මෙම අප්‍රේල් 18 වැනිදාට තෙවසරකි.


2011 රයිගම් සම්මාන මැයි 11

‘ජාතියේ ටෙලි සම්මාන’,

‘2011 රයිගම් ටෙලීස් සම්මාන උළෙල’ 8 වන වරටත් බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේදී මැයි මස 11 වනදා සවස 6 ට පැවැත්වේ.

මෙම වර්ණවත් රාත්‍රිය සඳහා ගරු අග්‍රාමාත්‍ය දී. මු. ජයරත්න මැතිතුමා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි.

0772522522 දුරකථන අංකයට ජනප්‍රියම නළුවා, නිළිය සහ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිවැරැදිව නම් කර කෙටි පණිවුඩ එවන ඔබ අතරින් තෝරා ගන්නා ජයග්‍රාහකයින් පනස් දෙනකුට 2011 රයිගම් ටෙලීස් සම්මාන උළෙල සජීවීව නැරැඹීමේ වාසනාව උදා කර ගත හැකියි.